2024 මැතිවරණය ආසන්නයේදී සතොස සේවකයින් 850ක් ස්ථිර කරලා – කෝප් කමිටුවේ දී හෙළිවෙයි…

පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමන් ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි.

ඒ ලංකා සතොස නිලධාරින් එම කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන.” 

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “2024 සැප්තැම්බර් මාසයේ තිබුණ බොඩ් මීටිමක. වසර 2කට දුන් කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කරලා. එතකොට වසර 5ක් මේ තනතුරුවල ඉන්න ඕනේ. ප්‍රතිලාභ පැකේජයේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. CEO කෙනෙකුගේ මූලික වැටුප රු.173,000යි. ඒ වැටුපට කවුරුත් මේකට ගන්න බැහැ.”

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනමින් වැඩකිරීම සුබදායී නැහැ.”

සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා – “ඒක පිළිගන්නවා” 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා – “2024 ජුලි 850ක් පමණ සේවකයෝ ඡන්දය එන්න කලින් ස්ථිර කරලා.” 

ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන –  “එම ස්ථිර කිරීම් ගැටලු සහගතයි.”

සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වන බවට අනාවරණයක්….

මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනුයේ පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බවත් වයස අවුරුදු 20න් පසුව සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතු බවය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අවුරුදු 20-40ත් අතර වසයේ පසුවන අයෙකු වේ නම් වසර 3කට වරක්ද, අවුරුදු 40කට වැඩි නම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකටද යොමුවන ලෙසය.

පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාව්‍යක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුළට ගිලී යාම, පියයුරුවල වේදනාව, සමේ ඇතිවන වෙනස්කම් වැනි රෝග ලක්ෂ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද ඒ සඳහා සුනනාරි සායන, සුවදිවි සායන, පිළිකා කල් තියා හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන සඳහාද යොමු විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

‍ආචාරධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසිකරයි….

නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව  අධිකරණ වාර්තාකරු පැවසීය.

2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා  නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකළ ද ඒවා භාරදීම නීතිඥවරයාපැහැර හැරීම හේතුවෙන් 2008 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙත්සමක් ගොනුකිරීමට පෙත්සම්කරු කටයුතු කර තිබුණි.

ඒ අනුව අදාළ නඩුව දීර්ඝලෙස විභාගකිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාපැවසුවේ මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවය.

නීතිය ක්‍රියාත්මක කිරීම යනුපුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර නීතිඥ වෘත්තිය හුදෙක්  වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බව විනිසුරුවරයා සඳහන් කළේය.

චෝදනාවට වරදකරු වූ නම් එම නීතිඥවරයාගේ නම නීතීඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ  මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවය.

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක බිත්තර දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය අපනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවය.

රන් මිල නැවතත් ඉහළට…..

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 5ක් මේජර් ජෙනරාල් නිලයට…..

76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා‍ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් මෙම නිර්දේශ ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වාරියපොළට ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක්….

රජය විසින් ආරම්භ කර ඇති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත් එක් වැදගත් පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ ප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ කෙරිණි.

වාරියපොළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක ස්ථාපනය කෙරෙන මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 33ක මුදලක් වැය කිරීමට නියමිතය. නොදිරන අපද්‍රව්‍ය ලෙස සැලකෙන ප්ලාස්ටික්, පොලිතීන් සහ වෙනත් අබලි ද්‍රව්‍ය විධිමත් ලෙස එකතු කර, වර්ග කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම ව්‍යාපෘතිය “ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කෙරෙන අතර, රටේ අපද්‍රව්‍ය ගැටලුවට තිරසාර විසඳුම් ලබා දීම ඉලක්ක කෙරේ.

කසළ රඳවන වෙත යොමු කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කරමින් චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ පරිසර දූෂණය අවම කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන අතර, මෙම මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශවාසීන් වෙත නව ‘හරිත රැකියා’ අවස්ථා උදා වනු ඇත.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 58ක් ඉදිකිරීමට නියමිතය. ඒ යටතේ මෙම වසරේදී ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන හතරක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු මධ්‍යස්ථානය, මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. මීට අමතරව තලාව සහ තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් තවත් මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුජීව දිසානායක, වාරියපොළ ප්‍රාදේශීය සභා සභාපති ජී.ජේ.එස්. කුමාරසිංහ යන මහත්වරු සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න, අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ඉසුරු අනුරාධ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරන්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

2014  වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී  හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්විණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා මෙහිදී නියෝග කළේය.

යාපනයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්….

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ට්‍රෝලර් යාත්‍රා 04කින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් පිරිස පසුගියදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

පසුව ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගත් අතර ඉන් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

එහිදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

ඒ අනුව සැකකරුවන් 30 දෙනා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවය.

ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා පැවසීය.

මේ අතර විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට ලක්ෂ 15 ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර් අතුල මහතා පැවසීය.