තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට……

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි.

සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය.

සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියහ.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසයි…..

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.

මේ බව සඳහන් කරමින්, තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනිදාට පෙර හේතු පැහැදිලි කළ යුතුය.

සියයට 10ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර ඇති බව සංස්ථාව කියයි….

මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය.

මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේය.

“මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා.  

QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මාසයට පරිභෝජනය කරන ප්‍රමාණය කොහොමත් ලංකාවට එනවා. ඒක කොතැන ද මේක ගන්නේ කියන ප්‍රශ්නය එන්නේ. වාහනයකට තෙල් ටිකක් වැඩිය ගැහුවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තෙල් සංචිත අනුව තෙල් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙන්නේ තෙල් ගබඩා කරන නිසයි. සමහර අය අපෙන් තෙල් බවුසර් 18ක් ඉල්ලලා තිබුණා. එයා සාමාන්‍යයෙන් බවුසර් 03ක් තමයි ගන්නේ. මොකද කියලා ඇහුවාම මාස 6කට ඕනේ කියලා කිව්වා. අපි එහෙම තෙල් ගේන්නේ නැහැ. හැමෝම මේ වගේ ලොකු ගාණක් ගත්තාම, මාස 6ට එන තෙල් ටික කොහොමත් එනවා. එකවර කට්ටියක් ගබඩා කරගත්තාම, දිනපතා තෙල් ගහන අයට තමයි දවසක් දෙකක් තෙල් නැති වෙන්නේ. සාමාන්‍ය පාරිභෝජන රටාවේ තියෙනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.”

මෙරට රන් පවුම යළි ලක්ෂ 4ට ළංවෙයි….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,569 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 361,500ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය ඇමති වටගල කියයි…..

ශ්‍රී ලංකාවට මත්කුඩු සපයන ප්‍රභල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටන එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ කළු බිස්නස් එකේ අංග දෙකක් තියෙනවා. එකක් සැපයුම් ජාලය. අනිත් එක ඩිමාන්ඩ් එක. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් අරන් එනවා. ඒ ගන්න එක මෙහෙ ඉන්න තරුණයෝ පාවිච්චි කරනවා. ඉතින් අපි කල්පනා කරා මේ ඩිමාන්ඩ් එක නැති කරන්න. මේ සැපයුම් ජාලයට කලින් ආණ්ඩු අත ගැහුවේ නෑ. හැබැයි වත්මන් ආණ්ඩුව තීරණයක් ගත්තා සැපයුම් ජාලය නැමති දාමයේ ඉහළම පුරුක්වලට යන්න ඕනේ. මේ පුරුක් වෙරළෙන් නතර වුණා. මේ පුරක් ගුවන් තොටුපොළෙන් නතර වුණා. අපේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන්දුනීසියාවට, නේපාලනයට, පාකිස්තානයට ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා ප්‍රබලතම සැපයුම්කරුවන් 29ක් අපේ අතේ තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවෝ පාපොච්චාරණය කරනවා. එතකොට සමහර අය කලබල වෙලා නම් තියෙනවා.

Easy Money හොයන්න භාවිත කරන බිස්නස් එකක් මේක. අපි දන්නවා මේකට බිස්නස් තුනක් සම්බන්ධයි. මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාතාලයක් තියෙනවා. පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමස්ත මේ කළු බිස්නස් එක වෙලාගෙන ඉන්නවා. මේක වැඩුණේ දේශපාලන අධිකාරිය පිටුපස හිටියා. දියවන්නාව තමා මේක පෝෂණය කළේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මේ කළු බිස්නස් එක හරහා එන සල්ලිවලින්.”

සුරේෂ් සලේව රෝහල්ගත කෙරේ….

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ.

ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇත.

එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

QR කේතයක් Override කරමින් ඉන්ධන ලබාගත් සැකකරුවෙකු CID අත්අඩංගුවට….

කාන්තාවක් සතු මෝටර් රථයක ඉන්ධන QR කේතය ‘Override’ කරමින් අදාළ මෝටර් රථයේ දත්තවලට නව QR කේතයක් සකස් කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු CIDය මගින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ 1919 අංකය ඔස්සේ ලැබී තිබූ තොරතුරකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය විසින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇත.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.

මෙම නීතිවිරෝධී QR කේතය සඳහා ඉන්ධන නිකුත් කළ අය පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතී.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙලෙස QR කේත ‘Override’කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදුකරන බවය.

තරගයට තිරික්කල පැද ගවයෙකුට දුන් වේදනාවට අයෙකු අත්අඩංගුවට….

හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස තිරික්කලයක් පදවමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි කාර් රථයක ගැටී ගවයෙකු අනතුරට ලක්වීමේ සිදුවීමට අදාළව එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 22වැනිදා සවස 6.30 ට පමණ තිත්තකඩේ ප්‍රදේශයේදී මෙම අනතුරුව සිදුව තිබුණි.

