කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ….

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (09) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙකි.

ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.

27වනදා තෙක් නිශ්චිත පිළිතුරක් කියන්න බැහැ – නි. ඇමති මාදැල් ධීවරයින්ට කියයි….

මාදැල් ධීවරයින් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ධීවරයින් විසින් මේ වනවිට අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් 27 වැනිදා දක්වා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බවත් ඔහු පැවසීය.

“අපි ආදරෙයි ඔයාලාට,  ඔයාලා එන්න ඕනේ අපිත් එක්ක හිටගන්න. අපේ ධීවරයෝ. අපි රැක ගන්නේ ඔයාලා. ඔයාලා රැකගන්න ඉන්නේ අනාගත පරම්පරාව. ධීවර කර්මාන්තය රැකගන්න සූදානම් වෙන්න. එන්න. අපිත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තැනකට ගමු. අපිට වැරදි තැනවලට උත්තර නෑ. ඒ නිසා අපි ඍජුවම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ මොහොතේ අපිට ඍජු අදහසක් කියන්න බෑ.  ඔබ උසාවි මාර්ගයට ගිහිල්ලා තියෙන්නේ. නඩුවක් දාලා තියෙන්නේ. 27 වෙනකම් මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ. නඩුවෙන් පස්සේ. තීන්දුවෙන් පස්සේ අපි සාකච්ඡා කරන්න සූදානම්. සාකච්ඡා කරලා පරිසරයත් ආරක්ෂා කරගෙන ඔයාලාත් ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන්න අපි සූදානම්.”

ඊ – වීසා සිද්ධියට අදාළ පෙත්සම යළි කැඳවීම මාර්තු 25 වනදා…..

ඉකුත් රජය සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් වලට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි මාර්තු මස 25වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද (09) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණි.

එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව පෞද්ගලික සමාගම් සමග ඇති කරගත් ගිවිසුම්වල නීත්‍යානුකූල භාවය පිළිබඳව යළි සලකා බැලීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා තීරණය කර ඇති බව සඳහන් කළේය.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී පෙත්සම්කරුවකු වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා යලි කරුණු සලකා බලන බව සඳහන් කළත් ඒවායේ නීත්‍යානුකූල භාවය පිළිබඳ තීන්දුවක් ගත හැක්කේ අධිකරණයට පමණක් බව සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය හරහා රටට විශාල ආර්ථික පාඩුවක් සිදු වී ඇති බවත් එබැවින් මේ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවට තීන්දුවක් තමන් අධිකරණය වෙතින් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

තවත් පෙත්සන්කරුවකු වන නීතීඥ රවුෆ් හකීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීම ආරම්භ කෙරුණු 2024 වසරේ අප්‍රේල් මාසයේ සිට එම ක්‍රියාවලිය නැවැත්වීම සඳහා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගය නිකුත් කළ කාලසීමාව තුළ  රටට අති විශාල පාඩුවක් සිදුවූ බව පැවසුවේය.

අදාළ ගිවිසුම් යළි සලකා බැලීම සඳහා විෂය භාර අමාත්‍යවරයා විසින් කරුණු අධ්‍යයනය කරමින් සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රකාශ කලත්  මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ ටෙන්ඩර් යළි පිරිනමන්නේ නම් එය සිදු කළයුත්තේ විවෘත ටෙන්ඩර් කැඳවීමකින් අනතුරුව බවත් රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

එසේ නොකළහොත් පෙර සිදු වූ වරද යළි සිදුවීමට හැකියාව තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා මෙම පෙත්සම් විභාගයට ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පෙත්සම්කාර පාර්ශවයට පෙන්වා දුන්නේ අදාළ ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය පරීක්ෂා කර නිගමන ලබා ගැනීම සඳහා වග උත්තරකරුවන්ට කාලය ලබාදීම සුදුසු බවය.

ඉන් පසුව මෙම පෙත්සම් විභාගයට ගන්නා බවත් ඔහු දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පෙත්සම් යළි මාර්තු මස 25වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුවක් කල්යයි….

