කෝටි 10කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට…

රුපියල් කෝටි 10කට වඩා වීථි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී අද (26) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු 04 ක ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ බහා මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 476 ක, පැකැට් 12 ක් සඟවා රැගෙන විත් තිබූ බව අනාවරණය වී තිබේ.

එහි මුළු වටිනාකම රුපියල් දස කෝටි හතලිස් හත්ලක්ෂ හැටදහසක් බව සඳහන් වේ.

සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර 25 හැවිරිදි එක් සැකකරුවෙකු රෙදි අලෙවිසැළක සේවකයෙක් බව අනාවරනය වී ඇත.

අනෙක් සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන  26 හැවිරිදි පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 3203 දරන ගුවන් යානයෙන් අද අලුයම 05.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ ඇති බව සඳහන් වේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකරුවන් සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙරට ඉරාන තානාපති සහ හිටපු ජනපති මෛත්‍රීපාල අතර හමුවක්….

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (25) ඉරාන තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බව සඳහන් වේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන්ම මෙන්ම, ඉරාන සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහදත්ව වර්ධනය කරගැනීම සඳහා මෙම හමුව පවත්වා තිබූ බව වාර්තා විය.

පෙබරවාරි මාසයේ මෙරට අපනයනවල වර්ධනයක්…

2026 පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන අමෙරිකානු ඩොලර් මිලියන 1,401.78ක් ලෙස වාර්තා වී තිබේ.

එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 1,066.88ක් වී තිබේ.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍ර‍ධාන ශක්තියක් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව සේවා අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 334.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68% ක වැඩිවීමකි.

2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ මුළු අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 2,896.31ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයකි.

අපනයන ආදායමේ වර්ධනය, භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට….

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මාර්තු 22 දක්වා කාලය තුළ සංචාරකයින් 692,744ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 135,070ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මාර්තු මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 136,089 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට….

මැදපෙරදිග කලාපයේ උද්ධමනකාරී ආරක්ෂක සහ දේශපාලන අර්බුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල නැවතත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එක්සත් ජනපදයේ යූරියා පොහොර ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සමාන්‍යයෙන් 89%ක වැඩිවීමක් ලෙස සැලකේ.

විශේෂයෙන් නිව් ඕර්ලියන්ස් (New Orleans) වෙළඳපොළේ කැටිති (granular) යූරියා මිල වසර තුනකට අධික කාලයකින් පසු ඉහළම මට්ටමට ළඟා වී තිබේ.

2022 දී යුක්‍රේන–රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර, එම වසරේ සැප්තැම්බර් වන විට යූරියා ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 910 දක්වා ඉහළ ගියේය.

එහෙත් 2023 සහ 2024 වසරවලදී මිල යම් තරමකට පහළ ගොස් ස්ථාවර තත්ත්වයක පැවති බව සඳහන් වේ.

නවතම වාර්තා අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සීමා වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයෙන් පොහොර නැව්ගත කිරීම අඩුවී තිබේ.

එමෙන්ම ප්‍රධාන පොහොර අපනයනකරුවෙකු වන චීනය විසින්ද පොහොර අපනයන සීමා කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදන පිරිවැය ඉහළ යා හැකි අතර, 2022 වසරේදී ඇතිවූ ආහාර උද්ධමන තත්ත්වය යළි ඇතිවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අවධානය යොමු කර තිබේ.

QR කේත අවභාවිත කර ඉන්ධන ලබාගැනීම් ගැන පැමිණිලි 1,000ක් – පොලීසියෙන් විමර්ශන….

වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

එම ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පෙන්වා දෙන්නේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් අත්වැරදීම් හා නොදැනුවත්කම හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේතය භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීමේ සිද්ධීන් ද මෙම පැමිණිලි අතරට අයත්වන බව  අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

ලැබී ඇති පැමිණිලි අතරින් පැමිණිලි 150කට අධික ප්‍රමාණයක් ඉදිරි ක්‍රියාමාර්ග සදහා පොලීසිය වෙත යොමු කර ඇති අතර මේ වන විටත් එම සිද්ධීන් වලට අදාළ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු වැඩිදුර පැවසීය.

ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද  ඩිජිටල් ආර්ථික ආමාත්‍යාංශයේ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා පැවසීය.

මේ වන විට මිලියන 6කට අධික පිරිසක් QR කේතය ලබා ගැනීම සදහා ලියාපදිංචි වී සිටින බව ද වාර්තා සඳහන් වෙයි.

නීතිවිරෝධීව ඉන්ධන රැස්කරන ස්ථාන වටලන්න වටගලගෙන් උපදෙස්….

නීතිවිරෝධී අයුරින් ඉන්ධන රැස්කර ඇති ස්ථාන කොන්දේසි විරහිතව වටලන ලෙසට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමිනි.

රට තුළ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවත් ජනාධිපතිවරයාගේ සිට සෑම කෙනෙකුම එම ආදර්ශය ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් කීය.

ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බව GMOA කියයි….

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ දේශපාලනික අවශ්‍යතා මත දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අඩු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල ඇති දුෂ්කරතාවයන් තවමත් අඩු‌නොවී එලෙසම පවතින බවය‍.

මෙය තුළින් වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර මෙම ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද සේවා ස්ථාන වැසියාමේ තර්ජනය තවදුරටත් උග්‍රවනු ඇති බව එහි දැක්වෙයි.

