2032 දක්වා වාර්ෂිකව ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණයන් මෙන්න….

ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු ණය සේවාකරණයන් සම්බන්ධයෙන් අනාවරණයක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) දින සිදුකළේය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ “Economic Growth in the AI and Digital Era” ඉසව්වේ ප්‍රධාන ආරාධිත දේශනය සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවතීර්ණ වීමෙන් පසු සිදුකළ වැඩිම ණය සේවාකරණය 2025 වසරේ දී සිදුකළ බවත් එය ඩොලර් බිලියන 3.935ක් බවත්ය. ඊට මහ බැංකුව විසින් කළ ඩොලර් බිලියන 1.3ක හා ශ්‍රී ලංකා රජය විසින් කළ ඩොලර් බිලියන 2.6ක ගෙවීම් ඇතුළත්ව ඇත.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසූ පරිදි මෙම වසරේ සිට 2032 දක්වා ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව සිදුකළ යුතු විදෙස් ණය සේවාකරණයන් පහත පරිදි වේ.

වර්ෂය  – ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය (ඩොලර් බිලියනවලිනි)
2026  – 3.271
2027  – 2.537
2028  – 3.231
2029  – 3.386
2030  – 3.556
2031  – 3.493
2032  – 3.306

 

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් නිසා මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ජාවාරමක් හසුවෙයි….

කටුකුරුන්ද ප්‍රදේශයේදී රාත්‍රී ආරක්ෂක රාජකාරිය යුතු සිටි න්න පොලිස් නිලධාරීන්ට සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නැවත්වීමට උත්සාහ දැරීමේදී පැදිකරු අණ නොතකා වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් ඔහු පසුපස ලුහුබැද යාමේදී යතුරුපැදිකරු කටුකුරෙන්ද සංචාරක හෝටල් පාරේ අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී තාප්පයක වැදී අනතුරක් සිදු වී ඇත.

පිටුපසින් ලූහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් විසින් තුවාල ලැබූ පැදිකරු සහා යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී යතුරු පැදියෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) උර 04 ක් ප්‍රවාහනය කරමින් සිට ඇති බව අනාවරණය කරගෙන ඇත. අනතුරෙන් පසු පැදිකරු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මොහු සන්තකයේ ප්‍රවාහනය කරමින් තිබූ තිබූනීති විරෝධී මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් මිලිටර් 30000 උරවල තිබී හමුවී ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කාන්තාවක විසින් හිනටියංගල ප්‍රගති මාවත ප්‍රදේශයේ නිවසක මත්පැන් නිෂ්පාදනයක් පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු හා එදිනම තවත් ඔත්තුකරුවකුගෙන් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරු මත සිදු කළ වැටලීමේ දී සැකකාර කාන්තාවගේ නිවසේ විකිණීමට සූදානම් කර තිබූ නීති විරෝධී මත් වතුර 337400ml ආසන්න ප්‍රමාණයක් බැරල් 5ක් හා බාස්කට් තුල බාහා තිබියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්පැන් බීමට පැමිණි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව හෙට කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරු කසිප්පු ප්‍රවාහනය
පොලිස් අණ නොතකා ධාවනය
අපරීක්ෂාකාරී රිය ධාවනය
රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය යන වැරදි සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වැටලීම කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත ප්‍ර.පො.ප.නෙරන්ජල් ද සිල්වා ,උ.පො.අබේවික්‍රම,පො.කො. 97392 බණ්ඩාර ගෙදර , පො.කො. 106258 නිමසර ,102935 ෆෝන්සේකා ,106161 විජේසංහ,පො.කෝ.රි.103672 කාවින්ද,කා.සි.ආ.බා.නදීරා යන නිලධාරීන් විසින් සිදුකර ඇත.

ගල්පාත – චන්දන පෙරේරා

අනූෂ පැල්පිට තවදුරටත් රිමාන්ඩ්…..

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනූෂ පැල්පිට මහතා එළැඹෙන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (6) නියෝග කළේය.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුද වන පැල්පිට මහතා ලබන, රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දයාසිරිගේ නඩුවක නියෝගය කල් යයි….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ තිබෙන නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කළේය.

මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 17 වනදා දක්වා කල් තබන බව දිසා අධිකරණය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබේ.

එම නියෝගයට අනුකූලව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මහතා මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට…..

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් අනතුරුව ඊයේ (05) මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇති බවට මේ වන විට එම විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට පැමිණිල්ලක්ද යොමු කර තිබේ.

සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයේදි අනාවරණය වී ඇත්තේ අදාළ පහරදීමට ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවටය.

පොලීසිය පැවසුවේ එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවය.

සිද්ධිය සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

උපරිමාධිකරණයේ තීන්දු තීරණ රටේ යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් – අගමැති හරිනි….

උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබාදෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය, අධිකරණ කටයුතු සඳහා යළි ලබාදීමේ  අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රිපුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක් එක්කර ඇත.

එමෙන්ම විනිසුරුවරු සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්, විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්, සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අතිනවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් රැසකින් උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,  

“1988 වසරේදී චීන රජයේ සහයෝගයෙන් ඉදිවූ මෙම සංකීර්ණය, දශක තුනකට පසු කාලීන අවශ්‍යතා මත මෙලෙස නවීකරණය කිරීම අතිශය වැදගත් පියවරක්.

අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු සැබවින්ම මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා”.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන රජය ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අග්‍රාමිත්‍යවරිය, යුක්තිය සැමට සමානව ඉටුවනු ඇතැයි යන මහජන අපේක්ෂාව ඉටු කිරීමට මෙම නවීන පහසුකම් පිටුවහලක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළාය.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී  ෂෙන්හොං, නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

වළලු දැමූ අත්වලින් ටිකට් කඩන CTBය…..

ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් කොන්දොස්තරවරියන් 20 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී අද සිදුකෙරුණි.

ඒ, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙනි.

පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇදුමක් ද මෙහිදී හඳුන්වා දී තිබේ.

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂය ඉක්මවූ කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙකු කටුනායකදි කොටුවෙයි….

රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපළින් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන අබුඩාබි නුවර දක්වා රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 642ක ප්‍රමාණයක් තිබී ඇති අතර එය පැකට් 4ක් ලෙස සකස් කර ගමන් මල්ලෙහි සඟවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු වල නිරත 28 හැවිරිදි අයෙකු බවත් වාර්තා වේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්….

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/ 2024  දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.

මන්ත්‍රීවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර මහත්මියට මීට අදාළ පනත් කෙටුම්පත භාර දී ඇත.

මෙම සංශෝධනය තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍යවලට ළමුන් පිවිසීම, ළමුන් ඉලක්ක කරගතත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව ඇත.

මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්…..

දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින්.

අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදී පවත්වාගැනීම වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

”දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට කැපී පෙනෙන හානියක් සිදුව තිබෙනවා. නමුත් එම හානිය අපේක්ෂා කළ තරමට වඩා අවම අගයක්. ලෝක බැංකු වාර්තාවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා පවා වරෙක පැවසුවා එම හානි තක්සේරුව අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් කියලා. රජයට ඊට වඩා සියුම් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව නැවත ගොඩනැගීමේ වියදම බොහෝදුරට අපේක්ෂා කළ අගයට වඩා අඩු වෙන්න පුළුවන්. දිට්වා හි බලපෑමෙන් ආර්ථික වර්ධන වේගය පහත වැටෙන්න පුළුවන්. එම සංඛ්‍යාලේඛන නුදුරේදි ලැබෙයි. ලබන වසරේ සිට අපේක්ෂිත ලෙස 5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්න හැකිවෙයි…

2028දී නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමට හෝ කඩාවැටීමක් සිදුවෙයි කියලා කියනවා. රජයට සේවා වියදම් ගෙවීමටත් නොහැකි වෙයි කියනවා. මම ඒක පැහැදිලි කරන්නම්. අපිට ණය ප්‍රතිව්‍යුහගතකිරීමකට යන්න වුණේ අපි ඉතිහාසයේ කවදාවත් ඩොලරයක් වත් ණය නොගෙවා ඉඳලා නැති නිසා.2025 වසරේදි අපේ සංචිත භාවිත කරලා අපි ඩොලර් මිලියන 3,934 ගෙවා අවසන් කළා. මේ වගේ වැඩකට නැති කතා නිසා සිදුවන්නේ ආයෝජකයින්ගේ මනසේ රට ගැන අනවශ්‍ය සැකයක් ඇතිකරන එක. තවත් පිරිසක් කියනවා දිට්වා හානිය නිසා අපි ණය ගෙවන එක නවත්වන්න ඕන කියලා. මේ වගේ දේවල් ගැන තර්ක කරන්නේ ආර්ථිකය යළි කඩාවැටෙනවට කැමති අය වෙන්න ඕන. රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා. ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවතියාට වඩා හොඳ තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ගිණුම්වල මුදල් තිබියදී හරියට ස්වෙච්ඡාවෙන්ම ණය පැහැරහරින්නෙක් වගේ අපි ගිහින් කියනවා නම් අපි නම් ණය වාරික ගෙවන්නේ නැහැ කියලා, එවන් රටවල කවුරුත් නැවතත් ණය ලබාදෙන්නේ නැහැ. සමහරු කියන්නේ නිසි දැනුමක් නැතිව, සමහරු මේවා කියන්නේ ආර්ථිකය කඩා වැටෙයි කියලා බලාගෙන. මම හේතුව දන්නේ නැහැ.”