අධි අවදානම් තැනින් ඉවත්ව වෙනත් තැනක පදිංචි වීමේ අවසන් තීරණයට ජුනි 15 තෙක් කල් දෙයි…..

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ හානි වූ සහ අධි අවදානම් සහිත නිවාස හේතුවෙන් පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතුව තිබේ.

දැනට පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන, ජනතාව පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. වෙනත් ස්ථානයක පදිංචි වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන්නන්ට තීරණයක් ගැනීම සඳහා ජුනි 15 දක්වා සහන කාලයක් ලබා දී ඇත.

මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි, නිවාස කුලී, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සහ ජීවනෝපාය අහිමි වූවන් සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු විමසීය.

වගා බිම්වල තැන්පත් වී ඇති වැලි සහ ගල් ඉවත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටත්, ඒ සඳහා ගොවි සංවිධානවල දායකත්වය ලබා ගැනීමටත් තීරණය විය.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග 21හි වැඩකටයුතු මේ වසර තුළ අවසන් කරන ලෙස නිලධාරීන්ට නියෝග කෙරිණි.

“ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී කිසිසේත් මුදල් බාධාවක් කර නොගන්න. මේ වසර තුළ පීඩාවට පත් ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත් කර, ලබන වසරේ සිට දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් යළි ආරම්භ කිරීමට සූදානම් වන්න.” යනුවෙන්ද  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි – අගමැති හරිනි….

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන බහුසංස්කෘතික ප්‍රදේශවල ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය අමතමිනි.

නව සංඝනායක හිමියන් වසර 50ක පැවිදි දිවිය තුළත්, වසර 35ක ගුරු සේවය තුළත් ශාසනයට හා අධ්‍යාපනයට කළ මෙහෙවර අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.

පසුගිය වසරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ දැක්වූ ක්‍රියාකාරී නායකත්වය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිණි.

පරමාකන්ද රජමහා විහාරය ඇතුළු ඓතිහාසික පුණ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට උන්වහන්සේ ගන්නා උත්සාහය ප්‍රශංසනීය බව ඇය පැවසුවාය.

සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන නව පුනරුද යුගයක් කරා රට මෙහෙයවීමේදී මෙවැනි ප්‍රායෝගික ආගමික නායකයින්ගේ ආශිර්වාදය රජයට මහත් ශක්තියක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම උත්සවයේදී සංඝනායක ධුරය පිළිබඳ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගන්වන ලද අතර, විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී.

මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍ය චන්දන අබයරත්න, දියවඩන නිලමේ ප්‍රමුඛ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ඇමති විජිත බෙලරූස් ජන රජයේ නිල සංචාරයක…..

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12) සිට 15 වැනිදා දක්වා බෙලරූස් ජනරජයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සංචාරය සිදු වන්නේ මැක්සිම් රයිෂෙන්කොව් මහතාගේ විශේෂ ආරාධනයකට අනුවය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ බෙලරූස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 25ක් සම්පූර්ණ වීමත් සමඟ මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

මින්ස්ක් නගරයේදී අමාත්‍ය විජිත හේරත් මහතා, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමු වීමට නියමිත අතර, බෙලරුස් විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

එමෙන්ම බෙලරුස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, සංචාරය අතරතුර දෙරට අතර අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළඳ හා සංචාරක ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කෙරෙනු ඇත.

තවද මින්ස්ක් හිදී බෙලරූස් ජාතික අපනයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සහ සංචාරක වටමේස සාකච්ඡාවක් ඇමතීමටද අමාත්‍යවරයා නියමිත අතර, බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් හමුවීමටද කටයුතු යොදා ඇත.

තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනපති අනුරට තුති…..

තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙස පත් වූ සී. ජෝසප් විජේ මහතා, තම මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සුබ පැතුම් එක් කළ අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළ කර තිබේ.

සිය X ගිණුම හරහා සටහනක් තබමින් සී. සී. ජෝසප් විජේ මහතා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ තමා ගෞරවයට පත්වන බවය.

“ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ  ගෞරවයට පත්වෙමි. ඔබගේ උතුම් අභිනයට ස්තූතියි,” යනුවෙන් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා – පොලිස් ඇමති……

රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“දැන් පොලීසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමිනි.

දිට්වා ව්‍යසනයෙන් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පෙන්වා දීමත් සමඟ ඇති වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද ද සිල්වාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් අධිකරණයට ප්‍රකාශ…..

ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න මහතා ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ මියගිය කපිල චන්ද්‍රෙස්න මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින්ය.

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය අද මුල්වරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදි එම කොට්ඨාසයේ නිලධාරීන් කියාසිටියේ මේ වනවිට ප්‍රශ්නගත මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවය.

ඒ අනුව කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමිණුම් දෙකක්ද විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.

එසේම අපරාධ ස්ථානයේ සිදුකළ විමර්ශනයට අදාළව තම භාරයට ගත් ඖෂධ වර්ග කිහිපයක්, මරණකරුගේ රුධිර සාම්පල දෙකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බව විමර්ශන නිලධාරීන් කියා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රශ්න කළේ මරණකරුගේ ගෙලබැදි පටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළේද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එයද නඩු භාණ්ඩයක් ලෙස නම්කර අද දින රජයේ රස පරික්ෂකවරයාට යොමු කිරීමට නියමිත බවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙරළා ප්‍රශ්න කළේ මරණකරු එල්ලුණේ යැයි සැකකෙරෙන දොරෙහි ඉහළ පෘෂ්ඨයේ පළුදුවීමක් තිබුණේද යන්නයි.

ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එවැනි පළුදුවීමක් දක්නට නොලැබුණු අතර එම පෘෂ්ඨය පරික්ෂා කිරීමේදී කෙදි සාම්පල කිහිපයක් ලබාගත් බවයි.

මරණකරුගේ IPhone 16 Pro Max වර්ගයේ දුරකථනය අධි ආරක්ෂිත දුරකථනයක් බැවින් මෙතෙක් එය විවෘත කරගැනීමට නොහැකි වූ බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

එහි ඇත්තේ මුහුණු ප්‍රවේශ ආරක්ෂිත ක්‍රමවේදයක් බවත්, මරණකරුගේ මෘත ශරීරයේ මුහුණට ලංකර එය විවෘත කිරීමට උත්සාහ කළද එය ආසාර්ථක වූ බවද විමර්ශන නිලධාරීන් කියාසිටියේය.

එබැවින් අදාළ දුරකථනය එහි මව් සමාගමට හෝ සුදුසු ආයතනයකට යොමුකර විවෘත කරවාගැනීමේ නියෝගයක් ලබාදෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව පළමුව සාක්ෂි ලබාදුන්නේ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායකගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායකයි.

