අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න…..

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබේ.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇත.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නේය.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබේ.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු පහතින් දැක්වේ.

 

01. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය 

02. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 

02. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය 
නියෝජ්‍ය අමාත්‍යවරු 
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

02. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය 

03. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

04. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

05. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය 

06. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය 

07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

08. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය මාර්ගය අසල කානුවක…..

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය, ශ්‍රී සාරානන්ද මාවත මාර්ගය ආසන්නයේ පිහිටි කානුවක තිබී හමුවී ඇතැයි මතුගම පොලිසිය පවසයි.

මෙසේ මරණයයට පත්ව ඇත්තේ (21) හැවිරිදි අනගිපුර, සාරානන්ද මාවත , ප්‍රදේශයේ පදිංචි උමේෂ් පැතුම් නැමති අවිවාහක පුද්ගලයෙකි.

අද(9) දින 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමක් මත මල සිරුර සොයාගෙන ඇත.මුහුණ ප්‍රදේශය සහා අත් ජලයට දියවී ගොස් තිබේ.දින කිහිපයක් තිස්සේ ප්‍රදේශයේ දුගදක් හමමින් තිබී ඇති අතර එම ආසන්නයේ පිහිටි නිවසෙහි තරුණයෙකු විසින් අද උදැසන අවට සෝදිසි කිරිමේදී මෙම මල සිරුර හමුවී ඇත.

මියගිය පුද්ගලයාට මතුගම අධිකරණයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු කිහිපයක් ද ඇති අතර මෙම මරණය ඝාතනයක් ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත

සිරුරේ වම් අත ආසන්නයේ කිසියම් කැපුම් සහිත තුවාලයක් දක්නට ලැබෙන අතර කළු ඩෙනිස් කොට කලිසමක් පැලද ඇත.

මතුගම වැඩබලන මහේස්ත්‍රාත් කපිල වෛද්‍යතිලක මහතා විසින් ස්ථානීය පරීක්ෂණ සුදු කල අතර කළුතර අපරාධ පරීක්ෂණාගාලා නැතිකාරීන් පැමිණ පරීක්ෂණාරම්භ කර ඇත

සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ ශික්‍ෂණ රෝහල
වෙත රැගෙන යන ලදී.

මතුගම පොලිසිය ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ෂුෂ්ප ජයතිලක
ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර ගල්පාත – චන්දන පෙරේරා

බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් ගැන අනාවරණයක්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන ෂාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළාය.

මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ද ඇය පැවසුවාය.

මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවන බවත් සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙන්වා දුන්නාය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කෙරෙන ප්‍රකාශ තුනක් මේ වනවිට පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් පසුගිය කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෙරෝයින් මත්කුඩු කිලෝ 38කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවේ රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම් දීම මත මෙම සැකකාරියට සහ ඇයගේ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇතැයි සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 05ක් ඇතුළත් වන බවත් සඳහන් කළාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින්, මෙම සැකකාරියට අයත් විදේශීය බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන සිදුකර තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැකකාරිය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් ඩුබායි රාජ්‍යයේ පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම බැංකු ගිණුම්වල අංක මේ දක්වා සොයාගෙන නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ” ඔබ බැංකු ගිණුම් 13ක් තහනම් කළ බව සඳහන් කළා. එහෙත් අද පොලීසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබෙනනේ බැංකු ගිණුම් 06ක් පමණයි. ඇයි එහෙම වුණේ?” යනුවෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” ස්වාමීනි…එම බැංකු ගිණුම් 13 පිළිබඳ විස්තර වැඩිදුර වාර්තාවට ඇතුළත් කරන ලෙස අපි පොලීසියට උපදෙස් ලබා දුන්නා” යනුවෙන් කියා සිටියාය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් කියා සිටියේ “බැංකු ගිණුම් 13ක් තහනම් කළා නම් ඒක වාර්තාවට ඇතුළත් කළ යුතුව තිබුණා. මොකද ඒක වැදගත් කාරණයක් ” යනුවෙනි.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි සොයා බලා සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝග කළත් අද දින පොලීසිය විසින් එවැනි සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනත යටතේ නොව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් සැකකාරිය ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්……

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවය.

එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත්, එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් අවධාරණය කර සිටින බව අදාළ නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් අදාළ අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත්, මීට අදාළ නෛතික ක්‍රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

1759997818-Media-on-2025.10

ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක් හසුවෙයි….

දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.

මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්…..

යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බව සඳහන්වේ.

කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය FC International ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා අංශයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අය කර ඇති අතර, මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 20ක් ලැබී ඇත.

එහිදී විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රැකියා නියෝජිතායතනයට හංගේරියා රටට පමණක් රැකියා ඇණවුම් ලැබී ඇති නමුත් ඒ අතරට සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා නොමැති බවය.

අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකාරිය, ඇයගේ සැමියා හා අදාළ ආයතනයේ මුදල් භාරව කටයුතු කළ කළමනාකරු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු විමර්ශන නිළධාරීන් මගහරිමින් සැඟවී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එමෙන්ම, විමර්ශන නිළධාරීන් මගහැර සැඟව සිටින පුද්ගලයින්ට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙම වංචාවට හසුවූ තවත් පුද්ගලයින්ගෙන් තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර,  ඊට අදාළව ද මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.

එසේම අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද මෙවන විට පියවර ගෙන තිබේ.

වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 011 288 2228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්…..

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය…..

මෙම වසර සදහා වන තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සදහා පැවති සැසිවාරවලදී පුද්ගලයින් 500 දෙනෙකු පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබාගැනීම පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය.

එහි අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(08) දිනයේදී පැවැත් විය.

එම සැසිවල දී ඉදිරිපත් වූ සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ, කොමිසමේ අවසන් තීරණය මෙම මාසයේ දී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

සියයට 6යි දශම 8කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණි.

IMF 5වන සමාලෝචනයට එකඟත්වය….

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.

IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 34‍7ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.

ගම්මන්පිල අල්ලස් කොමිසමට එයි….

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ.

අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ.