කුරුඳු අපනයනයෙන් රු. කෝටි 8,000කට ආසන්න ආදායමක්…..

කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරෝතුවන බවය.

කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ කුරුඳු කූරු වන අතර, ඉන් අ.ඩො. මිලියන  251ක ආදායමක් උපයාගෙන තිබේ.

සෙසු ආදායම් ලැබී ඇත්තේ කුරුඳු පොතු, කොළ හා තෙල්වලින්ය.

මෙය මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉහළම ආදායමක් ලැබූ වර්ෂය ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාව පෙර වර්ෂයන්හිදී රටවල් 70කට පමණ කුරුඳු නිෂ්පාදන අපනයනය කළද, 2025 වසරේ දී  රටවල් 100කට වැඩි සංඛ්‍යාවකට අපනයය කළ බව ජනක ලින්දර මහතා පවසයි.

“ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ ‘සිලෝන් සිනමන්’ නාමයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත බව හා ඖෂධීය ගුණාංග ඊට හේතු. අපි බලාපොරොත්තුවෙනවා 2026 වසර වෙනකොට අ.ඩො. මිලියන 300ක වගේ ඉලක්කයකට යන්න”

යනුවෙන්ද ලින්දර මහතා පැවසීය.

පරිගණක අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්….

පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වර්තමානයේ ඉහළ යමින් පවතින අපරාධ ස්වභාවයන් පිළිබඳ අදහස් දක්වමිනි. ඔහු පෙන්වා දුන්නේ, දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර, එය සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවක් බවය.

එම අපරාධ කාර්යක්ෂමව විමර්ශනය කර විසඳාගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය ඉතා විශිෂ්ඨ, කාර්යක්ෂම සහ අදූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම දක්ෂ නිලධාරීන්ට ඉහළට යා හැකි සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමත්, වැරදි කරන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේද සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සුරාබදු ආදායම් වර්ධනය කරගැනීම සඳහා ඩිජිටල්කරණ වැඩපිළිවෙළට වෘත්තීය සමිති එකඟතාවය…..

සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් වූ එකඟතාවය පසුගිය 03 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පළ කෙරුණු බව එම අංශය සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක්ව සිටියහ.

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීම මඟින් ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ වූ බව සඳහන් වේ.

ඒ සඳහා අවශ්‍ය ඩිජිටල්කරණ ක්‍රියාවලිය, නව ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ඩිජිටල්කරණය මඟින් කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මෙම අවස්ථාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියහ.

බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්….

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9300ක ප්‍රමාණයක් බෙදා දීම සිදු විය.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

ගම් මට්ටමින් කියවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

2025 වර්ෂය පුරා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ කලබලකාරී වත්මන් සමාජය තුළ ගුණගරුක මෙන්ම ශික්ෂණයෙන් යුත් මතු පරපුක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී මෙවන් වැඩසටහන් අතිශයන් වැදගත් බවය.

දියුණු සහ ගුණගරුක සමාජයක් ගොඩනැඟීමේදී සමාජයේ සියුම් තැන් ස්පර්ශ කරමින් කුඩා වුවද විශාල බලපෑමක් සිදු කළ හැකි ව්‍යාපෘති වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ තුළ අවධානය යොමු කර තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යමින් එය ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙම ජංගම පුස්තකාල සේවාව මඟින් පාසල් දරුවන්ට සහ පොත්පත් කියවීමට ලැදි ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම හා නවීන පුස්තකාල අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඉදිරියේදී දිවයින පුරා මෙවැනි ව්‍යාපෘති තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිත බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ලංගම බස් රථ රියදුරාට පෞද්ගලික බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා පහරදෙයි….

ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී තිබේ.

හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා සඳහන් කළේ, මෙම පහරදීම අද (07) පෙරවරුවේ සිදුව ඇති බවය.

ඩයගම සිට පෙරවරු 6:30ට ගමන් ආරම්භ කරන ලද බස් රථය හැටන් දක්වා ධාවනය කරවන අවස්ථාවේ එයට පිටුපසින් හබා ආ පෞද්ගලික බස් රථයේ රියදුරා විසින් ලංගම බස් රථය හරස් කර රියදුරු අසුනේ දොර විවෘත කර පහරදී ඇති බව ඔහු කියාසිටියේය.

ලිදුල මෙරායා නගරය ආසන්නයේදී මෙම පහරදීම සිදු කර ඇත්තේ, ලංගම බස් රථය විනාඩි 5කට පෙර ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙනය.

පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහරදීම සිදු කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා ප්‍රකාශ කළේය.

ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුලු විශාල පිරිසක් සිට ඇත.

මෙම පහරදීම බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බව ධාවන කලමණාකාරවරයා කියා සිටියේය.

පහර දීම සම්බන්ධයෙන් ලිදුල පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර

මෙරට මුහුදු තීරයේදී ලාංකික ධීවරයින්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව තවදුරටත් විමර්ශන….

මෙරට මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව රජයක් ලෙස තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රජා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අද (07) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පහරදීම සම්බන්ධව සොයා බැලීම සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාවට මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයටද මෙම පහරදීම සම්බන්ධව සොයා බලන ලෙස අමාත්‍යාංශය දැන්වූ බවය.

මෙම පහරදීම සම්බන්ධව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කළ බවත් එහි සඳහන්ව ඇත්තේ මෙම පහරදීමට ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරලාරක්ෂක බළකාය සම්බන්ධ වි නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ සිදුවීම සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා තවදුරටත් අමාත්‍යාංශය පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,

“පහුගිය දවස්වල ලංකා මුහුදු තීරයේ අපේ ධීවර යාත්‍රා දෙකකට පහරදීමක් සිද්ධ කරලා තියෙනවා.. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා අපේ ආසන්නම රටේ ඉන්දියාවේ වෙරළාරක්ෂක බළකායෙන් පහරදීමක් කළා කියලා. අපි මේ ගැන හොයලා බලන්න ඕනේ මොකද අපි රජයක්. ඒ නිසා අපි නාවික හමුදාවටයි, විදේශ කටයුතු අමාත්‍යාංශයටයි කියුවා මේ ගැන හොයලා දෙන්න කියලා. සොයා බැලුවා, පහරදීමේ ස්වභාවය බැලුවා, පොලීසිය පරීක්ෂණ පැවැත්වුවා ඉන්දියානු මහකොමසාරිස්තුමා කිව්වා නෑ ඉන්දියානු වෙරළාරක්ෂක බළකායවත්, ඉන්දියානු නාවික හමුදාවෙන් වත් නෙමෙයි මේ දේ සිද්ධ වුණේ කියලා. නමුත් රජයක් විදිහට, අමාත්‍යාංශයක් විදිහට තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විමර්ශනය කරන්න බාර දීලා තියෙන්නේ විමර්ශනය කරලා අපිට අවශ්‍යයි මේ රටේ ධීවර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. අපිට අවශ්‍යයි මේ සම්බන්ධව සොයලා බලලා නිවැරදි වාර්තාව ගන්න. මේක විදේශ රටකින්ද, අපේම අයද, වෙනත් කල්ලියක්ද, නිල කණ්ඩායමක්ද නොනිල කණ්ඩායමක්ද කියලා හොයලා බලනවා. ඒක තමයි අපි කරන්න ඕනේ” 

අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්ට ඇප….

සිංහරාජ රක්ෂිතයේ ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා විසින් නියෝග කර ඇත.

එමෙන්ම සැකකරුවන්ට එරෙහි නඩුව මාර්තු 26 වැනි දිනට යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා ඊයේ (06) දිනයේදී කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ළමා අපචාර දාමයකට හසුවූ එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්…..

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.

කෙසේවෙතත් ඒ කිසිදු ස්ථානයකට මෙරට තුළ ඔහුගේ වැරදි සිදුකර ඇති බවක් සඳහන් වන්නේ නැත.

ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ  ප්‍රසිද්ධ කරන ලදී.

ඒ සමඟ,  මේ වන විට හෙළිවී ඇති, එප්ස්ටීන් හා සම්බන්ධතා පැවැත්වූ ලොව අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හඳුන්වන ලද මෙම ලේඛනවල නවතම නිකුතුව ඉකුත් ජනවාරි 30 වන දින එළිදැක්වුණු අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් ඇතුළත්ය.

එමෙන්ම බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබේ.

එම ලේඛනවලට ඔවුන්ගේ නම් ඇතුළත් වූ පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟවෙන්නේ නැත.

එවන් පසුබිමක එප්ස්ටීන් ලිපිගොනු වල ශ්‍රී ලංකාව පිළිබඳ අවස්ථා 182ක සඳහන් වේ.

එහි දැක්වෙන  ඔහුගේ ‘ලිට්ල් සේන්ට් ජේම්ස්” හෙවත් ඔහුගේ රහස් දූපත ගොඩනැගීම සඳහා  ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලීය ආභාසය ගැනීමට උත්සාහා දරා ඇති බවය.

