මහින්දානන්දගේ අභියාචනා විභාගය අවසන් – තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.

පුරා දින තුනක් තිස්සේ පැවති වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරයි.

අද තුන්වන දිනටත් පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ දී රාජ්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සතොස ආයතනය විසින් අනුගමනය කර නොමැති බවට චෝදනා කළේය.

ඒ බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබාදුන් තීන්දුවේ පැහැදිළිවම සඳහන් කර තිබෙන බවත් ඇය පෙන්වා දුන්නේය.

මෙහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, සතොස ආයතනය යනු රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගමක් බවත් එම ආයතනය රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිපැදීමට බැදී සිටින බවත් සඳහන් කළාය.

සතොස ආයතනයේ සෝමපාල නමැති නිලධාරියා සාක්ෂි දෙමින් මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට අදාළ ඉන්වොයිසිය තමන්ට ලැබුණේ මෙම නඩුවේ පළමුවන විත්තිකරු වූ සභාපතිවරයාගේ කාර්යාලයෙන් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත් මෙම මිලදී ගැනීමට අදාළ කුමන්ත්‍රණය ආරම්භ වන්නේ මෙම අවස්ථාවේ සිට බවත් ඇය අධිකරණය හමුවේ අවධාරණය කළාය.

මෙම භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිසිදු ලිපි ගොනුවක් සතොස ආයතනයේ නැති බවත්, මේ පිළිබඳව කළ සොයා බැලීමේදී එවැනි ලේඛන කිසිවක් හමු නොවූ බවට මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය වූණේ යැයි කියා සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව තෝරා ගත් ආයතනයකින් මිලදී ගෙන තිබෙන බව සාක්ෂිවලින් අනාවරණය වූ බවත් පැවසීය.

මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි දුන් එවක ක්‍රීඩා අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරිය මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොතිබූ බවත්, එසේ මිලදී ගත් කැරම් බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ගබඩා වෙත ලැබී නොතිබූ බවට ඇය විසින් සඳහන් කර තිබූ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසීය.

එසේම මෙලෙස කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීම සඳහා සිය අමාත්‍යාංශය තුළ ප්‍රතිපාදන වෙන් කර නොතිබූ බව එම සාක්ෂිකාරිය සඳහන් කළේ යැයි ද ඇය පෙන්වා දුන්නේය.

මෙම ක්‍රීඩා භාණ්ඩ සතොස ආයතනයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් දෙවන විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සමග එකගතාවයක් පැවති බවට ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් එල්මෝ පෙරේරා මහතා ලබා දුන් සාක්ෂියක සඳහන්ව තිබූ බවත්, මෙම ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් තමා සතොස ආයතනයට ලිපියක් නිකුත් කළේ විත්තිකාර හිටපු අමාත්‍යවරයා දුන් උපදෙස් අනුව බවට එම සම්බන්ධීකරණය ලේකම්වරයා ලබාදුන් සාක්ෂියේ ප්‍රකාශ කර තිබූ බවත් ඇය කියා සිටියේය.

මේ කටයුත්තට අදාළව ලිපියක් නිකුත් කිරීමට පෙර තමා විත්තිකාර හිටපු අමාත්‍යවරයාගෙන් වාචිකව උපදෙස් ලබා ගත් බවත්, එම ලිපිය හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් නිකුත් කරන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ එවක ලේකම් නන්ද මල්ලවාරච්චි විසින් මහාධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියක සඳහන් වන බවත් නියෝජ්‍ය ජෙනරාල්වරිය පැවසීය.

මෙසේ ආනයනය කළ ක්‍රීඩා භාණ්ඩ දේශපාලන පක්ෂ කාර්යාලවලට භාරදී තිබූ බවත් ඇය සඳහන් කර සිටියේය.

මෙහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම ක්‍රීඩා භාණ්ඩ දේශපාලන පක්ෂ කාර්යාලවලට බෙදා දී ඇති බවට මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ඉදිරිපත් වී තිබේ දැයි විමසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීමට දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ලබාදී තිබූ බව සඳහන් ක‍ළාය.

ඔවුන්ගේ සාක්ෂිවලට අනුව එම අවස්ථාවේදී මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙත එම ක්‍රීඩා භාණ්ඩ භාරදුන් බව අනාවරණය වූ බවත් ඇය සඳහන් කළාය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ස.තො.ස ආයතනය රාජ්‍ය ආයතනයක් නොවන බවට අභියාචක විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.

සතොස ආයතනය රාජ්‍ය ආයතනයක් බව මහාධිකරණ නඩු විභාගයේදී පැමිණිල්ල සාක්ෂි මගින් ඔප්පු කළ බවත් ඇය පැවසීය.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය එම සාක්ෂිය මහාධිකරණ නඩු විභාගයේදී විත්තිය විසින් අභියෝගයට ලක් නොකළ බවත් කියා සිටියේය.

සියලු කරුණු සලකා බැලීමේදී මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු සාක්ෂි විශ්ලේෂණය කර විත්තිකරුවන් වරදකරුවන් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය නීත්‍යානුකූල මෙන්ම නිවැරදි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය සිය දේශන අවසන් කරමින් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට වගකිව යුතු සතොස ආයතනයේ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම හෝ ඔවුන් සාක්ෂියට කැදවීම සිදුකර නොමැති බව යළි චෝදනා කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සිය සේවා දායකයා සම්බන්ධ කරමින් ඔහුගේ හිටපු සම්බන්ධීකරණය ලේකම් එල්මෝ පෙරේරා ලබාදුන් සාක්ෂිය විශ්වාසනීයත්වයෙන් තොරව බව චෝදනා කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව අභියාචනා විභාගය අවසන් කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.

එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හරි…….

විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

අද (11) පස්වරුවේ කම්කරු කොමසාරිස්වරයා මෙන්ම නව විදුලි සමාගම්වල සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත.

එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට (12) දිනයේ වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදෙන බව ද කම්කරු කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය 09 වැනිදා පස්වරුවේ සිට ආරම්භ කළ විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් වාර්තා වූ අතර සේවා නඩත්තු කටයුතු ද සඳහා ද බාධා එල්ල විය.

ජපානයේ නව රැකියා ක්ෂේත්‍රයක් ශ්‍රී ලාංකිකයින්ට විවෘත වෙයි…..

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ වන වගා ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම අවස්ථාව හිමිව ඇත.

පළමුවරට වන වගා ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ තරුණයින් තිදෙනෙකු අද දින (11) ජපානය බලා පිටත්ව ගිය අතර, එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුවිය.

මෙම ක්ෂේත්‍රයට අමතරව තවත් ක්ෂේත්‍ර 7ක පුහුණු අවස්ථා මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඉන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හිමිවූ පුහුණු ලාභීන් 6දෙනෙකුද මෙම පිරිසත් සමග අද දින ජපානය බලා පි‍ටත්ව ගියේය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-30 අතර, තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස පුහුණුව ලැබීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N5 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.

අයදුම් කිරීම සඳහා උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය වන අතර, ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවයකි.

මේ වන විට කාර්යාංශය මැදිහත්වී පුහුණු ලාභීන් 659ක පිරිසක් මෙම වැඩසටහන යටතේ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත.

නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය දීමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවතී.

CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට….

අයතා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු අල්ලස් පනතේ 23 (අ) (1) වගන්තිය අනුව 2011.03.31 වන දින සිට 2013.08.03 යන කාලය තුළ තම නීත්‍යානුකූල ආදායම අබිබවා රු. 4,428,305.70ක වටිනාකමෙන් යුත් වත්කම් උපයා ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට…..

පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබේ.

ඇති වූ එම හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් සිසුවා, බුත්තල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.

කෙසේවෙතත් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිසුවා මියගොස් සිට ඇති බව සඳහන් වේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ 11වන ශේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක…..

ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය.

එහිදී ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ වී වගාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.

ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු කළ අතර විශේෂයෙන්ම, වී නිෂ්පාදනයට බලපාන බාධාවන්, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සහ ගොවි ජනතාව නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණයන් සහ පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.

ඒ අනුව, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා IRRI ආයතනය විසින් ක්‍රියාත්මක කරන ගෝලීය පර්යේෂණ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට එකඟතාව පළ කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.

විද්‍යාත්මක පදනමක් සහිත කෘෂිකාර්මික නවෝත්පාදනයන් මගින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙම අන්තර්ජාතික සහයෝගිතාව බෙහෙවින් ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ලාෆ්ස් ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළට….

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.

සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3ක්…..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතන සිදුවීම සහ මඩකලපුව සයින්දමරුදු පිපිරීම පිළිබඳ වූ විමර්ශන නොමඟ යැවීමසම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යය අද කැඳවූ අවස්ථාවේදීය.

2018 වසරේ නොවැම්බර් 29 වනදා වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනයවීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදුහි නිවසක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී විමර්ශනයට අදාළව පිටු 25කින් යුත් වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, නඩුවේ පළමු සැකකරුවන් දෙදෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

එහි තෙවන සැකකරුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින බවත්ය.

තෙවන සැකකාර සුරේෂ් සලේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට කරුණු විමර්ශනයේදී අනාවරණය වී ඇත්දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියා කියා සිටියේ, ප්‍රධාන පැතිකඩ 03ක් ඔස්සේ සුරේෂ් සලේගේ සැකකාරභාවය පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවය.

