නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් CITY PLAN ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සැලසුමක්…….

මෙරට සංවර්ධනය නව මානයකට රැගෙන ඒම වෙනුවෙන් නගර සංවර්ධනය වෙත විශේෂ අවධානයක් යොමු කරවීමට නව රජය විසින් CITY PLAN ව්‍යාපෘතිය, පලමු පියවර ලෙස තෝරාගත් නගර 10 ක් ඉලක්ක කොට නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ .

CITY PLAN නගර සංවර්ධන සැලැස්ම තුල නගරයේ යටිතල පහසුකම්, මාර්ග පද්ධති, මහල් නිවාස, වාණිජ කලාප නිසියාකාරයෙන් හඳුනාගෙන ඒ වෙනුවෙන් ආයෝජනයන් නිසියාකාරයෙන් සිදු කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කෙරේ.

ඒ හරහා නගර සැලසුම් නවීකරණය, රථවාහන තදබදය අවම කිරීම, ජනතාවට අවශ්‍යවන්නා වූ මහජන පහසුකම් පහසුවෙන් සලසා ගැනීම, ආයෝජන සහ සංචාරක ආකර්ශණය වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වේ.

හැටන් නගරයට අදාලව නගර සැලසුම් සැලසුම් ක්‍රියාත්මක කර ගත හැක්කේ කෙසේද යන්නත් මේ වන විට ව්‍යාපෘතියේ ඉදිරිය පිළිබදවත් අද (13) දින සාකච්ඡාවක් පැවති අතර මේ සාකච්ඡාව සඳහා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාහී විය.

ශ්‍රී ලංකාවේ අලුත් වාහන වෙළඳපොලේ ප්‍රමුඛතම සන්නාමය ලෙස BYD අඛණ්ඩව ඉදිරියට…..

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) මෙරට අලුත් වාහන වෙළඳපොලේ අංක 1 සන්නාමය බවට පත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

මීට වසරකට පෙර වාහන ආනයනය නැවත ආරම්භ වූ දා සිට BYD වේගයෙන් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය මේ වන විට අලුත් වාහන සහ විදුලි වාහන කාණ්ඩවල අංක 1 ස්ථානයේ පසු වන අතර BYD SEALION 6 මාදිලිය SUV කාණ්ඩයේ ප්‍රමුඛතම වාහනය ද වේ. ශ්‍රී ලංකාව තුළ BYD හි නව බලශක්ති වාහන පරාසය සහ අලෙවි ජාලය අඛණ්ඩව වර්ධනය වීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ ‘’ශ්‍රී ලංකාව තුළ BYD වාහනවලට ලැබෙන ප්‍රතිචාරය ඉතා ඉහළයි. BYD මේ වන විට අලුත් වාහන වෙළඳපොලේ ප්‍රමුඛයා බවට පත්ව ඇති නිසා අපගේ පාරිභෝගිකයින්ට පහසු හා විශ්වාසදායක අත්දැකීමක් ලබා දීමට අපි අපගේ අලෙවියෙන් පසු සේවාවන් වේගයෙන් පුළුල් කරමින් සිටිනවා. මෙම ආයෝජන හරහා, සේවා සහ අලුත්වැඩියාවන් සඳහා වැඩි වාහන සංඛ්‍යාවක් හැසිරවීමේ හැකියාව ඉහළ නැංවීම, සේවා ගුණාත්මකභාවය එකම ප්‍රමිතියකින් පවත්වා ගැනීම සහ පාරිභෝගිකයින් රටේ කොතැනක සිටියත් ඔවුන්ට බාධාවකින් තොර සහායක් ලැබෙන බව සහතික කිරීම අපගේ අරමුණයි,” යනුවෙනි.

වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු මාස නවය තුළ ශ්‍රී ලංකාවේ සියලුම අලුත් වාහන ලියාපදිංචි කිරීම් වලින් 37% ක් පමණ BYD වාහන ලියාපදිංචි කිරීම් විය. එය සමස්ත විදුලි වාහන ලියාපදිංචි කිරීම් වලින් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් ද විය. මෙමගින් විවිධ පාරිභෝගික අවශ්‍යතා සහ වෙළඳපල කොටස් හරහා BYD වාහන සඳහා ශක්තිමත් සහ ස්ථාවර ඉල්ලුමක් පෙන්නුම් කරයි.