“ස්වාමිනි, මගේ සොහොයුරියයි, ඇගේ ස්වාමිපුරුෂයායි වෙන්වෙලා හිටියේ. නංගි ගිය අවුරුද්දේ අන්තිම කාලයේ වගේ ඉදලා දරුවන් දෙදෙනා එක්ක ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. කපිල අපේ නිවසට නිතරම යන එන කෙනෙක් නෙමෙයි. අවුරුදු 10ක වගේ කාලයක් තුළ 04 පාරක් වගේ අපේ නිවසට ඇවිල්ලා තියෙනවා. මට මතක විදිහට 2026 මැයි 06 බදාදා කපිල ඇප ලබාගෙන කෙළින්ම අපේ ගෙදරට ආවා. මට ‘හලෝ අනුෂ්කා’ කිව්වා. මම කාලද කියලා අහපුවාම නැහැ කිව්ව නිසා මම ආහාර ලබාදුන්නා. වෝටර් මෙලන් ජූස් 02ක්, වතුර වීදුරුවක් දුන්නාට පස්සේ ලම්ප් රයිස් බත් පැකට් එකක් කන්න දුන්නා. පස්සේ කිරී කෝපි එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ ගෙදර ගියා. පස්සේ ඊළඟ දවසේ සවස 04ට විතර කාර් එකෙන් ආයෙත් අපේ ගෙදරට ආවා. එයාගේ කාර් එකේ යතුර දුන්නා මට රියදුරුට කියලා ඒක එයාගේ ගෙදරට ගිහින් දාන්න කියලා. අරවින්ද ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. පස්සේ එයත් ගෙදර ආවා. පස්සේ අරවින්දයි, මමයි ඇප තියන්න ආපු කිහිපදෙනත් එක්ක Lawyer හම්බෙන්න ගියා. අපි යද්දි කපිල අපේ ගෙදර පළවෙනි තට්ටුවේ පුටුවක හිටියේ. රෑ 10ට විතර අපි ආයෙත් ගෙදර ආපුවාම කපිල උඩ තට්ටුවේ ඉදලා පල්ලෙහාට බැස්සා. කපිල රෑට කෑවේ නැහැ. රාත්‍රී 11ට විතර මම පුතාත් එක්ක නිදාගන්න යන්න හදනකොට අරවින්ද මට කිව්වා කපිලට ඉන්න කාමරයක් ලෑස්ති කරලා දෙන්න කියලා. මම ගෙදර වැඩ කරන කෙනෙක්ට කියලා පළමු මහලේ ලොකු පුතාගේ කාමරය ලෑස්ති කරලා දුන්නා. පසුදින උදෑසන 7ට විතර මහත්තයා කිව්වා Lawyer ඇවිල්ලා ඉන්නේ තේ එකක් හදලා දෙන්න කියලා. මහත්තයා කපිලට කෝල් කරාට එයා Answer කරලා තිබුණේ නැහැ. පස්සේ දොරට තට්ටු කළාටත් ප්‍රතිචාරයක් තිබිලා නැහැ. පස්සේ ප්‍රියන්ත කියන Lawyer එක්ක මම උඩට ගිහින් දොර විවෘත කරන්න හැදුවා. නොඇරුණ නිසා ගෙදර වෙන තැනක තිබුණ  Master Key එක අරගෙන දොර ඇරියා. මම Lock එක ඇරියාට ඉස්සෙල්ලාම ඇතුළට ගියේ Lawyer. මම එක අඩියයි දොරෙන් ඇතුළට තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නැහැ. කාමරේ තිබුණ පුටුව බාත් රූම් එක පැත්තට හරවලා තිබුණා. Lawyer කිව්වා අපි එළියට යමු කියලා.”

අනතුරුව මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නේ මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වූ අරවින්ද ද සිල්වා මහතායි.

