ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට නව අධ්‍යක්ෂවරියක් නම් කරයි…..

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර තිබේ.

ඇය අද (09) කොළඹදී සිය ධුරයේ වැඩ භාර ගෙන තිබුණි.

කව්ලින් මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව සමඟ වසර 13 ක් ඇතුළුව වසර 26 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති නිලධාරිනියක් බව සඳහන් වේ.

බලශක්ති, දේශගුණික, පරිසර, වායු ගුණාත්මකභාවය, මහජන සෞඛ්‍ය සහ ආහාර-ජල ක්ෂේත්‍ර හරහා ආයෝජන ව්‍යාපෘති මෙහෙයුම්, ප්‍රතිපත්තිමය කටයුතු පිළිබඳ ඇය විශේෂඥතාවය දක්වයි.

2023 සිට ආසියානු සංවර්ධන බැංකුවේ මොන්ගෝලියා නේවාසික මෙහෙයුමේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ද සේවය කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමට පෙර, ඇය අමෙරිකාවේ ජාතික පුනර්ජනනීය බලශක්ති රසායනාගාරයේ කළමනාකාරිනියක් වූ අතර, එහිදී ඇය අමෙරිකා එක්සත් ජනපදය-ඉන්දියාව සහ දකුණු ආසියානු කලාපීය බලශක්ති සහයෝගීතා ප්‍රයත්නයන් මෙහෙයා ඇත.

ඉදිකිරීමක් සඳහා කැපූ අත්තිවාරමේ මෝටාර් බෝම්බ 23ක්…..

ගුවන්යානාවලින් හෙලීමට යොදාගන්නා මෝටාර් බෝම්බ 23ක් කළුතර ඉඩමක තිබී අද (08) හමුවූ බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි.

කළුතර සෙන්ට්‍රල් හන්දිය, පැරකුම් මාවතේ පිහිටි ඉඩමක කායවර්ධන මධ්‍යස්ථානයකට අත්තිවාරමක් කැපීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම මෝටාර් බෝම්බ තොගය හමුවී තිබේ .

අද උදෑසන එහි සේවය කරමින් සිටී සේවකයෙක්ගේ උදැල්ලක දැවටී මෝටාර් බෝම්බ 3ක් ගොඩගෙන ඇත.

පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා එහි තවත් මෝටාර් බෝම්බ ඇති බවට සැකකර මඩ වතුරවලින් පිරී තිබූ වලවල් විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදා පරීක්ෂා කිරීමෙන් පසු තවත් මෝටාර් බෝම්බ 20ක් සොයාගෙන තිබේ.

අදාළ මෝටාර් බෝම්බ තොගය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කදවුර වෙත රැගෙන ගොස් තිබේ.

පෙබරවාරි පළමු දින අටේදී සංචාරකයන්ගේ පැමිණීම 80000 ඉක්මවයි…..

2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවන් මඟින් මේ බව අනාවරණය කර ඇත.

 

ඉන්දියාවෙන් සංචාරකයින් 12,439 ක් පැමිණ ඇති අතර එය 15.0% කි. එක්සත් රාජධානියෙන් 9,283 ක්, රුසියාවෙන් 6,946 ක්, ජර්මනියෙන් 5,401 ක් සහ චීන ජාතිකයින් 5,037 ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 240,217 ක් බව සඳහන් වේ.

මේ අතර, පෙබරවාරි සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2026 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 358,103 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් පුද්ගලයින් 65,500 ක් ඉන්දියාවෙන්, 38,823 ක් එක්සත් රාජධානියෙන් සහ 34,080 ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක්…..

ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

දීර්ඝ කාලයක් පුරාවට ධීවර වරායන්, තොටුපළවල් සහ වෙරළ තීරයන් හී ගොඩගැසී පවතින ෆයිබර්ග්ලාස් බෝට්ටු සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණ කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතිය මගින් අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අදාළ ගිවිසුම අද (09) ධීවර අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

අමාත්‍යාංශය පැවසුවේ රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා අරමුදල මගින් මෙම මිලියන 56ක මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවය.

මෙහිදී අදහස් දක්වමින් සී-නෝර් පදනමේ සභාපති අජිත එදිරිසිංහ මහතා පැවසුවේ පැයකට කිලෝග්‍රෑම් 500ක ධාරිතාවයකින් යුත් මෙම නවීන යන්ත්‍රය මගින් ෆයිබර්ග්ලාස් කොටස් කුඩා කැබලිවලට කපා, කුඩු කර සිමෙන්මි සමග මිශ්‍ර කිරීමෙන් බ්ලොක් ගල්, පේවින් බ්ලොක් සහ කම්බි කණු වැනි නිෂ්පාදන සිදුකරනු ලබන බවය.

එමෙන්ම වැලි වෙනුවට 30%ක් පමණ මෙම ෆයිබර් කුඩු ආදේශ කිරීමෙන් නිපදවන ගඩොල් සාමාන්‍ය ගඩොල්වලට වඩා බරින් අඩු සහ ශක්තියෙන් වැඩි බවත් පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ද එක්ව සිටියහ.

අධ්‍යාපන සභාවක් ස්ථාපනය සඳහා වූ විද්වත් කමිටු වාර්තාවට අනුමැතිය

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව, අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර තිබේ.

ඒ පසුගිය 06 වනදා අදාළ පාර්ලිමේන්තු අනු කමිටුව, එහි සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින්  පසුගිය ඔක්තෝබර් 10 වනදා පැවති සභාවාරය අතරතුර අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වෙත භාර දී තිබුණි.

එම විද්වත් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුවේ අදහස් සහ යෝජනා ලබා දීම දැනටමත් සිදුකරමින් පවති.

අදාළ විද්වත් කමිටු වාර්තාව මේ වනවිට සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ම මුද්‍රණය කර ඇති බව සඳහන් කළ මහින්ද ජයසිංහ මහතා එහි පිටපත් සිය කමිටු සාමාජිකයින් වෙත ලබා දීමට කටයුතු කළ බවද ප්‍රකාශ කළේය.

පසුගිය 06 වනදා රැස් වූ  අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යංශ විද්වත් කමිටු වාර්තාව , අධ්‍යාපන අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට යොමු කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව ලබන 18 වනදා රැස්වීමට නියමිත අතර එහිදී  විද්වත් කමිටුවේ වාර්තාවට අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

එම අනුමැතිය හිමිවීමෙන් පසුව අදාළ කමිටු වාර්තාව සඳහා ගුරු-විදුහල්පති ඇතුළු වෘත්තීය සමිතිවලට මෙන්ම මහ ජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් හිමිවනු ඇති.

එහිදී ලැබෙන අදහස් හා යෝජනා තුල අන්තර්ගත සාධනීය කරුණුද සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂිත බව සඳහන් වේ.

එලෙස සකස් කෙරෙන වාර්තාව, නීතියක් බවට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම 12 වනදාට…

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.

රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ඉහළ මට්ටමේ රැස්වීමේදී එක්ව කටයුතු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්, අරුණි රණරාජා මහත්මිය සහ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාඕලා පම්පලෝනි මහත්මිය ඒකාබද්ධ කොමිසමේ සම සභාපතිත්වය දරන බව සඳහන් වේ.

මෙරට සංචාරයේ යෙදෙන යුරෝපා සංගම් නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින වත්මන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සහයෝගී ප්‍රවේශ සහ ඉදිරි පියවර පිළිබඳව පාර්ශව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

ජනවාරි මාසයේදී රටවිරුවන්ගෙන් ඩොලර් මිලියන 750ක් ඉක්මවූ විදෙස් ප්‍රේෂණ….

2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මෙම කරුණු සඳහන්ව ඇත. එහි අනුව, 2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 573.0ක් ලෙස වාර්තා වී ඇත.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 178.1ක ඉහළ යාමක් විදෙස් ප්‍රේෂණවල දක්නට ලැබේ.

තවද, 2026 වසරේ ජනවාරි මාසයේ සංචාරක ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් උපයා ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

කෙසේවෙතත්, 2025 වසරේ ජනවාරි මාසයේදී ලැබුණු සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක් වූ අතර, එය 2026 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී සියයට 5.6ක පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වැනිදා විවාදයට…

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මඩකලපුවෙන් රොකට් ලෝන්චර් 3ක් හමුවෙයි….

මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කුඩුම්බිමලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයා ගෙන ඇත.

සොයාගත් ගිනිඅවි ත්‍රිත්වය වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී….

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317,381 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 57,348 දෙනෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 34,724 දෙනෙකු, රුසියානු ජාතිකයින් 30,951 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 20,272 දෙනෙකු සහ චීන ජාතිකයින් 16,315 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

තවද, පෙබරවාරි මාසයේ පළමු දින හතර තුළ පමණක් විදෙස් සංචාරකයින් 40,054 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.