ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..

ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.

මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් විය.

මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.

2020 ඔලිම්පික් රන් පදක්කමත්, 2024 ඔලිම්පික් රිදී පදක්කමත් දිනාගත් දිනාගත් නීරාජ් චොප්රාට මෙම තරගයේ දී හිමි වූයේ 8වන ස්ථානයයි.

ඔහු මීටර 84.03ක දක්ෂතාවක් දැක්වීය.

එමෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා වන අර්ෂාද්ට මෙහිදී 10වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 82.75ක දක්ෂාවක්ය.

මෙහි රන් පදක්ම දිනාගැනීමට ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ  Keshorn WALCOTT සමත්විය.

ඔහු මීටර 88.16ක දක්ෂාතාවක් දැක්වීය.

රිදී පදක්කම මීටර 87.38ක දක්ෂාවක් දැක් වූ ග්‍රෙනඩාවේ Anderson PETERS හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ අමෙරිකාවේ Curtis THOMPSON (මී. 86.67) විසින්ය.

22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ලාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දින සැමරුම….

රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 161
වන ජන්ම දිනය සිහිපත් කරමින් විද්‍යාලය විසින් වාර්ෂික ව සංවිධානය කරන වැඩසටහන් මාලාව
මෙවර ද උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන
ධර්මපාලතුමන්ගේ ජන්ම දිනයට සමගාමීව විද්‍යාලයේ 127 වන ජන්ම දින සැමරුම ද මෙදින
සිදුවිය. සිංහල බෞද්ධ දරුවන්ගේ ස්වභාෂා අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීමටත්, යටත්විජිත
යුගයේ පරාධීන මානසිකත්වයෙන් සිංහල බෞද්ධ ජනතාව මුදවා ගන්නටත්, සමස්ත ලෝකවාසී
බෞද්ධයන්ගේ ම පූජනීය උරුමයක් වූ ඉන්දියාවේ බුද්ධගයාව බේරා ගන්නටත් අනගාරික
ධර්මපාලතුමා විසින් සිදුකරන ලද අනුපමේය මෙහෙවර උදෙසා කෘතවේදීත්වය පළකිරීමත්,
ධර්මපාල චින්තනය අනාගතයට රැගෙන යාමත් මෙවර ද අනුස්මරණ වැඩසටහන් මාලාවේ
අරමුණු අතර විය.
මෙම ගුණ සමරු උත්සවය වෙනුවෙන් සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා දින රාජගිරිය
හේවාවිතාරණ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී රාත්‍රී පරිත්‍රාණ දේශනාවක් පැවැත්වූ අතර, පසුදින
එනම් 17 වන දින උදෑසන සංඝගත දක්ෂිණාව පූජා කිරීමත් සිදුවිය. රාජගිරිය මංසන්ධියේ මෙන්ම
හේවාවිතාරණ මහා විද්‍යාල පරිශ්‍රයේ ඇති ධර්මපාලතුමන්ගේ පිළිරූ වෙත පුෂ්පෝපහාර දැක්වීමත්,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනයත් මෙවර පැවැත්වූ වැඩසටහන් අතර විය. ශ්‍රීමත්
අනගාරික ධර්මපාල ගුණ සමරු දේශනය මෙවර පවත්වනු ලැබූයේ සබරගමු පළාත් හිටපු
ආණ්ඩුකාර ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමන් විසිනි. ඔහු හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම
නයිජීරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ මියන්මාරය යන රටවල හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා
ද වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති අරෝෂ
අතපත්තු මහතා, රාජගිරිය ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න, හිටපු නගරාධිපති ජනක
රණවක, නියෝජ්‍ය නගරාධිපතිතුමිය, නාගරික මන්ත්‍රීවරු, අවට පාසල්වල විදුහල්පතිවරු, පාසල්
සිසුන් සහ ගුරුභවතුන්, ආදි ගුරුභවතුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක්
සහභාගී විය. විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චි මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම
මත වැඩසටහන් මාලාව සංවිධානය විය.

WhatsApp Image 2025-09-18 at 22.12.08_3349177b WhatsApp Image 2025-09-18 at 22.12.08_ab36bf1b WhatsApp Image 2025-09-18 at 22.12.09_0177abef WhatsApp Image 2025-09-18 at 22.12.09_d7cb7d36

2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි….

2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.

එළැඹෙන වසර වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554කි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.

එළඹෙන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක් වේ.

එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.

ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී ඇත.

එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.

2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්මවිය යුතු බව අද දින ගැසට් පත්‍රයේ පළකළ විසර්ජන පනත් කෙටුම්පත මගින් දක්වා ඇත.

