පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා CID යට…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්ය.

පද්මේගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට මරණ තර්ජන…..

තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර තිබේ.

ඊයේ (03) රාත්‍රී8.45ට පමණ කෙහෙල්බද්ද පද්මේ විසින් මෙම ඇමතුම ලබාදී තිබුණි.

කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන 39 හැවිරිදි ගම්පහ දේවා නැමැත්තා ඊයේ (03) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාව රුසියාවේදී හා තායිලන්තයේදී හමු වී ඇති අතර, මෙවරද ඔහු තායිලන්තයට යාමට සූදානම් වී ඇත්තේ පද්මේ හමුවීම සඳහා බවට පොලීසිය සැකපළ කළේය.

අදාළ සැකකරු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අතර, ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙමින් පවතී.

එවන් පසුබිමක දුරකථන ඇමතුමක් ලබාදෙමින් කෙහෙල්බද්දර පද්මේ කියා සිටියේ, “ඔයත් ප්ලේ කරන්නේ ගේම් එකක්…අපිත් ප්ලේ කරන්නේ ගේම් එකක්නේ. හරිවිදියට මේක කරන්න කියන්න. ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද? කරන්න ඕන දේ ඔබතුමත් දන්නවා නේ. අපි කොහොමත් මරණ සහතිකය අතේ තියාගෙන ඉන්නේ අපි මැරෙන්න බය නෑ.” යනුවෙනි.

මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා පවසා සිටියේ, “මොකද්ද ළමයෙක් ගැන කියලා කියන්නේ. මොකද්ද කෙරෙන්න ඕනේ. අපිත් බය නෑ. තමුසේ හිතන්න එපා තමුසේගේ මරණ වරෙන්තුවට මම බය වෙයි කියලා. ලංකාවට ඇවිත් කතා කරමු අපි දෙන්නා. නීතිය තමා ක්‍රියාත්මක වෙන්නේ.” යනුවෙනි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියේ සැකකරුවෙකුගේ ඇප ඉල්ලීම ගැන නියෝගය කල්යයි…..

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පළමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම් කර ඇත.

වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 20000 ඉක්මවයි…..

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

තවත් මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගනී

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් ඇත.

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් යයි……

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහෙත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබීය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් වෙන්නේ නෑ – අගමැති හරිනි…..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්,  ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ (02) පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය,

“සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු කරනවා. 

තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට, ඒ  සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ. ඉතිහාසය සෛෟන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා. 

වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්‍රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. 

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ  අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි.”

විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් පියවරෙන් පියවර ඉදිරියට සිදු කරන්නට නියමිත ප්‍රතිසංස්කරණයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් පෙන්වා දුන්නාය.

කළුතර දිස්ත්‍රික් යොවුන් සම්මේලනය යුධ පිටියක් වෙයි.නිළවරණය ආවරණයට මාධ්‍ය වලට ඉඩ නැහැ……

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන කළුතර දිස්ත්‍රික් සම්මේලනය අද(03) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තරුණ සමුළුව ආරම්භ කිරීමට ප්‍රථම බේරුවල යොවුන් බලමණ්ඩලයේ හිටපු උප සභාපතිවරයා පූර්ණ සච්චදිත් අලහකෝන් මාධ්‍යයට අදහස් පල කරමින් සිටියදී ජාතික ජන බලවේගයේ පිරිසක් එයට බාධා කරමින් අදහස් පල කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය

එම උණුසුම්කාරී තත්ත්වයත් සමඟ හිටපු උප සභාපතිවරයා කළුතර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉදිරි 2025-2026 වසර සඳහා නව දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලය සභාපති කවිදු පියුමාල් -මදුරාවල
භාණ්ඩාගාරික විකුම් වින්දීප කළුතර, සංවිධායක දිනූ බිම්සර බේරුවල, උප සභාපති විශ්ව තරංග මතුගම, පත්විය. මෙම පත්වීම් සියල්ල මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොතිබිණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් එස්.තිරිමාන්න මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හා දිස්ත්‍රික් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් youth club යෞවන සමාජය දිස්ත්‍රික් සම්මේලනය හා නිල වර්ණය පැවැත්විය.

2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු……

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාර දීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින වන බවය.

කෙසේ නමුත් මේ මස 31 දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර දීමට අපොහොසත් වන නිලධාරීන් හට 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවත් ඒ අනුව මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද එම කොමිසම නිවේදනය කර තිබේ.

එමෙන්ම තවදුරටත් ජුනි පස 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානී විසින් භාරගත යුතු බවත් යම් හෙයකින් ආයතන ප්‍රධානීන් විසින් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා සිටින ලෙසත් එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය වසර 2කට කල්යයි

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය 2027 වසර දක්වා කල් දැමීමට සිදුව තිබේ.

තරග කාලසටහන්වල ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

විස්සයි විස්ස තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අයර්ලන්ත කණ්ඩායමේ පළමු පාකිස්තා තරග සංචාරය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අදාළ සැලසුම් 2024 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.