තණමල්විල පාසල් දරුවන්ට රට දුම්වැටි විකිණූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට….

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණු බවට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි රු 200ක මුදලකට පාසලේ දී විකුණා තිබේ.

පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදී සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත.

පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්….

මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැත්තිය ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි…

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.

වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වුණි.

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණි.

ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් ය.

දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.

තුසිත හල්ලොලුවට ඇප….

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුසිත හල්ලොලුව මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුවරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇත.

ඉන් අනතුරුව සැකකරු විදේශගත වීම තහනම් කිරීමටද නියම කෙරුණු අතර, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා තමා ගමන්ගත් වාහනයට ඉකුත්දා නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

ඒ මහතාව පසුගිය අගෝස්තු මස 19 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.

දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්….

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය.

වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙම අදහස් පල කළාය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.

විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තීව්‍ර වෙයි වෙන ලකුණු…..

සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි.

අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් පසුගිය 04 වන දින සිට විදුලි වෘත්තීය සමිති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවත් අදියරක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රිමායාර්ගය ඊයේ (17) දිනයෙන් ආරම්භ කරුණු ලැබීය.

ඒ අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කෙරෙන බව විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේය.

කෙසේවෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් තවදුරටත් නොසලකා හරින්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය

මෙරට විදේශ ගමන් බලපත්‍රය ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට….

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේ දී එක් ස්ථානයකින් පහත වැටී තිබේ.

සැප්තැම්බර් මස 11 වන දින නිකුත් කළ 2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97 වන ස්ථානය හිමිව ඇති බව සඳහන් වේ.

2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ 96 වන ස්ථානයේ පසුවිය.

ශ්‍රී ලංකාව සමග ඉරානය ද මෙම දර්ශකයේ 97 වන ස්ථානයේ රැඳී සිටියි.

පුර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය හැකි ගමනාන්ත පදනම් කරගනිමින් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලොව පුරා විදෙස් ගමන් බලපත්‍ර ඇගයීමට ලක් කෙරේ.

මෙම දර්ශකයට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව පත්ව ඇති අතර දකුණු කොරියාව සහ ජපානය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

මෙම විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ පහළම ස්ථානය හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයටය.

ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්….

ම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවය.

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“ඔයාලගේ කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්. ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා. මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම.”

කළු.ර ගල්පාත – චන්දන

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්විස්ට්සර්ලන්ත පාර්ලිමේන්තු නියෝජිතයෝ හමුවෙති…..

ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස එරට පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ තානාපති ක්ලෝඩියෝ ෆිෂර් හමුවිය. පසුගිය සැප්තැම්බර් 15 දා ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටි එරට පාර්ලිමේන්තුවේදී මෙම හමුව සිදුවිය.

අනතුරුව දූත පිරිස ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ජාතික සභාව නියෝජනය කරන ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය හමුවූහ.

මෙහිදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවේ ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක අවස්ථාව සිදුවූ අතර එහි සභාපතිත්වය මන්ත්‍රී ෆාරා රූමි මහත්මිය දැරීම සුවිශේෂී සිදුවීමක් විය.

එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ශ්‍රී ලංකා-ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සි. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, හිටපු කථිකාචාර්ය කබිලන් සුන්දර්මූර්ති ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්වී සිටියහ.

රජයට අහිමි වූ තවත් කෝටි ගණනක පාඩුවක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි….

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම නිසා රජයට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වී ඇත.

ගල්කොරි සඳහා නිකුත් කරන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද…? දැයි මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර තිබේ.

එමෙන්ම ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳව මෙන්ම තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවද අවධානයට ලක්ව ඇත.

ඒ අනුව නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.