රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක….

රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.

මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළැඹෙන්නේ වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

ජනතාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක පවතින රජය යටතේ පාලනය වන යම් රාජ්‍ය මාධ්‍ය විසින් වගකීම් විරහිත ලෙස මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන සුලු ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනයේ පෙන්වා දී ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලිපි ශීර්ෂය නීති විරෝධි ලෙස භාවිතා කරමින් සහ ලේකම්තුමාගේ අත්සන අවභාවිතා කරමින් කුඨ ලේඛන සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවය.

එම නීතිවිරෝධි ක්‍රියාවන් සහ අවභාවිතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බවය.

එමෙන්ම මෙහි ප්‍රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.

දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන මෙම ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් තලතා අතුකෝරල මහත්මිය විසින් අදාළ නිවේදනය ප්‍රකාශ‍යට පත් කළාය.

තැපැල් වර්ජකයින් සහ ඇමති අතර සාකච්ඡාවක් අද…..

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සදහා වර්ජනයේ නිරත සියලු තැපැල් වෘත්තීය සමිතිවල නියෝජිතයින් කැඳවා ඇති බවද වාර්තා වේ.

විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ඇතුළු සංගම් කිහිපයක් ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17වනදා ආරම්භ කළ වර්ජනය අද 07වන දිනටත් ක්‍රියාත්මක වේ.

වර්ජනය ආරම්භ කිරීමත් සමග දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවල තැපැල් සේවා කටයුතු අඩාල වී ඇති අතර තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවටද පත්විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසුවේ වර්ජනයේ නිරතව සිටි සාමාජිකයින් රැසක් මේ වන විට සේවා කටයුතු සදහා සහභාගී වී ඇති බැවින් හෙට දිනය වන විට තැපැල් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවන පවතින බවය.

බොරලැස්ගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට….

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙකි.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරයි.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී දෙපාර්ශ්වයේම යම් සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

 

හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට……

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහිදී වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඊයේ (22) බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් සිදු කළ නිර්දේශයකට අනුව මෙලෙස හිටපු ජනධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා වැඩ වර්ජනයක…..

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා දින උදෑසන 08 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

PCID නමින් පොලීසියෙන් නව විමර්ශන අංශයක්….

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසීය අලුත් විමර්ශන අංශයක් ආ‍රම්භ කරන බව බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පවසයි.

පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආරම්භ කිරීමට නියමිත මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනයට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇති බවය.

එමෙන්ම විශේෂ මෙහෙයුම්වලින් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව ද ඒ මහතා මෙහිදී පැවසුවේය.

ඒ අතර ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක්ද වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර තිබේ.

සමන් ඒකනායකටත් වැඩවරදින ලකුණු…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති පොලිසීයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමන් ඒකනායක මහතාට අත්අඩංගුවට ගැනීමට ද නියමිත යන්නය.

විමර්ශන ඉදිරියට සිදුවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බව ද කාලිංග ජයසිංහ මහතා පැවසීය.

විදෙස් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූර කාලයේදී එනම් 2023 වසරේ සැප්තැම්බර් 22 සහා 23 එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත ගොස් තිබුණි.

එම සංචාරය නිම කරමින් හිටපු ජනාධිපතිවරයා නැවතට දිවයිනට පැමිණීමට පෙර  ලන්ඩන් නුවරට ගොස් තිබුණේ, සිය බිරියවන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීම සඳහාය.

එම ආරාධනාව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට බ්‍රිතාන්‍යයේ වූල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටර් විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා නිල වශයෙන් යොමුකර තිබුණි.

කෙසේ වෙතත් අදාළ සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කරමින් හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගීවී ඇති බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් ගොනුකර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර එම දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් හා වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද පසුගිය දා ප්‍රකාශ ලබාගනු ලැබීය.

අනතුරුව වික්‍රමසිංහ මහතාට ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

ඒ අනුව ඔහු ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේය.

එහිදී පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාව දහවල් 1.15ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය‍ නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

හිටපු ජනපති රනිල් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නිර්දේශ…..

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ.

ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් අදාළ නිර්දේශය ලබාදී ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රුධිර පීඩනය ඉහළයෑම සහ සීනි මට්ටම ඉහළයෑම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසින් කෑම ලබාදීමටද නිර්දේශ කර තිබුණි.

ඒ අනුව ඊට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.