“ඇප ලැබුණ දවසේ කපිල මට කතා කරලා කිව්වා ‘ලෝයර්ට කතා කරලා ඇප තියන්න මුදල් ලෑස්ති කරන්න’ කියලා. ඒ වගේම ‘එක් ඇපකරුවෙක් ඉන්නවා,තව දෙන්නෙක් අවශ්‍යයි’ කියලා. කොහොමහරි ‘ඉදිරිපත්කරපු ඇපකරුවන් දෙදෙනාට ග්‍රාමසේවා සහතික නැහැ’ කිව්වාට පස්සේ මම මට සමීප කපිලවත් දන්න තවත් ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කරලා පසුදිනයේ ඇප ගත්තා. 07 වැනිදා උදේ කපිල මට Call කරලා ‘බොහෝම ස්තූතියි,කවුරුත් නැති වේලාවක ඕගොල්ලෝ විතරයි හිටියේ’ කිව්වා. පස්සේ මට දෙතුන් දෙනෙක් Msg දාලා තිබ්බා කපිලට ආයෙත් ප්‍රශ්නයක් කියලා. මම ආයෙත් කපිලට Call කරපුවාම කිව්වා ‘ආයෙත් උසාවි කේස් එකක්’ කියලා.  මම කිව්වා ‘අපේ ගෙදරට එන්න, ඇවිල්ලා Lawyer Mr. රියෙන්සි එක්ක කතා කරලා මොකක්ද කරන්න පුළුවන් බලමු’ කියලා. පස්සේ හවස අපි Lawyer ට කතා කරපුවාම ඔක්කෝම විස්තරය දැනගන්න ඕන නිසා ‘කපිලව ගෙදර තියලා ඇවිල්ලා හම්බෙන්න’ කිව්වා. අපි කපිලව අපේ ගෙදර තියලා Lawyerව හම්බෙන්න ගියා.  ඒ වෙද්දි කපිලව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් වෙලයි තිබුණේ. Mr. රියෙන්සි කිව්වා ‘ඊළඟ දිනයේ කපිලව අධිකරණයට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ප්‍රියන්ත කියලා Lawyer කෙනෙක්ව උදේට ගෙදරට එවන්නම්’ කියලා Number එක දුන්නා. මම ගෙදර ඇවිල්ලා lawyer ප්‍රියන්තට Call කළා. එයා කිව්වා ‘උදේ කපිලව එක්කගෙන යන්න එනවා. ඒ නිසා ගෙදර නොයා එයාට අපේ ගෙදරම ඉන්න කියන්න’ කියලා. ඊට පස්සේ කපිල මගේ ඉස්සරහාම එයාගේ ගෙදර වැඩකරන කෙනාට Call කළා. ‘බෙහෙත් වගයකුයි ඇඳුම් වගයකුයි ගෙන්නගන්න ඕනේ’ කිව්වා. තව ‘ජිම් මැට් එකක් තියෙනවා, ඒකත් එවන්න’ කිව්වා. ‘මම ඇහුවා කොහෙද මචං මේ වෙලාවේ ජිම් යන්න හදන්නේ?’ කියලා. එයා කිව්වා ‘නැහැ ඇඳුම් එල්ලගන්න ඕනේ’ කියලා. මම මගේ Driver ට කපිලගේ ගෙදරට ගිහින් ඒ ටික අරන් එන්න කිව්වා. මගේ Driver බඩු ටික ගෙනල්ලා මේසේ උඩ තිබ්බා. පස්සේ අපි දෙන්නා ටිකක් කතා කරකර හිටියා එතකොට කපිල කිව්වා ‘මම එළියට ඇවිල්ලා දවසයි, ආයෙත් මෙයාලා මාව ඇතුළට දාන්න හදනවා’ කියලා. ඇතුළට යන්න විශාල අකමැත්තක් ඔහුගෙන් මට තේරුණා. මම කිව්වා ‘වොරි වෙන්න එපා, අපි මේක ශෝට්අවුට් කරගමු’ කියලා. පස්සේ මම උඩට ගිහිල්ලා එයාට කාමරය පෙන්නුවා. AC එකත් දාලා මම කිව්වා ‘දැන් හොඳට රිලැක්ස් එකේ නිදාගන්න. අපි හෙට මේකට මුහුණ දෙමු’ කියලා. ඔය ඔක්කෝම වෙලා ඉවරවෙද්දි රෑ 12.30ට වගේ ඇති. උදේ 7යි ගාණකට Lawyer ගෙදරට ඇවිල්ලා Call කරද්දි මම ඇහැරුණා. කපිලට දෙපාරක් Call කළාට Answer කළේ නැහැ. කාමරයට ගිහින් දොරට තට්ටු කළා, එහා පැත්තේ කාමරයෙන් ගිහින් බාත් රූම් එක පැත්තෙනුත් තට්ටු කළා. එත් ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. පස්සේ මම පහළට ඇවිල්ලා Lawyer ට කිව්වා ‘කපිල ලෑස්තිවෙනවා ඇති’ කියලා. Wife ට කිව්වා ‘කපිලව ඇහැරවලා ඉක්මනට Lawyer එක්ක යවන්න’ කියලා. පස්සේ කපිලගෙන් ප්‍රතිචාරයක් නැති නිසා Wife සහ Lawyer Mastee Key එකෙන් දොර ඇරලා බලද්දි තමයි මේක දැකලා තියෙන්නේ”. 

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වනදා යළි පැවැත්වීමට නියමිතයි.

මේ අතර කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද කෙසෙල්වත්ත පොලිසිය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

ඔවුන් දෙදෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්,එක් සැකකරුවකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදෙස් කතකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට……

උණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවෙකු උණවටුන සංචාරක පොලීසිය විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි අදාළ සම්බාහන ආයතනයේ සේවය කරන අයෙකි.