මේ අතර 2026 අයවැය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ සැප්තැම්බර් 26 වැනිදාය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය යෝජනා ඇතුළත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 7 වැනිදා සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් පැවැත්වෙන අතර එදින පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 පස්වරු 6.00ට අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.

අගරු චෙක්පත් සිද්ධියකට පැටළුණු රෝහිතට අධිකරණයෙන් නියෝගයක්….

හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේය.

හම්බන්තොට මාගම්පුර වරායේ කඩා ඉවත්කල කළුගල් ඉවත්කිරීම ටෙන්ඩර් කිරීමකින් තොරව ලබාදෙන බව පවසා රුපියල් මිලියන 20ක මුදලක් ලබාගෙන, එම ටෙන්ඩරය ලබානොදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව මෙම නියෝගය ලබා දී ඇත.

2021 වසරේ ජනවාරි මස 5වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විසින් තමන්ව හම්බන්තොට මාගම්පුර වරායට රැගෙන ගොස් අදාළ කළුගල් තොගය පෙන්වා මිල ගණන් සාකච්ඡා කළ බව පැමිණිකරු පවසා තිබේ.

එහිදී අත්තිකාරමක් ලෙස තමන්ගෙන් රුපියල් මිලියන 20ක මුදල ලබා ගත් බව හුංගම බටඅත දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව විභාගය පැවැත්වේ.

අදාළ පැමිණිල්ලට අනුව රුපියල් මිලියන 20ක අත්කාරම් මුදල් ලබාගැනීමෙන් පසු පැවති රජය වෙනස්වීම නිසාවෙන් එම කළුගල් ටෙන්ඩරය ලබාදීමට නොහැකි වී ඇත.

ඒ හේතුවෙන් ලබාගත් එම අත්තිකාරම් මුදල නැවත චෙක්පතකින් ලබාදීමට කටයුතු කලත්, එම චෙක්පත මුදල් නොමැති ගිණුමකින් ලබා දී ඇති බැවින් චෙක්පත අගරු වූ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර, ⁣තලංගම හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙසින් පෙනීසිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ඔහු ඇපමත මුදා හැර සිටියි.

කෙසේ වුවද වසර කිහිපයක් පුරා මෙම නඩුව විභාග වන නමුදු සිද්ධියට සම්බන්ධ මුල් පැමිණිල්ලේ සඳහන් අනෙක් තැනැත්තන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැත.

ඒ හේතුවෙන් මුල් පැමිණිල්ලේ නම සඳහන්ව ඇති බව කියන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ගෙන සති 2ක් තුළ අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා  නියෝග කර ඇත.

හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානියෙකු CID අත්අඩංගුවට….

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ්….

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.

ඒ අනුව රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

හේමසිරි හා පූජිත්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්…

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද (18) කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බවය.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම දැනුම්දීම සටහන් කරගත් විනිසුරුවරයා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියම කළේය.

2019 වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

මීට පෙර මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

පසුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බව පැවසුවේය.

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තිවාචකය කැඳවා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කළේය.

ඒ අනුව නඩුව යළි කොළඹ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවා තිබේ.

ගිලන්රථයක් අනතුරකට ලක්වෙයි….

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද (18) ගිලන්රථයක් අනතුරට ලක්වී තිබේ.

අදාළ ගිලන්රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ එහි සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහල වෙත යොමු කළ බවය.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නෝර්වුඩ් ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාළගුණයත් සමග හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නෝර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය අවහිර වෙයි….

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විසින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි.

මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව කොම්පඤ්ඤවීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවතින බව  වාර්තාකරු වැඩිදුරටත් පවසයි.

ADA DERANA

දඹුල්ලේ සතිපොළේ කඩකාමරයක් ගිනිගෙන දැවෙයි….

ඹුල්ල මහනගර සභාවට අයත් දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද (18) අලුයම ගින්නක් හට ගෙන තිබුණි.

දඹුල්ල නගර සභාවේ සේවකයෙකු අලුයම සේවයට වාර්තා කරන අවස්ථාවේ දී ගින්න දැක වහාම ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගත් කඩ කාමරය තුළ දඹුල්ල මහනගර සභාව මඟින් පොලිතින් තොග ගබඩාකොට තිබුණු බව ද එම සියලූම පොලිතින් සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශ වී තිබී ඇති බවට ද වාර්තාවේ සඳහන්ය.

දඹුල්ල නගර සභාවේ නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා පවසා ඇත්තේ, ගින්න පැතිර ගියේ නම් දඹුල්ල සතිපොළ භූමියේ යාබඳව විශාල කඩ කාමර ප්‍රමාණයක් සහ එහි පදිංචිකරුවන්ද අනතුරකට ලක්වීමේ අවදානමක් පැවති බවයි.