“ස්වාමිනි, ත්‍රස්ත ප්‍රහාරයට පෙර සමයේ යුධ හමුදා බුද්ධි අංශය විසින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දිගුකාලීනව තොරතුරු කරුවෙක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. 

මේ තුන්වන සැකකරු එම ඔත්තුකරු යොදාගනිමින් කටුවපිටිය දේවස්ථානය මුස්ලිම් අන්තවාදින්ට පෙන්වා තිබෙනවා. ඒ වගේම යුධ හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් තොරතුරුකරුවෙකු මෙවැනි ප්‍රහාරයක් සිදුවේවියැයි පෙර දැනුම්දීමක් කරලා තියෙනවා. 

නමුත් ඊට සුදුසු පියවරක් බුද්ධි අංශය අරගෙන නැහැ. ප්‍රහාරයෙන් පස්සේ එම ඔත්තුකරු බුද්ධි අංශයට පවසා තිබෙනවා “යුධ හමුදාවේ වසර 20ක්වත් පළපුරුද්ද තිබෙන ඉහළ නිලධාරියෙක් මේ පිටිපස්සේ ඉන්න ඕනේ කියලා.

පස්සේ යුධ හමුදා බුද්ධි අංශයම එම ඔත්තුකරුව අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරදීමක් සිදුකර තිබෙනවා. පසුව නීතිපති උපදෙස් මත ඒ ඔත්තුකරු නිදහස්වෙලා තියෙනවා.

නිදහස් වෙලා ආවාට පස්සේ මේ තුන්වන සැකකාර සුරේෂ් සලේ ඔත්තුකරුව හෝටලයකට ගෙන්වා ස්තූතියි කරලා තියෙනවා. මේ කරුණු සම්බන්ධයෙන් එම පුද්ගලයෝ මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ දී තිබෙනවා” යැයි පැවසීය.

මෙහිදී සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවක් DNA පරීක්ෂණ දෙකකදී අනාවරණය වී නොතිබූ පසුබිමක තුන්වන වරටත් DNA පරීක්ෂණයක් කිරීමට සුරේෂ් සලේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

“ස්වාමිනි පාස්කු ප්‍රහාරයෙන් පසු දිනක සෙයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයේ සිටී සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයක් මේවන තුරු සොයාගෙන නැහැ. පළමු DNA පරීක්ෂණ දෙකේදීම ඇයගේ මෘත ශරීරයක් හඳුනාගැනුණේ නැහැ. එහෙම තියෙද්දි තෙවන DNA පරීක්ෂණයක් සිදුකරන ලෙස මේ සැකකාර සුරේෂ් සලේ දිගින් දිගටම විමර්ශන නිලධාරින්ට බලපෑම් කරලා තියෙනවා. 

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරි නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සලය තුලත් මේ බලපෑම සිදුකරලා තියෙනවා” යැයි පැවසීය

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය.

“මොනවාද ස්වාමිනි මේ විමර්ශන නිලධාරීන් කියන කතා? රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සිටි මගේ සේවාදායකයා කොහොමද ආරක්ෂක කවුන්සලය කැඳවලා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරින්ට බලපෑම් කරන්නේ ?. 

රාජ්‍ය බුද්ධි සේවය තියෙන්නෙත් පොලිස්පති යටතේයි. ඔය කියන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් ඒ කාලේ නිල ඇඳුම් ඇඳලාද රස්සාව කරලා තියෙන්නේ ? ලැජ්ජයි. 

මට කියන්න තියෙන්නේ ස්වාමිනි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන අවස්ථාවේ මේ තුන්වන සැකකරු ලංකාවේ හිටියෙත් නැහැ. ඔහු හිටියේ මැලේසියාවේ. 2018 ජනවාරි මාසයේයි ඔහු ලංකාවෙන් පිටත්වෙලා තියෙන්නේ. 

අනික ස්වාමිනි මේ වෙද්දි පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන 25කට වඩා වෙලා තියෙනවා. මුලින්ම කිව්වා ඉන්දියාවෙන් පෙර දැනුම්දීමේ තොරතුරක් ආවා, ඒකට අදාළව අවශ්‍ය පියවර නොගත්තා කියලා හිටපු පොලිස්පතිවයි, ආරක්ෂක ලේකම්ටයි එරෙහිව නඩුත් දැම්මා. දැන් කියනවා බුද්ධි අංශයේ කව්ද ප්‍රහාරය ගැන පෙර දැනුම්දීමක් කළා කියලා. 

ස්වාමිනි, ඔය කවුරුන් තොරතුරු දුන්නත් තොරතුරු ලැබිලාත් ප්‍රහාරය වළක්වා ගන්න බැරිවුණ එදා CID එකේ ඉඳපු අයමයි අද මේ විමර්ශන මෙහෙයවන්නේ. ඔය මොන විමර්ශනත් අවශ්‍ය නැහැනේ ඒ අය එදා ප්‍රහාරයට පෙර සහරාන්ව අල්ලගත්තා නම්.

