අමරකීර්ති ඝාතන සිද්ධියේ එල්ලුම් ගස නියම වූවන්ට සමාව දෙන්න – ෆොන්සේකා…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත.

අද (18) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම ඉල්ලීම සිදු කළේය.

මෙහිදී ඔහු පවසා සිටියේ, මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම ජනාධිතිවරයාට එක් පෑන් පහරින් සිදුකළ හැකිය.

“අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න. 

මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කරගනවා කියන එක ජනාධිතිතුමා එක පෑන් පහරෙන් කරන්න ඕන” යැයි පැවසීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉකුත් 11වනදා මරණ දඬුවම නියම කළේය.

නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් ගමනට ඩයස්පෝරාව හරස් වෙයිද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි දිනයකදී එක්සත් රාජධානියේ සංචාරයක නිරත වීමට නියමිතය.මෙහිදී නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලවල පවත්වන උත්සව අවස්ථාවන් වලට සහභාගී වීමටද නියමිතය.

මෙම සංචාරය පිලිබදව දැනගත් ඩයස්පෝරාව නාමල්ගේ ගමන වැළැක්වීමට ශ්‍රී ලංකා රජයට මෙන්ම මහාබ්‍රිතාන්‍ය රජයටත් බලපෑම් කර ඇත.තවද ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වලටත් බලපෑම් සිදුකරමින් පවතින බව ආරංචිමාර්ග සදහන් කරයි.තවද මේ වන විටත් ඩයස්පෝරාව විසින් නාමල් රාජපක්ෂට විරෝධය පලකරමින් සමාජ මාධ්‍ය මෙහෙයුමක්ද ආරම්භ කර ඇත

මෙහිදී නාමල් රාජපක්ෂ එක්සත් රාජධානියට පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේය.

වනඅලි පහරදීමකින් විදේශිකයෙකු ජීවිතක්ෂයට…..

සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙකි.‍

අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සීගිරිය පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි….

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 12,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

පනත් කෙටුම්පත් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට….

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ කුලී අවලංගු කිරීමේ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පෙබරවාරි 6 වන දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට ලබාදුන් තොරතුරු මත පදනම්ව, පනත් කෙටුම්පත් ඒවායේ වර්තමාන ස්වරූපයෙන් ඉදිරියට නොයන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ වෙනුවට, අදාළ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා විශේෂඥ කමිටුවකට යොමු කරනු ලබන අතර, ඒවා නව පනත් කෙටුම්පත් ලෙස ඉදිරිපත් කිරීමට සුදුසු පියවර ගනු ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව, පෙත්සම්කරුවන් විසින් තම පෙත්සම් ඉල්ලා අස්කර ගෙන ඇති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.3 වගන්තිය යටතේ විධිමත් තීරණයක් ප්‍රකාශ කිරීම අනවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නිල වාර්තාවේ මුද්‍රණය කිරීමට නියෝග කළ බවද කථානායකවරයා තවදුරටත් පැවසීය.

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට….

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත.

අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ.

මෙහිදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු රජයේ ඉහල පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවට එක්සත් රාජධානියෙන් ලබාදුන් මානූෂීය ආධාර සහ එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම ද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වී ඇත.

ඊට අමතරව ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ද බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමීගේ මෙම සංචාරය තුළ සිදුකිරීමට නියමිතය.

විජිත් විජයමුණි FCIDයට….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ බවය.

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සිය පක්ෂ  සාමාජිකත්වය අත්හිටුවීම අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කිරීමට බාධා කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි එම පැමිණිල්ල තුළින් කෙරුණු ඉල්ලීම  අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස දයාසිරි ජයසේකර මහතා සිය පැමිණිල්ල තුළින් කළ ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම් මෙම නඩුකරය තුළින් ඉල්ලා තිබෙන අවසාන සහනය හා බැඳී පවතින කරුණු බැවින් ඊට අදාළ අතුරු තහනම් නියෝග මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් විනිසුරුවරයා පැවසීය.

ඉන් අනතුරුව මෙම නඩුකරයට අදාළ උත්තර ගොනුකිරීම සඳහා අවසර දෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම නඩුව යළි මැයි මස 4 වෙනි දා කැඳවීමට නියෝග කළ අතර එදිනට උත්තර ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් විත්තියට නියම කළේය.

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…..

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යොජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයක් මඟින් ආවරණය නොකෙරෙන තවදුරටත් පවත්වාගෙන යා යුතු සේවාවන් කම්කරු අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමටත් නියමිතව ඇත.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති.

වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී.

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව මඟින් රජයේ මැදිහත් වීම ඉවත් කළ යුතු හා ඈවර කළ යුතු ආයතන යටතේ ශ්‍රම වාසනා අරමුදල ද හඳුනා ගනු ලැබ ඇත.

දැනට එහි සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ට අගතියක් නොවන පරිදි ඈවර කිරීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇත.

එකී අරමුදල මඟින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් හඳුනා ගනිමින් එම කාර්යයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් අදහස් ලබාගෙන ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරනු ලැබ ඇත.

BIMSTEC විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ දී….

රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම  2026 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

බෙංගාල බොක්ක කලාපය තුළ කලාපීය සහයෝගිතාව සහ ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව (BIMSTEC) පිහිටුවා ඇත.

7 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව 2024 පෙබරවාරි මස පවත්වන ලද සාකච්ඡාවකදී, රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස ‘රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුවක්’ පිහිටුවීමට එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබේ.

එම යෝජනාව අනුව සකස් කරනු ලැබ ඇති විද්වත් කමිටුව පිහිටුවීම පිළිබඳ සංකල්ප පත්‍රිකාව සඳහා සියලුම සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි ව ඇත.

එකී විද්වත් කමිටුවේ කාර්ය නිර්ණේය අනුදේශ සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට හැකිවන පරිදි එම විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සලකා බලන ලෙස බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, එකී විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.