හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි……

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කිරීම සිදුකරනු ලැබුවාය.

මේ වනවිට සිංගප්පූරුවේ වාසය කරන බව සඳහන් වන අර්ජුන මහේන්ද්‍රන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඉකුත් වසරේ නොතිසී නිකුත් කර තිබුණත් එම නොසීසි නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බව අධිකරණයට දැනුම් දෙන්න ලැබීය.

ඒ අනුව මෙම සැකකරුට ඉංග්‍රීසි භාෂාවෙන් නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නොතිසි නිකුත් කිරීම සිදුකළාය.

2015 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් බැඳුම්කර පර්පචූවල් ට්‍රෙෂරීස් සමාගමට විකිණීම තුළින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ අර්ජුන මහේන්ද්‍රන් මහතාට විරුද්ධව මෙම නඩුකරය ඉදිරිපත් කර තිබේ.

ඉදිරි දේශපාලනය ගැන කොළඹදී විපක්ෂයේ ප්‍රබල සාකච්ඡාවක් – මහින්දත් එක්වෙයි……

විපක්ෂයේ දේශපාලනඥයින් සහ පක්ෂ නායකයින් එක්ව විශේෂ සාකච්ඡාවක් මේ වනවිට කොළඹදී පැවැත්වෙයි.

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.

අද (23) දහවල් 12ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්වී තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇති බව පැවසෙයි.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී ඇති බව වාර්තා වෙයි

රනිල්ගේ සිරගත කිරීම ගැන මහින්ද කනගාටුවෙන්….

දේශපාලන නායකයින්ව සුළු වැරදිවලට සිරගත කිරීම ගැන තමා කනගාටුවට පත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ගොස් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

“දේශපාලනය කරනවා නම් ඕක උරුමයි…එතුමා ඒකට මුහුණදෙනවා” යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් මෙවැනි ක්‍රියාවන් පළිගැනීමක් මිස වෙන ක්‍රියාවක් නොවන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව තවමත් තමාට ආදරය කරන බව ද කියා සිටියේය.

“අපි මිනිස්සුන්ට ආදරේ කරනවා. ඒ නිසා මිනිස්සු අපිට ආදරේ කරනවා…”

තැපැල් වර්ජනය 6 වන දිනටත් අඛණ්ඩව….

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක කෙරෙයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ආකාරයෙන් රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

හිටපු ජනපති රනිල් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාව මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

හිටපු ජනාධිපතිවරයාව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රියකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.

කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්‍රය අසලට එක් වීමත් සමගය.

හිටපු ජනපති රනිල් රක්ෂීත බන්ධනාගාර ගත කරයි….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

සුදත්තගේ යූටියුබ් ප්‍රකාශයට විමර්ශනයක් ඉල්ලා එජාපයෙන් CIDයට පැමිණිල්ලක්….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූ ටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අත්අඩංගුවට ගෙන දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට  0සුදත්ත තිලකසිරි යන අය විසින් ඊයේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කර තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කරන බවට  ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්  පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින් පිරිසක් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර, සිය එක්ස් අවකාශයේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට පෙරම යූටියුබ් නාලිකාකරුවෙක් ඒ පිළිබඳ අනාවැකියක් පළ කිරීම අහඹු සිද්ධියක් විය නොහැකි අතර එය සැලසුම් කරන ලද්දක් දැයි සැක මතුවන බවය.

එසේ වූයේනම් අප පාරිශුද්ධත්වයෙන් සලකන නීතිය හා සාමය හුදෙක් පහත් රංගනයක් බවට පත්වන ශෝකජනක දිනයක් උදාවී ඇති බවද විපක්ෂ නායකවරයා තැබූ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය භාගයකට කල් යයි….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව අයවැය පූර්ව සාකච්ඡාවක්……

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 29 මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය, එහිදී මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

පොල් වගාව සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ඒ සඳහා වාණිජ වගාවන් සහිත ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අලුතින් පොල් වගාවට වඩා පවතින වගාවන්හි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට අවධානය යොමු කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා ඌන උපයෝජන සහිත පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින පොල් වතු ප්‍රශස්ත ලෙස උපයෝජනය සඳහා දැනට පවතින නීති, රීති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු උපයෝජනය නොවූ ඉඩම් උපයෝජනය සඳහා සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

වතු නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය, වතු යටිතල පහසුකම් සංවර්ධනය, වතු පාසල්හි සුහුරු පන්ති කාමර පිහිටුවීම සහ වතු අංශයේ ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

තේ සහ රබර් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ලංකා කුරුදු නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ගෝලීය ප්‍රවේශය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

බස්නාහිර පළාත තුළ කුරුදු වගාව ප්‍රවර්ධනය කිරීම සහ එමගින් ඉහළ ඵලදායීතාවක් මෙන්ම ඉඩම් උපයෝජනය ඉහළ නංවා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට මෙරට නිර්මාණය වී තිබෙන කෘත්‍රිම වෙළෙඳපළ හේතුවෙන් බොහෝ කර්මාන්ත ඌන ධාරිතාවක් සහිත තත්ත්වයට පත්ව ඇති බැවින්, මේ පිළිබඳ නිසි ඇගයීමක් සිදු කර මෙරට කර්මාන්ත සංවර්ධනයට අදාළ උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ද්වීකරණ අවස්ථා හඳුනාගෙන එසේ හඳුනාගත් ආයතන ඒකාබද්ධ කිරීමත්, ඈවර කළ යුතු ආයතන ඈවර කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම සහ අපේක්ෂිත ඉලක්ක පිළිබඳවද සාකච්ඡාවට බදුන් විය.