UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා….

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම මෙම යෝජනාවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනා කෙරෙණු ඇත.

ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මෙම තත්ත්වය තුළ මෙවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනය වෙනස් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලනය විචාරකයින් සඳහන් කර සිටී.

ජනාධිපති අරමුදලෙන් උතුරුමැද පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

 මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 241 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.  මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24.1 කි.

 ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිළි කිරීමේ කථාව සිදු කළේය.

 ප්‍රධාන දේශනය කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලැබූ අතර මේ වන විට ජනාධිපති අරමුදල එහි සැබෑ කාර්යභාරය හඳුනා ගනිමින් ඉතා  කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත්, ඒ පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත් ප්‍රකාශ කළේය.

 ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, භාග්‍ය ශ්‍රී හේරත්, තිළිණ සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව උතුරුමැද පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර උතුරුමැද පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ  දැනුම හා පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

 ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

පද්මේ ඇතුළු පිරිස තැන් දෙකක – පැය 72ක රැඳවුම් නියෝග….

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා ස්ථාන දෙකක රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරීම් සිදු කරන බව සඳහන් වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය හා ශ්‍රී ලංකා පොලිසිය ඉන්දුනීසියාවේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු තිබුණි.

අදාළ මෙහෙයුම හා සම්බන්ධ වූ ඉන්දුනීසියානු හා මෙරට පොලිස් නිලධාරීන් කණ්ඩායම එම අපරාධකරුවන් පිරිස ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ගත්තේය.

දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන අය භාරදී ඇත්තේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙතයි.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු හා මෙරට පොලිස් නිලධාරීන් ඇගයීමට ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඊයේ අදාළ අපරාධකරුවන් රැගෙන දිවයිනට පැමිණි එම නිලධාරීන් පිරිස ගුවන්තොටුපලේ දී පිළිගත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඔවුන් ඇගයීමට ලක් කරමින් සමරු ඵලක හා ත්‍යාග පිරිනැමූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ ගුවන්තොටුපලේ මෙම ඇගයීම් කටයුතු සිදුවන අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ඡායාරූප සහ ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා යැයි හැඟෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවය.

කෙසේවෙතත් එම ඡායාරූපය හා ප්‍රවෘත්තීන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා ව්‍යජ ලෙස සකස් කර පළ කරන පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

කොලොන්නාව කුණුකන්ද අසල කැලෑවෙන් මිනිස් සිරුරක අස්ථි කොටස් හමුවෙයි…..

කොලොන්නාව පොතු විල් කුඹුර නා ගහමුල්ල
ප්‍රදේශයේ කුණු කන්දට යාබදව අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක අස්ථි කොටස් හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි එම ස්ථානයේ තිබී ස්කබලක් කොඳු ඇට පෙළ හා පාදයක අස්ථි කොටස් මෙන්ම කළු පාටට කැප්තොප්පියක් සහ කහ පාටටහුරු කොටට කලිසමක්ද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි

කුණු කන්ද අසල නිවාසවල පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සරුංගල් යවමින් සිටියදී මෙම අස්ථි කොටස් දෙකක් නිවසට ගොස් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය

මියගොස් ඇති පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත සිදුවූ ස්ථානයට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය

කොලොන්නාව- රොහාන්

වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට….

අද (31) පෙරවරුවේ වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

නිල්වලා ගඟේ ලවණ බාධක ගැටලුව විසඳීමට අවධානය

මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය අවිධිමත්ව ඉදිකිරිම හමුවේ පැන නැගි ඇති ගැටලු විසඳීමට මෙරට තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවේ නම් විදේශිය රටක තාක්ෂණික දැනුම ලබා ගෙන ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පානීය ජල ගැටලුවට විසඳුමක් ලබාදිමේ අරමුණින් නිල්වලා ගඟ හරහා ස්වයංක්‍රීය ලවණ බාධකයක් ඉදිකලද එය නිසි ප්‍රමිතියට සකස් නොකිරීමෙන් අදටත් එම වැසියන් ගැටලුවකට මුහුණ පා සිටියි.

ඒ  නියං කාලගුණයත් සමඟ නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිමෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන ජලය සීමා කිරීමට පියවර ගැනීමත් සමගයි.

මෙම ගැටලුව පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අවධානය යොමුව තිබුණි.

ඉන් අනතුරුව නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිම වලක්වාලමින් නිල්වලා ගගේ ඉදිකළ ලවණ බාධකය අසලින් කපා ඇති අතුරු ඇල වැලි කොට්ට දමා වසා දැමිමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සිට මාතර ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් එක්ව ජලසම්පාදන මණ්ඩලයේ අධීක්ෂණ යටතේ එම ස්ථානයේ වැලි කොට්ට ඇතිරිම ආරම්භ කෙරුණි.

සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්….

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන  පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01  සිට 08 වැනිදා අළුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම යෝග්‍ය බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.

නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට යළි CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට….

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.