මේක කියවන්න ස්වාමිනි, මේ ජයකි ද අල්විස් වාර්තාව. ඕක කියවපුවාම තේරෙයි වගකිවයුතු අය පිළිබඳව. මේ අය විමර්ශනය මෙහෙයවද්දි කොහොමද ස්වාමිනි මේක අපක්ෂපාති විමර්ශනයක් වෙන්නේ “.

මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාව මේවනවිට රැඳවුම්භාරයේ තබාගෙන සිටින ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වුවා.

“ස්වාමිනි මට උපදෙස් ලැබෙන විදිහට මේ වෙද්දි මගේ සේවාදායකයාව රඳවා තබාගෙන ඉන්නේ ඉතාම පහත් හා කෘෘර විදිහට. පුතා තාත්තාව බලන්න ගියාමත් පොලිස් සහතික අරන් එන්න කියනවා. නීති කෘත්‍යයට අදාළව අපිට ඔහුව හමුවෙලා උපදෙස් ගන්නත් බැහැ. 

නීතිඥවරුන්ට පවා දැනුම්දී තිබෙන්නේ ඔහුව හමුවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉදිරියේ කරන්න කියලා. අන්තීම දවසේ නීතිඥවරුන් ඔහු හම්බෙන්න ගියාම නිලධාරින් දෙපැත්තේ ඉඳලා කතා කරන දේවල් Record කරලා. 

ඉතිං කොහොමද ස්වාමිනි අපි උපදෙස් ගන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක්.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දෙපාර්ශවයේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

“මා විසින් මෙම නඩුකරයට අදාළව පෙර නඩුවාරයේ ලබාදුන්නු නියෝග විමර්ශන නිලධාරින් විසින් සැලකියයුතු මට්ටමකට ක්‍රියාත්මක කර ඇති බව පෙනීයනවා. තුන්වන සැකකරුට අදාළව ඉදිරිපත්වෙලා තියෙන කරුණු පාස්කු ප්‍රහාරයට සෘජුව අදාළ කරුණු. එම සාක්ෂි ප්‍රමාණවත්ද යන්න ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතුයි. 

තුන්වන සැකකරු සම්බන්ධයෙන් කිරීමට ඇති සියලුම ඉල්ලීම් ලිඛිතව කරන්න. පසුව ඒ පිළිබඳ සලකා බලා නියෝගයක් නිකුත් කරන්නම්”.

ඒ අනුව නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු 25 කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

ජින්තුපිටියේ ඝාතනයට තවත් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට….

පසුගිය ජනවාරි 16වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අදාළ සැකකරු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ වයස අවුරුදු 25ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ එක් සැකකරුවෙකු මාර්තු 03වනදා ද අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අංක තහඩු මුද්‍රණයට නව වැඩපිළිවෙලක්…..

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව සමාගමකට පැවරීම හා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කෙරිණි.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත එම සමාගම අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ යුතු බවය.

එමෙන්ම මෙම ගිවිසුම ප්‍රසම්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වූ බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම හරහා එහි අනුමැතියෙන් පසුව නීතිපතිගේ උපදෙස් මත මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අදාළ සමාගම සමග මූලික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර මාස දෙකක් වැනි කාලයක් අතරතුර මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය බිලියන තුනක පමණ වටිනාකමින් යුතු ව්‍යාපෘතියක් වන අතර එය අද දින සිට අවුරුදු පහක කාලයක් සඳහා අදාළ සමාගමට ලබා දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා,

” වේරහැර අපේ තියෙන කාර්යාල පරිශ්‍රයේ තමයි වඩාත් ඉඩ පහසුකම් සහිතව මේ කටයුතු ආරම්භ කරන්නේ. මාස දහයකට ආසන්න කාලයක් අපි දැන් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන්නේ නැතුව නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු නිම කරන්න අපිට කාලයක් යනවා. කෙසේවෙතත් අපි මේ කටයුතු ආරම්භ කිරීම හැකි ඉක්මනින් පටන් ගන්නවා.. අප්‍රේල් අග මැයි මුල සතියේ වගේ වෙද්දී පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.. මාස තුනක් ගත කරන්නේ නැහැ. අපේ සහයෝගයත් අපි ලබා දීලා තියෙනවා.. දැනටමත් ඒ සමාගම, වේරහැර අපේ පරීශ්‍රයේ මූලික ඉදිකිරීම් කටයුතු පටන් අරන් තියෙනවා. ඒ වගේම අද සාකච්ඡාවේදී ඒ සමාගම දැනුම් දුන්නා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා ඒ වගේම සති තුනක් ඇතුළත ඒ කටයුතු නිම කරන බවත් ප්‍රකාශ කර සිටියා.”