අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට…..

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.

21 හැවිරිදි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදීය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද එම චීවරධාරියා සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.

එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බව වාර්තා වේ.

අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර චීවරධාරියා මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පොලිස් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක බව සඳහන් වේ.

ජින්තුපිටියේ වෙඩි තැබීම වළක්වා නොගත්තැයි අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප….

පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම සඳහාත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය සිය බී වාර්තාවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ සැරයන්වරයා රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බවය.

සිද්ධිය වූ අවස්ථාවේදී මොවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බවත් පොලිසිය පැවසුවේය.

එහිදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී සිදුවීම සිදු වූ ස්ථානයට මීටර 10ක පමණ දුරින් සිට ඇති බවද පොලීසිය මෙහිදී පැවසුවේය.

වෙඩික්කරුවන් ඔවුන් අසළින්ම පැමිණ ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් අසළින්ම පලාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් පොලිස් සැරයන්වරයාගේ අතෙහි ටී-56 ගිනිඅවියක් හා කොස්තාපල්වරයාගේ අතෙහි රිවෝල්වරයක් තිබුණද ඔවුන් ඒවා භාවිත නොකිරීම නිසා වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පහසුවෙන් පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා සමග තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටියද ඔවුන් සතුව ගිනිඅවි තිබී නොමැති අතර ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මොවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසීය.

සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ට පොලිසිය විසින් එල්ල කරන චෝදනා පැහැදිලි නොමැති බව සඳහන් කළේය.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දීමක් සිදු කර නොමැති බවත් එවැනි චෝදනාවක් එල්ල කිරීමට නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතු බවත් නීතිඥවරු පෙන්වා දුන්නේය.

එහෙත් එවැනි දැනුමක් තිබූ බව පොලිසිය විසින් ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරු සිය සේවාදායකයින්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සිටි බව පෙන්වා දුන් එම නීතිඥවරු මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස නියෝග මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව මෙම පැමිණිල්ල අප්‍රේල් මස 27 වනදා යළි කැඳවන ලෙසද නියෝග කළේය.

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි….

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර, ‘දිට්වා’ ලෙස හඳුන්වන විශාල ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ ද ආර්ථික ස්ථාවරත්වය නිසා බව පෙන්වා දුන්නේය.

‘දිට්වා’ අභියෝගය හමුවේ දේශපාලනය හා ආර්ථිකය එකිනෙකට පටලවා නොගෙන කටයුතු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, උදාකරගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම රජයේ ඊළඟ අරමුණ බව ද සඳහන් කළේය.

එමෙන්ම, ආපදා තත්ත්වය හමුවේ වැඩිම පීඩාවට පත් වූයේ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව බව පෙන්වා දී, ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී IMF හි තවදුරටත් සහාය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ආපදා සහන කටයුතු සඳහා IMF විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළාය.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගත් කඩිනම් පියවර සහ අභියෝග හමුවේ සැලසුම් සහගතව යළි නැඟී සිටීමට දක්වන කැපවීම ඇය ඇගයීමට ලක් කළාය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත ආර්ථික වර්ධනයක් සම්පූර්ණ කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක්….

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC) අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවත්වා තිබුණි.

එම අවස්ථාවේදී දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර මෙම ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තබා ඇත.

ජපාන රජය වෙනුවෙන් ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මත්සුඕ තකෙහිකෝ (Matsuo Takehiko) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මසකත්සු (Murotani Masakatsu) මහතා අත්සන් තැබූ බව සඳහන් වේ.

මෙම ප්‍රතිපත්ති සංවාදයේදී දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ.

කාර්මික කොරිඩෝවක් (Industrial Corridor) නිර්මාණය කිරීම සඳහා වූ මාර්ග සිතියම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමද සිදුකළ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ ජපන් සමාගම් සඳහා පවතින ව්‍යාපාරික වටපිටාව පිළිබඳව ජෙට්‍රෝ (JETRO) ආයතනය විසින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර Itochu සහ Mitsui වැනි ප්‍රමුඛ ජපන් සමාගම් සිය ව්‍යාපාරික අත්දැකීම් ඉදිරිපත් කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම අවබෝධතා ගිවිසුම සහ ප්‍රතිපත්ති සංවාදය මගින්  ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාව නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ මෙහිදී විශ්වාසය පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාව T20 තරගාවලියෙන් ඉවතට….

වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට  ඔස්ට්‍රේලියාවට සිදුවිය.

ඒ අද (17) පල්ලෙකැලේ දී පැවත්වීමට නියමිතව තිබූ සිම්බාබ්වේ – අයර්ලන්තය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගය අත්හැර දැමීමට කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, සිම්බාබ්වේ සහ අයර්ලන්තය කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගිය අතර අයර්ලන්තය කණ්ඩායමට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගියේය.

එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණු 2ක් හිමිව ඇත.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුනේ සිටියි.

අල්ලස් ගත් වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට…..

දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය විසින් ඊයේ දින (16) ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන ලෙසත් එදිනට ඉතිරි රුපියල් 500 රැගෙන එන ලෙස දැන්වීමෙන් පසුව පැමිණිලිකරු විසින් සැකකාරිය හමු වූ අවස්ථාවේදී උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රුපියල් 500ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි……

තලංගම අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වූ අදාළ සොහොයුරන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකූලරත්න සහ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය යන මහත්වරුන් ඇතුළු  නීතීඥයන් සියයකට ආසන්න පිරිසක් අධිකරණයෙහි පෙනී සිට නමුත් විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත්වී සිටියේ නැත.

අනතුරුව සැකකරුවන් දෙදෙනා පැය 48ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර හිමිවිය.

මේ අතර අදාළ ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ ගිනිඅවි දෙක ප්‍රවාහනය කිරීම සඳහා අදාළ තරුණයන් දෙදෙනාට උපදෙස් ලබාදුන් “පොල්ගස්ඕවිට ඩිලා” නැමැත්තාව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගනු ලැබිය.

28 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අතර ඔහු “මෝදර නිපුන”ගේ හා “මල්වානේ ටුටූ” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙක් බව පොලSසිය පැවසුවේය.

මොහුද අත්අඩංගුවට පත් වූ තරුණයන් දෙදෙනා සමග ගිනිඅවි වෙඩික්කරුවන්ට ලබාදීමට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර අදාළ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය බද්දේගම, අගලිය ප්‍රදේශයේ පාළු ස්ථානයක ගිනිතබා තිබියදී පොලීසිය පසුගියදා සොයාගනු ලැබීය.

ඒ අනුව අදාළ මෝටර් රථය අද පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කර තිබුණි.

තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා (13) පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කළේය.

අනතුරුව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.

කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත මෝදර නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණි.

මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු දැක්වෙන සීසීටීවී රූපරාමු පෙළක් අද දෙරණට ලැබුණි.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු ඔවුන් පැමිණි මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට ගමන් කරයි.

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයාද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.

අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ  මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ.  ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

තවද මෙම පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය ද අද හිමිවිය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ.

ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වීම සිදුවේ.

ජනපති නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වෙයි…..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව  AI Impact Summit 2026  සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

රාජ්‍ය අමාත්‍ය Shri Raj Bhushan Choudhary මහතා ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයාව හරසරින් පිළිගන්නා ලදී.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුද ජනාධිපතිවරයා සමඟ සමුළුවට එක්වීමට නියමිතය.

දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි…..

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කළේය.

එහි ලේකම් දිමුතු එදිරිසිංහ මහතා පැවසුවේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බවය.