බහාලුම් 323 ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇමති උපාලි පන්නිලගේ….

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ.

ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට හා ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් පැවති පුරප්පාඩුව සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාව මෙලෙස පත්කර ඇත.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ.

ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ.

ඒ අද (18) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුරය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන “AI Impact Summit 2026” සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) ඇමතීමට නියමිතය.

සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් මෙයට එක්වීමට නියමිතය.

මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා…..

එළැඹෙන 20 වනදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මහා සඟ සමුළුව සම්බන්ධයෙන්, දැනුම්වත් කර එයට ආරාධනා කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද (18) මහනුවර දී මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදුටුහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම පිරිස පළමුවෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අතර ඉන්පසුව මල්වතු මහා විහාර පාර්ශ්‍වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුහ.

මාධ්‍යට අදහස් පළකරමින් පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි පැවසුවේ, වර්තමානයේදී ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මෙන්ම වෙනත් බාහිර පුද්ගලයන්ද බුද්ධ ශාසනයට, බෞද්ධාගමට සහ සිංහල ජාතියට ගැරහීම් සිදුකරන බැවින් එම කටයුතු වහා නවත්වන ලෙසට ඉල්ලීමට සහ අනුශාසනා ලබාදීමට මෙම සඟ සමුළුව පැවැත්වීමට කටයුතු කර ඇති බවය.

එහිදි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, මහ නාහිමිවරුන්ගේන යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් එම සඟ සමුළුව සඳහා සංඝයා වහන්සේලා සහභාගීකරවීමට කටයුතු කරන බවත්ය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප….

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් මිලියන 20 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පසුගියදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීමට විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දැඩි විරෝධය පළ කර තිබුණි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අද (18) මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෛත්‍රී වික්‍රමසිංහට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්…..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්…..

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත ඉකුත් ජනවාරි 23වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටියි.

ඒ මහතා 2023 සැප්තැම්බර් 15දා සිට මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

20ක් රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර….

හම්බන්තොට පල්ලේමළල ප්‍රදේශයේදී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වූ පෞද්ගලික බස්ථයක් එකිනෙක ගැටීමෙන් අද (18) දහවල් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන විට ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වූ බස් රථයේ මගීන් 57ත් දෙනෙකු පමණ සිට ඇති බව හම්බන්තොට පොලීසිය පවසයි.

බස් රථයේ සිටි පිරිස අතරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙලෙස‍ෙ රෝහල් ගත කර ඇති බවත් විදේශිකයන් පිරිසක්ද ඒ අතර සිටි බවත් සඳහන් වෙයි.

මේ අතර, රෝහල් ගතකළ පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වෙයි.

තිස්සමහාරහාම සහ මාතර අතර ධාවනය වු බස් රථයේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් පොලීසිය වැඩිදුර සඳහන් කරයි.

තිස්සමහාරාමය සහ මාතර අතර ධාවනය වු බස් රථයෙහි පිටුපස ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය අතර ධාවනය වු බස් රථය ගැටීමත් සමඟ රියදුරු පාලනයෙන් මිදීගොස් අවට තිබූ ව්‍යාපාරික ස්ථානයක තාප්පයක් බිඳ දමමින් කුඩා ව්‍යාපාරික ස්ථානයක් ද බිඳගෙන ඉදිරියට ධාවනය වී ඇත.

අනතුරින් බස් රථ දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට…..

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇත.

විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ඔවුන් එලෙස මාරුකර ඇති බව සඳහන්ය.

ඊයේ (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පුදගලික බස් රථයක ආසන පටි නොමැතිවීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් ඇතිව ඇත.

එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්…..

තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්.

අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින්, එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

පසුව සැකකරුවන් දෙදෙනා මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාළව මෙම සොහොයුරන් දෙදෙනා  කොට්ටාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී මෙම ‘පොල්ගස්ඕවිට ඩිලා’ අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ‘ඩිලා’ නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක්….

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට ප්‍රමාණවත් කරුණු නොමැතිව තිබියදී බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) ප්‍රකාශ කර තිබේ.

නිල සංචාරකට මුවාවී පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

ඒ නඩුවේ පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකී වරද සිදුකිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහාය.

අනතුරුව, දින 21ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

” මෙම නඩුවේ දෙවැනි සැකකරු වන මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනාව තමයි රාජ්‍ය නායකයා විසින් සිදුකළ බවට සැකකෙරෙන මූල්‍ය වංචාවක් අනුමත කිරීම තුළින් ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පළමු සැකකරු සිදුකළ වරදට ආධාර අනුබලදීම. 

මෙම නඩුවේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරු රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න තහවුරු කරගැනීමකින් තොරව, හුදෙක් පහළ නිලධාරින්ගේ තීරණ මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අනුමත කර ඇති බව පෙනීයනවා. ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස එසේ කරනවානම්, ඉන් පහළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ විශාල ගැටලුවක් පැනනගිනවා. මුදල් දුලබ කාලයක එම අනුමත කිරීම සිදුකිරීමේදී ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බැලිය යුතුව තිබුණා. එය අත්හළ නොහැකි වගකීමක්. එබැවින් මෙම සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වනවා. 

කෙසේ වුවද, මෙම නඩුවේ සමස්තය පිළිබඳ අවධානය යොමුකිරීමේදී දෙවැනි සැකකරුට වඩා වැඩි වගකීමක් පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එසේ තිබියදී මෙම අධිකරණයේ පූර්වගාමි විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා. එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය වන්නේ නැහැ. එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැහැ. එම ඇප නියෝගය නිකුත් කිරීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තාද අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ වෛද්‍ය වාර්තා නොවේ. එබැවින් පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව මා නිරීක්ෂණය කරනවා. 

රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වියයුතුයි. නීතිය පළමු සැකකාර ජනාධිපතිවරයාට සහ දෙවැනි සැකකාර ජනාධිපති ලේකම්වරයාට වෙනස්වන්න බැහැ. එබැවින් මෙම තත්ත්වය මෙම සැකකරුට ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. සැකකරු රුපියල් මිලියන 20ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කරනවා. “

අනතුරුව නීති කෘත්‍යය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු වාර්තා කළේය.

” ස්වාමිනි, ඔබේ අධිකරණ නියෝග ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ප්‍රශ්නාවලියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ. එවැනි තත්ත්වයක ඊයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් යනවා වුල්ෆ්හැම්ටන් වාර්තාව ලැබුණා, මේ නඩුව සුණු විසුණු වෙලා ගියා කියලා. ස්වාමිනි, මේ නඩුව ඉදිරියට යන්න තියෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට. එහෙම තියෙද්දි යම් පිරිසක් සංවිධානාත්මකව උත්සාහ දරනවා සමාජයේ මානසික භීෂණයක් හදලා, සාක්ෂිකරුවන් සාක්ෂිදීමට නොපැමිණෙන තත්ත්වයක් හදන්න. උසාවියේ කතා නොකරන එළියේ කතා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන නීති විශාරදයෝ ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නෛතික පියවර ගන්නවා.”