එම තිරික්කලයට මාර්ගයේ ධාවනය කිරීම සඳහා කිසිදු අවසරයක් ලබා නොමැති බවත්, එය පැදවූ පුද්ගලයා ගවයාට කෘෘර ලෙස පහරදෙමින් මාර්ගයේ ධාවනය කර ඇති බවත් අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ඒ අනුව හලාවත පොලිස් ස්ථානයේ රථවාහන අංශය, අනතුරුට පත් වූ කරත්තය පැදවූ පුද්ගලයා ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ගවයාව ධාවන තරග සඳහා පුරුදු කිරීමට මෙලෙස තිරික්කලය ධාවනය කිරීමට පෙළඹී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔහු සත්ත්ව හිංසන නීති වගන්ති ප්‍රකාරව අද (25) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත.

එහිදී මීලඟ නඩු දිනයට දින නියම කර, ඔහුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

එමෙන්ම මෙම අනතුරට ලක්වූ ගවයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පොලීසිය පවසයි.

මෙම අනතුරට සම්බන්ධ සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හලාවත මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළට – අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්න…..

වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසටය.

පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බවය.

“වියළි කාලගුණය සමඟ පාරිභෝගිකයාගේ පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ජල පිරිපහදු මධ්‍යස්ථානවලට හැකියාව තියෙන්නේ යම් සීමාසහිත මට්ටමකට ජලය සපයන්න. අඹතලේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් ඝන මීටර් 560,000 දිනකට. එමෙන්ම ලඹුගම 150,000 දිනකට ඒක සීමා සහිතයි. ඊට වඩා නිපදවීමේ හැකියාවක් අපට නෑ. අපි උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය කරනවා බෙදාහැරීම් කරනවා ලංකාව පුරාම. ජනතාවගෙන් ඉල්ලන්නේ තවදුරටත් මෙම නියං කාලය වර්ධනය වුවහොත් ජල සම්පාදනය කිරීමේ යම් අපහසුතාවයක් තියෙන්න පුළුවන් දිනෙන් දින ඉහළ යන ඉල්ලුමත් එක්ක. “

“ජල පරිභෝජනය ඉතාමත්ම අරපරිස්සම් ඇතිව සිදුකරන්න. සීමා කරන්න කියන්නේ නෑ. පරිභෝජනයේ දී සහ නිවෙස්වල පරිහරණය කරද්දි යම් අරපිරිමැස්මක් ඇතිව කටයුතු කරන්න කියලා ඉල්ලන්නේ. ජලය අපතේ යන තැන් අවම කර ගන්න. එහෙම නැති වුනොත් යම් ප්‍රදේශවල උස්තැන්වලට සහ ඇතම් ජල නල වල අවසාන තැන්වලට පීඩනය අඩු වෙන්න පුළුවන්. අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන්න වෙන්න පුළුවන්. ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් යනවා. නියන් කාලේ ආවොත් ජලය ලබාදීම සීමා කරන්න වෙනවා.”

මේ අතර සෑම ගඟකටම මෝයකට ඔස්සේ ලවන ජලය මිශ්‍රවීම ඉහළ ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

වැලිගොඩ දැමීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙයට ප්‍රධානතම හේතුව බව ඒ මහතා පවසයි.

ගඟට ලවන ජලය මිශ්‍රවීම වැළැක්වීම සඳහා සෑම ගඟකටම ලවන බාධක ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් මේ වන විට කැලණි ගඟේ ලවන බාධකයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“සෑම ගඟක්ම මෝයකට ඔස්සේ මුහුදට වැටෙන ස්ථානයේදී ලවන ජලයත් සමඟ මිශ්‍ර වෙනවා. නමුත් දැන් ඒක වැඩිවෙලා ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. එ් වැලි ගොඩ දැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් එක්ක ඒ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ඒකට උෂ්ණත්වය සහ ගෝලිය උෂ්ණත්වයත් ඒ හේතු වෙනවා.  අපි ලවන බාධක ඇති කරනවා. මේ වන විට කැලණි ගඟ ආශ්‍රිතවද ලවන බාධකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් යනවා.”

බස් ගාස්තු ඉහළ යෑමේ වාසිය දුම්රියට….

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග බස් ගාස්තු වැඩිවීම සැලකිල්ලට ගෙන, ජනතාව වැඩි වශයෙන් දුම්රිය භාවිතා කිරීමට යොමුවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ, මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දින කිහිපය තුළ ලාභ ලබමින් සිටින බවය.

තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහනය සිදුකිරීම සඳහාද ජනතාව දුම්රිය වෙත ජනතාව යොමුවනු ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය වාර ප්‍රමාණය වැඩි කරන ලෙසත් ඔහු වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹ කොටුවට පැමිණෙන සහ ආපසු යන මගීන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

කෙසේ නමුත් මගී ඉල්ලුම වැඩි වුවද දුම්රිය ගමන් වාර කප්පාදු කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම පවතින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු නොකරන්නැයි ඔහු ඉල්ලා සිටී.

ජනතාවට ඇති එකම සහනදායී ප්‍රවාහන ක්‍රමය දුම්රිය බවත් ඔහු අවධාරණය කරයි.