අධිකරණය හමුවේ හෙළි වූ ඊමේල් පණිවුඩවලට අනුව එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ජූලියන් ලීස් විසින් ජෙෆ්රි බාවාගේ සුවිශේෂී ගෘහ නිර්මාණවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් ඔහු වෙත යොමු කර තිබේ.

ස්වභාවධර්මය සහ ගොඩනැගිලි අතර අපූරු සංයෝගයක් ඇති කරන බාවාගේ නිර්මාණ ශෛලීය, තම දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

ජූලියන් ලීස් යනු 80-90 දශකවල ප්‍රබල බ්‍රිතාන්‍යය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වේ.

එප්ස්ටයින්ගේ ලේඛන තුළ ජූලියන්‍ගේ නම සටහන්ව ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, එප්ස්ටයින් සමග ව්‍යාපාරික සාකච්ඡාවන් සිදුකළ සමීපතම හවුල්කරුවෙකු ලෙසය.

ජූලියන් ලීස් දිර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිට ඇති බවද එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වෙයි.

කෙසේවෙතත් එප්ස්ටීන් හා ජූලියන් ලීස් මෙරට තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවක් ආදළ වාර්තාවල නොමැති අතර ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශවලට ද අනාවරණ වී නැත.

මොකක්ද මේ අලුතින් එන කුලී නිවාස නීතිය?

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ  පනත් කෙටුම්පත හරහා නිවෙස් හිමිකරුවන් බරපතළ අගතියකට ලක්වන බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා කරයි.

කෙසේවෙතත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ මෙම කෙටුම්පත පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවය.

කුලී සහ බදු පදනම මත නිවාස හා වෙනත් පරිශ්‍ර බාහිර පාර්ශ්ව වෙත ලබාදීම ඕනෑම සමාජයක සුලබ ක්‍රියාවලියකි.

මෙහිදී හිමිකරුවන් හා ගැනුම්කරුවන් අතර ඇතිවිය හැකි ගැටලු වැළැක්වීම සඳහා මෙම ක්‍රියාවලියට නීතිමය පදනමක් සකස් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2023 අංක 1 දරණ, ” බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ගැනීමේ විශේෂ විධිවිධාන පනත” ඇතුළු නීතිමය රාමු කිහිපයක් දැකගත හැකියි.

මෙවන් තත්ත්වයක වත්මන් ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබේ.

එහි පූර්විකාවට අනුව කෙටුම්පතේ මූලික අරමුණ වශයෙන් හඳුනාගත හැක්කේ පරිශ්‍රවලින් පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට එරෙහිව නීතිමය ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම‍ය.

කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත පිරිසකට හානිදායක බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කළ අතර මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා මෙය හැඳින්වූයේ යකාගේ නීතියක් ලෙසය.

මෙම කෙටුම්පතේ 2 වැනි වගන්තියට අනුව යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව රැඳී සිටින එනම්, බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් යටතේ බැඳුණු බදු ගැනුම්කරුවෙක් හෝ කුලී නිවැසියෙක් වන අයෙකුට මෙය අදාළ වේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සැකසී ඇති මෙම කෙටුම්පතට අනුව පදිංචිකරුට කලින් ලබා දී ඇති ඕනෑම පහසුකමක්, අත්‍යවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් අත්හිටුවීම හෝ නැවැත්වීම, එවැනි සේවාවක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම ඉඩම් හිමියෙකුට කළ නොහැකිය.

මෙහි 4 වන වගන්තිය මගින් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් සනාථ කර ඇත්තේ ගෙහිමියා හෝ ඔහු විසින් බලය දෙනු ලබන තැනැත්තෙකුට පදිංචිකරු එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම පිණිස සෘජුව හෝ වක්‍රාකාරයෙන් අලාභ හානි සිදුකිරීම, හැරයාම සඳහා පෙළඹවීම සිදු නොකළ යුතු බව ද සඳහන් කරමිනි.

එසේම 5 වන වගන්තියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අධිකරණ ආඥාවක් මත මිස පදිංචිකරුවෙකු පරිශ්‍රයෙන් නෙරපීම සිදු නොකළ යුතු බවය.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා ඉඩම් හිමියකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් පදිංචිකරුවකුට බලය පවරා තිබේ.

මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

මෙවන් පසුබිමක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් තවමත් අවසන් පියවරකට එළඹ නොමැති බවය.

එෂාන් වෙනුවට ප්‍රමෝද් T20 ලෝක කුසලාන සංචිතයට…..

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග වෙනුවට ප්‍රමෝද් මධුෂාන් T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.