පසුගිය 06 වැනි දින උණවටුනේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී සැකකරු විසින් ප්‍රතිකාර කරන මුවාවෙන් මෙම අතවරය සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද දින සංචාරක පොලිස් කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත උණවටුන සංචාරක පොලිස් කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්…..

දිට්වා ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විමසා බැලු ජනාධිපතිවරයා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගනිමින්, එම කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (12) පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලු ජනාධිපතිවරයා අර්ධ හානි නිවාස සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් වෙන් වෙන්ව විමසා බැලීය.

ආපදා තත්ත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 12,169කට අර්ධ හානි සිදුව තිබෙන අතර නැවත පදිංචි කළ යුතු අධිඅවදානම් අර්ධ හානි 1583ක්, ගෙවීම් ගැටලු සහිත අර්ධ හානි 2304ක් සහ NBRI පරික්ෂා කළ යුතු සහ වාර්තා ලැබිය යුතු නිවාස 3795ක් පවතී.

ඒ අනුව දැනට නිශ්චිත ගෙවීම් සිදු කළ හැකි නිවාස ප්‍රමාණය 4488ක් වන අතර එයින්, 3038ක ප්‍රමාණයක් වෙනුවෙන් මේ වන විට ගෙවීම් සිදු කර තිබෙන බව නිලධාරීන් පෙන්වා දුන්හ.  ඉතිරි නිවාස සඳහාද ගෙවීම් කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, අධිඅවදානම් කලාපවලට අයත් වීම හේතුවෙන් වෙනත් ස්ථානවල පදිංචි කළ යුතු
පවුල් වෙනුවෙන් ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, අධිඅවදානම් කලාපවල, ජනතාව පදිංචි වීම වැළැක්වීම රජයේ වගකීම බවත්, ඊට අදාළ තීන්දු තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික වතුවල ජීවත් වන නැවත පදිංචි කළ යුතු වතු ජනතාවට සහන සැලසීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කළ අතර නැවත පදිංචි කිරීම් සඳහා යෝජිත දැනට පෞද්ගලික සමාගම් භුක්තිවිඳින රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

තනි නිවාස නොවන නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සඳහා ප්‍රතිපාදන ලබා දීම මෙන්ම අර්ධ නිවාස හානි සඳහා ගෙවීම් සිදු කළ නොහැකි නිවාස ඉදිරියෙන් ඇති භූමිය ස්ථාවරව තබා ගැනීම සඳහා පැති බැමි සකස් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා විය.

ව්‍යාපාර හානි ගෙවීම් සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විචලනය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මිල විචලනය පිළිබඳ මතුව ඇති ගැටලුවට ලබන සතිය තුළ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ තනුර දිසානායක, ජගත් මනුවර්ණ, ඊ.එම් බස්නායක, රියාස් ෆාරුක් යන මහත්වරු ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද,  මහනුවර නගරාධිපති, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු මහජන නියෝජිතයෝද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු සහ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් පිරිසක් රිමාන්ඩ්……

පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයින් පිරිසක් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ගාල්ල වරාය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 09 දෙනෙකු එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.

එමෙන්ම සිද්ධියට අදාළ ගාල්ල පොලීසියෙන් ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් පිරිස පුද්ගලික ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

හික්කඩුව පොලිස් වසමට අයත් දොඩංදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 55 දෙනෙකු ගාල්ල පොලිස් වසමෙන් 110 දෙනෙකු සහ ගාල්ල වරාය පොලිස් වසමෙන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් ඉන්දිය හා නේපාල සැකකරුවන් පිරිසක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ගාල්ල සහ ගාල්ල වරාය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පිරිස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර හික්කඩුව දොඩන්දූව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

‘දක්ෂිණා ප්‍රභා’ ජාතික වෙසක් මංගල්‍යය ගැන ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්….

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.

ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවුඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.

“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත  අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ  ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.

කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරගය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.

එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින් ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.

වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.

මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත් වේ.

ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.‍

මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.