මෙම කාලය තුළ වාහන අලෙවිය ඉහළ ගිය අතර BYD, John Keells CG Auto හරහා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පුළුල් කරන ලද්දේ නව වාහන මාදිලි හඳුන්වා දීමෙන් සහ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට තවත් ප්‍රදර්ශනාගාර විවෘත කිරීමෙනි. මේ අතර BYD ATTO 3, BYD DOLPHIN, BYD M6, BYD SEAL, BYD SEALION 6, BYD SHARK 6, BYD SEALION 5, BYD ATTO 1 සහ BYD ATTO 2  ඇතුළු BYD නව බලශක්ති වාහන පරාසය පුළුල් විය. ඒ සමඟම, රට පුරා BYD හි පැවැත්ම ශක්තිමත් කරමින් ප්‍රධාන නගරවල නව ප්‍රදර්ශනාගාර විවෘත කරන ලදී.

ඊළඟ අදියර ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනය වන BYD වාහන ඉල්ලුමට සහාය වීම සඳහා අලෙවියෙන් පසු සේවා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම සැලැසුමේ ප්‍රධාන කොටසක් වන්නේ වත්තල පිහිටි BYD හි විශාලතම අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමයි. මෙම මධ්‍යස්ථානය හරහා වැඩි වාහන සංඛ්‍යාවක් හැසිරවීමේ හැකියාව ඉහළ නැංවීම සහ සියලුම මගී වාහන මාදිලි සඳහා නඩත්තු හා අලුත්වැඩියා කටයුතු කිරීමට ගතවන කාලය අඩු කිරීමට අපේක්ෂා කෙරේ. තවද BYD ශ්‍රී ලංකාව තුළ වාහන සේවා 10,000 ක් සම්පූර්ණ කරන බැවින් එය BYD සඳහා වැදගත් සන්ධිස්ථානයක් ද සනිටුහන් කරයි.

මීට අමතරව John Keells CG Auto සීදූවේ පිහිටි පැරණි Formula World ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙන අතර එය මේ වන විට BYD සහ DENZA වාහන සඳහා පමණක් විශේෂයෙන් වෙන්කරන ලද විශාලතම අලුත්වැඩියා මධ්‍යස්ථානය ලෙස ස්ථාපිත කර ඇත. මෙහි එකවර වාහන 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් හැසිරවිය හැකි අතර අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා සහ සංකීර්ණ නඩත්තු කටයුතු දේශීයව කළමනාකරණය කිරීමට BYD සතු හැකියාව තවදුරටත් ශක්තිමත් කරයි.

BYD කොළඹින් පිටත මහනුවර, රත්නපුර, අම්පාර, කුරුණෑගල, මීගමුව, ගාල්ල, අනුරාධපුර සහ යාපනය යන නගරවල නව පහසුකම් විවෘත කරමින් සිය සේවා ජාලය අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටී. තවද සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පාරිභෝගිකයින්ට අලෙවියෙන් පසු සේවා සඳහා ප්‍රවේශය ද පුළුල් කරයි.

කොටස් වෙළෙඳපොළ අද ඉහළට……

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල වර්ධනයක් අද (13) වාර්තා වුණි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 57.33කින් ඉහළ ගොස් ඒකක 23,709.84ක් ලෙසින් සටහන් වුණි.

S&P SL20 මිල දර්ශකය ඒකක 19.21කින් ඉහළ ගොස් ඒකක 6,618.73ක් ලෙස දැක්වුණි.

අද දින රු. බිලියන 8.51ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සොයනවා – නාමල්…..

අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අරගලය මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා. තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න  ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා.” යනුවෙනි.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්…..

