විදේශ දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන විදේශීය දුම්වැටි 1300ක් සමඟ විදේශ ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්හත් හැවිරිදි චීන ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

ලද තොරතුරක් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

බලශක්ති ඇමති ජනතාවගෙන් කළ ඉල්ලීම….

සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පවසන්නේ, විදුලි කප්පාදුවක් සිදුකිරීමට මේවන තෙක්  කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“පුළුවන් තරම් එක බල්බ් එකක් හරි ඕෆ් කරලා, පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. ඒ වෙලාව තමා තෙල්වලින් දුවන්නේ. දවල්ට ගැටලුවක් නෑ. රෑට පුළුවන් තරම් පුරවැසියෝ විදියටත් අපි ඒ සපෝට් එක දෙනවා. මොකද ඒ බර එන්නේ අන්තිමට අපිට, ජනතාවටම තමා. අපේ රජයේ අරමුණ තියෙන්නේ, ජනතාවට කරදරයක් නොවෙන්න එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට විදුලි බලය ද, ඛනිජ තෙල් ද ලබාදෙන්න ඕනකම තියෙනවා. මං හිතනවා අපි කලාපය හැටියට ගත්තත් බොහෝම හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් අපි ඒක කරන්න ඔ්නේ. ඒකට අපි තෙල් මිලදී ගැනීම් ඒවා හැමදේම කරනවා. වගකීමෙන් කියනවා ආණ්ඩුව හැටියට මේකෙන් කිසිම ජනතාවට, හුඟාක් අය යෝජනා කරනවා විදුලිය කප්පාදුවක් කරන්න කියලා. අපිට එතැනට යන්න අදහසක් නෑ. අපි කොහොම හරි විදුලිය කපන්න අදහස් නෑ. අපිට සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න එපා.”

කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පද්ධති සැලසුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බුද්ධික සමරකොන් මහතා පැවසුවේ, අප්‍රේල් මස අවසානය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවය.

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ…..

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමාට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බවය.

දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් සහ විශේෂයෙන් මැදපෙරදිග ගැටුමෙන් පැන නඟින අවිනිශ්චිතතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

නවතම දත්ත සහ පවතින අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගෙන, 2026 දෙවන කාර්තුවේදී උද්ධමනය 5%ක ඉලක්කයට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

බොරතෙල් මිල පහළට…..

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 4.42ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 98.84ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට 5.41ක අඩුවීමක් වේ.

මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.88ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 11.31ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

තරුණයින්ට මත්පෙති අලෙවි කළ ඔසුසැල් හිමියා අත්අඩංගුවට……

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි.

සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය.

සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියහ.

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසයි…..

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.

මේ බව සඳහන් කරමින්, තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සියලු විදුහල්පතිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ අනුව අදාළ හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් මාර්තු මස 26 වෙනිදාට පෙර හේතු පැහැදිලි කළ යුතුය.

සියයට 10ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර ඇති බව සංස්ථාව කියයි….

මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය.

මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේය.

“මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව ඇතුළේ තෙල් නැති දවසක් එනවා.  

QR කේතය තියෙන නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මාසයට පරිභෝජනය කරන ප්‍රමාණය කොහොමත් ලංකාවට එනවා. ඒක කොතැන ද මේක ගන්නේ කියන ප්‍රශ්නය එන්නේ. වාහනයකට තෙල් ටිකක් වැඩිය ගැහුවා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන තෙල් සංචිත අනුව තෙල් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙන්නේ තෙල් ගබඩා කරන නිසයි. සමහර අය අපෙන් තෙල් බවුසර් 18ක් ඉල්ලලා තිබුණා. එයා සාමාන්‍යයෙන් බවුසර් 03ක් තමයි ගන්නේ. මොකද කියලා ඇහුවාම මාස 6කට ඕනේ කියලා කිව්වා. අපි එහෙම තෙල් ගේන්නේ නැහැ. හැමෝම මේ වගේ ලොකු ගාණක් ගත්තාම, මාස 6ට එන තෙල් ටික කොහොමත් එනවා. එකවර කට්ටියක් ගබඩා කරගත්තාම, දිනපතා තෙල් ගහන අයට තමයි දවසක් දෙකක් තෙල් නැති වෙන්නේ. සාමාන්‍ය පාරිභෝජන රටාවේ තියෙනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.”

මෙරට රන් පවුම යළි ලක්ෂ 4ට ළංවෙයි….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,569 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 361,500ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය ඇමති වටගල කියයි…..

ශ්‍රී ලංකාවට මත්කුඩු සපයන ප්‍රභල මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් 29 දෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති රටම එකට ජාතික මෙහෙයුම් වැඩසහටන එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මේ කළු බිස්නස් එකේ අංග දෙකක් තියෙනවා. එකක් සැපයුම් ජාලය. අනිත් එක ඩිමාන්ඩ් එක. ත්‍රිකුණාමලය වරායට බෝට්ටුවකින් අරන් එනවා. ඒ ගන්න එක මෙහෙ ඉන්න තරුණයෝ පාවිච්චි කරනවා. ඉතින් අපි කල්පනා කරා මේ ඩිමාන්ඩ් එක නැති කරන්න. මේ සැපයුම් ජාලයට කලින් ආණ්ඩු අත ගැහුවේ නෑ. හැබැයි වත්මන් ආණ්ඩුව තීරණයක් ගත්තා සැපයුම් ජාලය නැමති දාමයේ ඉහළම පුරුක්වලට යන්න ඕනේ. මේ පුරුක් වෙරළෙන් නතර වුණා. මේ පුරක් ගුවන් තොටුපොළෙන් නතර වුණා. අපේ පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉන්දුනීසියාවට, නේපාලනයට, පාකිස්තානයට ගිහින් මේ වෙද්දි අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවා ප්‍රබලතම සැපයුම්කරුවන් 29ක් අපේ අතේ තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාවෙන් ගෙනාපු අපරාධකරුවෝ පාපොච්චාරණය කරනවා. එතකොට සමහර අය කලබල වෙලා නම් තියෙනවා.

Easy Money හොයන්න භාවිත කරන බිස්නස් එකක් මේක. අපි දන්නවා මේකට බිස්නස් තුනක් සම්බන්ධයි. මත්ද්‍රව්‍ය එක්ක බැඳුන පාතාලයක් තියෙනවා. පාතාලය එක්ක බැඳුන අවි ජාවාරමක් තියෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය හා නීතිවිරෝධී අවි සමස්ත මේ කළු බිස්නස් එක වෙලාගෙන ඉන්නවා. මේක වැඩුණේ දේශපාලන අධිකාරිය පිටුපස හිටියා. දියවන්නාව තමා මේක පෝෂණය කළේ. තමන්ගේ මැතිවරණ ව්‍යාපාර පෝෂණය කළේ මේ කළු බිස්නස් එක හරහා එන සල්ලිවලින්.”

සුරේෂ් සලේව රෝහල්ගත කෙරේ….

රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී.

කෙසේ වෙතත් ඔහුගේ අසනීප තත්ත්වය විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින් විසින් අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ.

ඊයේ (24) දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කර ඇති අතර, පසුව වෛද්‍යවරයෙකු හමුවට යොමුකර ඇත.

එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඔහුව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.