ඉන්ධන තොග ලබාගැනීමේ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර….

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේ, අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර දී එරට විදේශ අමාත්‍යවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති අතර, ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවත් දන්වා ඇත.

මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ගෙන්වන ඉන්ධන තොග අප්‍රේල් අග තෙක් ප්‍රමාණවත් – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි…..

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි  ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම  17 සහ 18 කියන දවස් දෙකේ තවත් නෞකාවක් එනවා. එකේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් තිබෙනවා. ඒ දෙකෙම එන්නේ සිංගප්පූරුවෙන්. ඊට පස්සේ 21 සහ 22 දිනයනවල ඩීසල් සහ පෙට්‍රල් නැවක් එන්න තියෙනවා ඒක එන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ 27, 28 කියන දෙදින තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000කුත් ඒ වගේම 29 සහ 30 කියන දවස්වල ඩීසල් මෙට්‍රික්ටොන් 37,000ක් සිංගප්පූරුයෙන් ලංකාවට ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ගත්විට මේ මාසයේ අපි ඇනවුම්කරන ලද සියලුම නෞකා මේ වෙද්දි ස්ථිර කරලා තියෙනවා එන බවට. ඒ වගේම ඉන් කිහිපයක් ලංකාවට පිටත් වෙලා තියෙනවා. මේ එන නෞකාවල ගත්තාම අපේ තෙල් තියෙනවා ඊළඟ මාසේ අවසාන සතිය වෙනතුරු තියෙනවා.”

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) පස්වරුවේ නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවය.

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතය.

යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය මෙම වසරේදී…..

සංචාරක සංවර්ධන වැඩසටහන 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සහ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබ්නට් අනුමැතිය හිමි වී ති‌බේ.

තිරසර සංචාරක කර්මාන්තයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක විභවතාව පවතින ගමනාන්ත හඳුනා ගෙන ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරමින් පළාත් 09ම ආවරණය වන පරිදි 2026-2028 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන වැඩසටහනක් සකස් කරනු ලැබ ඇත. ඒ සඳහා මුළු දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 2,667.03ක් වේ.

එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 131.02ක ඇස්තමේන්තුගත වියදමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

පෙරවරුවේ උඩ ගිය කොටස් වෙළෙඳපොළ පස්වරුවේ පසු බසී…..

අද (11) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.97ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,351.55ක් ලෙසින් සටහන් විය.

දිනය තුළ ගනුදෙනු ආරම්භ වී මුල් පැය භාගය තුළ දී ඒකක 22,500 ක් ඉක්මවා ඒකක 150කට ආසන්න අගයයකින් සියලු කොටස් මිල දර්ශකයේ ධන වර්ධනයක් දකිනු හැකි වුවද මධ්‍යහ්නය වන විට එය ක්‍රමිකව සෘණ අගයයක් දක්වා පරිවර්තනය වනු දැකිය හැකි විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 0.72ක ඉතා සුළු අගයයකින් පහළ ගොස් තිබෙන අතර එය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,279.70ක් ලෙසින් වාර්තා වී තිබේ.

අද දින රු. බිලියන 4.31 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇත.

දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.22ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.20ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 113ක් ලෙසින් වාර්තා වේ.

‍ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට දැනුම්දීමක්…..

‍ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයේ පිහිටි තානාපති කාර්යාලය දැනුම්දීමක් සිදු කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් පසුවිය යුතු බවය.

“දින 11ක් පුරා ව්‍යාප්තවන ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රීයේ පමණක් 7 වතාවක් සයිරන් නාදවුණා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. මීට අමතර වශයෙන් අද ‍ඊශ්‍රායල් ආරක්ෂ හමුදා දන්වනු ලැබුවා තමන්ට ‍ඊශ්‍රායලයේ තියෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවකින් විවෘතකරන්න එපා මොකද බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තියෙනවා.”

මධුෂ් ඝාතනය ගැන CIDයෙන් විමර්ශනයක්….

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මධුෂ් ඝාතනය වූ දින ඔහුව මාලිගාවත්තට රැගෙන ගිය නිලධාරීන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

2020 වසරේ ඔක්තෝබර් 20 වැනිදා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

ඒ ඔහු විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධුෂ්ව එම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදීය.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබුණි.

අනතුරුව ඒ සම්බන්ධයෙන්වන විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.

පසුව ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අධිකරණය වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හා මාධ්‍ය ආයතනවලින් අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන දර්ශන ලබාගැනීමට නියෝගයක් ලබාගෙන ඇති බව ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් ගත් කොස්තාපල් කොටුවෙයි….

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසිනි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් අදාළ මුදලින් යතුරුපැදියක් හා සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන ඇති බවද පොලිසිය පැවසීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල් කළ ඉල්ලීම….

2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍රය වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බවය.

එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු පැවසීය.

සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මෙජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙකු බවය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් භූමිකාවක් ඉටු කළ බවත්ය.

ඔහුගේ ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය බව සඳහන් කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් කාලයත් සමඟම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මතයන් සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද පැවසීය.

ඒ අතරතුර,අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

තවද, නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල සඳහා සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එකතුවී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබා දී ඇති බවත්, එම අතරේ සුරේෂ් සල්ලේ මහතා පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය.

වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි….

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

අදාළ ආයතන පිළිබඳව පසුගිය වසරේ මාර්තු 17වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට, අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇත.

රජයට අයත් වාණිජමය නොවන ආයතන තත්කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යය පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකරනු ලැබීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටුකරන ආයතන කිහිපයක් පැවතීම ආදී කරුණු සලකාබලා අමාත්‍ය මණ්ඩලය, රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ලබා දී ඇත.

එම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමේ වගකීමද උක්ත නිලධාරි කමිටුව වෙත පවරා ඇත.

එම කමිටුවෙහි අධීක්ෂණය අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන  තත්ත්වය, ඇතැම් ආයතනවලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.

කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.ටී.ඒ. රුද්‍රිගෝ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ කමිටුවේ කැඳවුම්කරු සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීහු මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.