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අඛණ්ඩ සහාය ලබාදෙන බව එහි නව දේශීය අධ්‍යක්ෂ ෂැනන් කව්ලින් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ එම බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය වන කව්ලින් මහත්මිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, වසර ගණනාවක් පුරා ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ඇය අපේක්ෂා කරන බවය.

නව අධ්‍යක්ෂවරිය නිල වශයෙන් ජනාධිපතිවරයාට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂවරයා විසින් සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සතුට පළකර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමුව ඇති අතර, යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

මේ අතර වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙන සුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දී ඇත.

එමෙන්ම මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම්ද පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක්වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කරදීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ තත්ත්වවලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගවලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පවසා ඇත.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 වසරේ සිට මෙරට සිදුකිරීමට සැලසුම් කර ඇති ආයෝජන, ලබාදීමට අපේක්ෂිත අයවැය සහාය සහ ‍මෙම වසරේ මැදභාගයේදී සිදු කිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්….

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන් වූ  නෞකා පහේම අන්තර්ගතව තිබුණේ බාල ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) රැස්වූ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වූ අතර ඊට ලංකා විදුලිබල මණ්ඩලය , මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ඊට කැඳවා තිබුණි.

එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය සඳහා ගෙන්වූ ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධවය.

සුරාබදු ගෙවීම් පැහැර හරිනු ලැබූ සමාගම්වල හිඟ බදු ගැන නීතිපතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්….

සුරාබදු ගෙවීම් පැහැර හරිනු ලැබු මත්පැන් නිශ්පාදනය සමාගම්වල හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා සියලු පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මත්පැන් නිශ්පාදන සමාගම් විසින් පැහැර හැර තිබෙන සුරාබදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ගොනු කිරීමෙන් පසුව ඇතැම් සමාගම් වල හිග බදු මුදල්වල ප්‍රමාණය වැඩි වී තිබෙන බව සඳහන් කළේය.

2020 වසරේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ රුපියල් බිලියන 1.29 ක්ව පැවති හිග බදු මුදල 2024 වසරේ හිග බදු මුදල රුපියල් බිලියන 1.6 ක් ක් දක්වා වැඩි වී තිබෙන බවද මෙහිදී සඳහන් කළේය.

මෙම සමාගම්වලට සද්භාවයෙන්ම බදු ගෙවීමේ බදු ගෙවීමේ අරමුණක් තිබුණේ නම් මෙවැනි තත්වයක් උද්ගත විය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ගේ මත්පැන් නිශ්පාදන බලපත්‍රය මේ වන විට අත්හිටුවා තිබෙන බව සඳහන් කළේය.

එසේම සියලු බැංකු ගිණුම් හා දේපළ තහනමට ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව සඳහන් කළේය.

හිග මත්පැන් බදු අය කර ගැනීම සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගය ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු මෙහිදී පැවසුවේය.

ඇතැම් සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් එම සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි වැඩිදුර ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි මාර්තු මස 05 වන දා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් පාර්ශවකරුවන්ට නියම කළේය.

හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්…..

එළැඹෙන 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ එම පුද්ගලයින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk දරන වෙබ් අඩවියට පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමේ පහසුව සලසා දී ඇති බවය.

යම් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳා පමණක් හෙට (14) වැනි සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ශාඛාවන් පෙරවරු 08.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වන තෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යෙ පෙළ විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම් ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත හා අදාළ ලේඛණ රැගෙන පැමිණෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කළුතර මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණ දඬුවම…..

වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් අද (13) මරණ දඬුවම නියම කර තිබේ.

කුඩා වස්කඩුව ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද කුමාර නමැත්තා 2008 ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක, වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසකදී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

පසුගිය නඩු වාරයේදී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (13) සිදු කරන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි.

කළුතර – සම්පත්

ප්‍රශ්නගත කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක ඉවත් වෙයි…..

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්ව තිබේ.

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බවට දැනුම් දී ඇති අතර ඒ අනුව වෙනත් සාමාජිකයෙන් ඉදිරියේදී ඒ සඳහා පත් කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දී තිබේ.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.