මෙරට තුළ ඉතාමත්ම දුෂ්කර සේවා ස්ථාන ගණනාවක් හදුනාගෙන ඇති අතර ඒ්වායේ රාජකාරි කිරීමට යොමුවන වෛද්‍යවරුන් හට ලබාදෙන එකම දිරිගැන්වීම වන්නේ සේවා කාලය වසරකින් පසු ලබා දෙන විශේෂ ‘දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුවක්’ මඟින් ස්ථාන මාරුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමය.

මෙම දිරිගැන්වීම කිසිදු සාකච්ඡාවකින් හෝ පාර්ශවකරුවන්ගේ එකඟතාවයකින් තොරව නීතිවිරෝධී ලෙස වසර 02ක් දක්වා දිගු කිරීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි‍.

මෙම ක්‍රියාව තුලින් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වන අතර එසේ කරන්නේ නම් විශේෂ ස්ථානමාරු ලැයිස්තුවක් පැවතීමේ අවශ්‍යතාවය ද ප්‍රශ්නසහගත වේ.

මන්දයත්, සේවා කාලය වසර 02කින් පසු වාර්ෂික ස්ථානමාරු සඳහා ද ඉල්ලුම් කළ හැකි බැවින් මෙය හුදු දේශපාලනික අවශ්‍යතාවයක් උදෙසා වෛද්‍යවරුන් අවභාවිතා කිරීමට ලබා ගන්නා ලද තීරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කීය.

මේ අතර 2025 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවේ පුරප්පාඩු 78ක් නීත්‍යානුකූල නොවන ලෙස අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා විසින් අත්තනෝමතිකව සහ නීත්‍යානුකූල නොවන ලෙස ඉවත් කර ඇති බව‍ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනාවරණ කරයි.

මේ හේතුවෙන් එම වසරේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ සිටින වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට තමන්ට හිමිවිය යුතු රාජකාරි ස්ථාන අනුපිළිවෙල අනුව ස්ථානමාරු අවස්ථාව ලැබීම අහිමිවී ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය 2026 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව සම්බන්ධයෙන් ද බලාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් සුදානම් වන බවට ඔවුන් අනාවරණය කළේය.

තෝරාගත් පිරිසකට පමණක් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ පලිගැනීමේ චේතනාවෙන් එම ස්ථානමාරු  කටයුතු සිදු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට දැඩි අසාධාරණයකටත් අපහසුතාවයකටත් මුහුණ පා ඇති  බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි.

මෙම දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව යන ලැයිස්තුන් දෙකම නිසි ක්‍රමවේදයෙන් බැහැරට ගොස් තාක්ෂණික උපදෙස් අත්හැර දමමින් දේශපාලනිකරණයට ලක් කර ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

පෙර කිසි දිනක සිදු නොවු ලෙස කැබිනට් මණ්ඩල අනුමැතියකින් යුතුව ප්‍රකාශයට පත්කිරීමේ සුදානමක් ඇති බව තමන්ට මාධ්‍ය මඟින් තොරතුරු වාර්තාවී ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.

විශේෂඥ, පරිපාලන සහ ශ්‍රේණි යන කාණ්ඩ තුනෙහි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ආයතන සංග්‍රහය, කාර්ය පටිපාටි රෙගුලාසි අනුව සෞඛ්‍ය අමාත්‍යංශ ස්ථානමාරු මණ්ඩල මඟින් සාකච්ඡා කර තීරණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත් නීත්‍යානුකූල ක්‍රමවේදය වේ.

කෙසේ වෙතත්  අවාසනාවන්ත ලෙස ක්‍රමවේද ආරක්ෂා කිරීම ප්‍රඥප්තිය කරගත් රජයක සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රමවේද කඩා බිඳ දමමින් ඉතා උද්දච්ච ලෙස ක්‍රමවේද සියල්ල දේශපාලනීකරණය කරමින් කැබිනට් මණ්ඩලය වෙත බලය ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරතවී ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

හෙට දින සිට නැවත දැනුම්දෙනතුරු ID ඔෆිස් එකේ සියලු වැඩ නවතියි….

හෙට (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ, එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරු 01.30ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්ය.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පංච පුද්ගල ඝාතනයක් කළ දෙදෙනකුට මරණ දඬුවම….

2002 වසරේ තණමල්විල ප්‍රදේශයේ සිදු වූ පංච පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

2002 ජුනි 6 වන දින තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේදී ටී-56 ගිනිඅවි සහ බෝර 12 තුවක්කු භාවිතා කරමින් පුද්ගලයින් කිහිපදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබුණි. එහිදී 13 හැවිරිදි දැරියක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් විමර්ශන සිදුකර අදාළ නඩුව මොනරාගල මහාධිකරණයෙහි විභාගයට ගෙන තිබුණි.

එහිදී සැකකරුවන් ලෙස හඳුනාගෙන තිබූ තණමල්විල ප්‍රදේශයේ පදිංචි ගමගේ බංදුල හරිස්චන්ද්‍ර සහ කෝන්තැටිආර සහ සූරියවැව ප්‍රදේශයේ පදිංචි රුවන් ප්‍රසන්න යන පුද්ගලයින් දෙදෙනාට එරෙහිව අධිචෝදනා සනාථ වීමෙන් පසුව අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.