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අප්‍රේල් මස 24 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09) නියෝග කළේය.

මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ  නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාර ඩේසි ෆොරොස්ට් නමැත්තිය නඩු විභාගයකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවාද යන කාරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු එම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි අප්‍රේල් මස 24 වන දා කැඳවීමට නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම් වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක ආධාරයක්…..

මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක් සහනාධාර ලෙස ලබාදී තිබේ.

ඒ, දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහාය.

මෙම සහල් තොගය අද (09) වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik විසිනි.

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් මෙරට 20%ක් වගා බිම් හානියට පත් වූ අතර ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබා දුන් මූල්‍යමය ආධාරවලට අමතරව මියන්මාර රජය මෙම මෙට්‍රික් ටොන් 500ක සහල් තොගය පරිත්‍යාග කළ බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි…..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, අදාළ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 06ක් අද (09) විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේදීය.

මේ පිළිබඳව මහජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබාදී ඇත.

ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා යන පාර්ශ්ව නම් කරනු ලබන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින්  සලකා බැලීමට නියමිතය.

අතිරේක සොලිසිටර් ජනරාල් වරයා එහිදී මෙම පෙත්සම්කරුවන් සිය පෙත්සම් තුළින් ඉදිරිපත් කරන කරුණු ද සලකා බැලීමට නියමිත බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව එම විශේෂඥ කමිටුව විසින් අදාළ පනත් කෙටුම්පතට සිදු කළ යුතු සංශෝධන අඩංගු වාර්තාවක්  අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා අපේක්ෂා කරන බව ද  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙම කරුණු ඇතුළත් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නීතිපතිවරයා වෙත ඒවා තිබූ ලිපියක් ද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් අධිකරණයට දැනුම් දුන්හ.

ඒ හේතුවෙන් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි….

දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.

මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 14වනදා කැඳවන ලෙස නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව අල්ලස් කොමිසම ගොනුව තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර ඇත.

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධ නඩුව මාර්තු 16 වැනිදාට කල් යයි…..

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් තීරණය ලබන මාර්තු 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) පෙරවරු 09.30ට කැඳවන ලදී.

එහිදී මෙම සමූහ මිනීවළේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කෙරෙනු අතර කැණීම් කළ ඇති ස්ථානවල පිරී පැවැති වැසි ජලය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

ඉන් අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එහි ඊළඟ නඩු විභාගය ලබන මාර්තු 16 වැනිදා සිදු කිරීමටත් එදිනම සමූහ මිනීවළෙහි තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කරන බවත් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කළේය.

මේ අතර යාපනය මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තෙවන අදියරේ කැණීම් කටයුතු සඳහා වියදම් ඇස්තමේන්තුව ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් මෙරටට…..

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) දහවල්  ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් ඉන්දීය දූත පිරිස පිළිගනු ලැබීය.

ඒ අනුව, එම දූත පිරිස විසින් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 11 වන දින නැවත ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පෙබරවාරි 04 වන දා මෙරටට වැඩම කරවා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරන ලදී.

පෙබරවාරි 05 වන දා සිට 11 වන දා දක්වා පැය 24 පුරා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කරවා නොමැති අතර, මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට හිමි වීම විශේෂත්වයකි.

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කෘමි නාශක හා බීජ තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට…..

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 80ක් වටිනා කෘමි නාශක හා බීජ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු හෙම්මාතගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස තීරුබදු නොගෙවා රැගෙන විත් තිබූ මෙම කෘමි නාශක හා බීජ තොගය ගොවීන්ට අලෙවි කිරීමට ගබඩා කර තිබියදී කෑගල්ල නාරම්බැද්ද විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (09) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඉතා රහසිගතව සඟවා තබා තිබූ එම කෘමි නාශක තොගය සම්බන්ධයෙන් කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන් හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44  සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයින් බව සඳහන් ය.

සැකකරුවන් අධිකරණ කටයුතු සඳහා හෙම්මාතගම පොලීසිය වෙත භාරදී ඇති අතර හෙට (10) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.