ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්…..

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට අනුව ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ඇමති විජිතගේ සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති කියූ කතාව…..

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (04) පැහැදිළි කිරීමක් සිදු කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.

කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා,

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය….. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ.”

ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරිය වැඩ භාරගනී…

ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස පත්වු අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය සිය තනතුරේ වැඩ බාරගැනීම අද (04) පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිදුවිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇත බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන,සංස්කෘතික හා කළා කටයුතු,ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කරමින් සිටියදි ඌවේ ප්‍රධාන ලේකම් තනතුරට පසුගියදා පත්විය.

මානව ප්‍රේමීය ජන සමාජයක් උදෙසා “ඌව එකට” සංකල්පය පෙරදැරි කරගෙන ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ සියලු නිලධාරින්ගේ සහයෝගය සංවිධාන ශක්තිය කැපවීම සමග අන් සියලු පළාත් වලට ආදර්ශයක් වෙමින් විශිෂ්ටතම ජනතා හිතවාදි පරිපාලනයක් ගොඩ නගිමින් ‌‌ඓතිහාසික ඌව වෙල්ලස්ස ගොඩ නැගීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බව ඇය නිලධාරින් හමුවේ ප්‍රකාශ කරන ලදි.

1970 මාර්තු 12 දින උපත ලද අනුෂා ගෝකුළ මහත්මිය 2000  වසරේදි ශ්‍රී ලංකා පරිපාලන සේවයට
එක්ව මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන රැසක ප්‍රධාන තනතුරු රැසක් දරා තිබේන පරිණත කළමණාකරන වේදිනියකි,

ඇය මාධ්‍යවේදිනියක, නිදහස් ලේඛකයෙකු, උපදේශකයෙකු, කථිකාචාර්යවරියක, සම්පත්දායකවරියක සහ විවිධ විෂය ක්ෂේත්‍රයන්හි මනා දැනුමකින් කටයුතු කරමින් ග්‍රන්ථ 45 කට වැඩි ගණනක කතෘවරියකද වේ.

රාජ්‍ය සේවය තුළ ඇය අධ්‍යක්ෂ ජනරාල් මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව,අතිරේක ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, සමාජ සේවා අධ්‍යක්ෂ, ග්‍රාම සංවර්ධන හා පුහුණු පර්යේෂණ ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ,ග්‍රාම සංවර්ධන අභ්‍යස හා පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ,සභාපති ජාතික චිත්‍රපට සංස්ථාව,අතිරේක ලේකම්,‍ ධීවර අමාත්‍යාංශය,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභාව, ආදි විවිධ ආයතන වල ප්‍රධාන තනතුරු රාශියක් දරමින් කටයුතු කර තිබේ.

රටටම Starlink දෙන්න ඊලෝන් මස්ක් සමඟින් ධම්මික පෙරේරා එක්වෙයි

නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.

සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙන අතර ඉතා නුදුරේ දීම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පහත නිවේදනය පළ කර ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යනු මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි. සිංගර් (ශ්‍රී ලංකා) හි 67.13%ක කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්ස් සතුවන අතර, හේලීස් හි 51.01% ක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුව පවතී.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඊලෝන් මස්ක් ස්ටාර්ලින්ක් හි හිමිකරුවා වන අතර ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකේ.

ස්ටාර්ලින්ක් යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියකි. පෘථිවියට ආසන්න කක්ෂයක් හෝ පහළ ප්‍රථිවි කක්ෂයක් තුළ මෙම චන්ද්‍රිකා ස්ථාන ගත කර තිබේ.

උදෑසන වාර්තා තැබූ කොටස් වෙළෙඳපොළ සවස් යාමයේ පසුබසී….

අද (04) උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඉතිහාසයේ මුල්වරට ඒකක 20,000 සීමාව අතික්‍රමණය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සමත් වුව ද දිනය අවසන් වූයේ එහි ඒකක 128.02ක පහළ යාමක් වාර්තා කරමිනි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,786.23ක් දක්වා පහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 37.14කින් පහළ ගොස් ඒකක 5,857.61ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වුණි.

අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, NDB,ඇක්සෙස් ඉජිනියරින්ග් සහ බුකිට් ඩාරා ඇතුළුව සමාගම් 165ක කොටස් මිල පහළ යාම් හේතු වී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.53ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.46ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.45 ක් ලෙසින් සටහන් වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 74ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 82ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට….

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

එහිදී නාවික හමුදාව විසින් එම ධීවර යාත්‍රාව පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු ද සිය භාරයට ගෙන ඇත.

මෙම ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් තිබේ.

එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය……

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ සලසාදීම සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම, ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම මෙම පනතේ විධිවිධානවල ඇතුළත්  වේ.

තවද කොටස්වල “අර්ථලාභී අයිතිය” සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම, එනම් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් විස්තර රෙජිස්ට්‍රාර්වරයාට හෙළිදරව් කිරීම, රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තොරතුරු පිළිබඳ වාර්තා තබා ගැනීම, සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයා විසින් මහජනතාව වෙත ලබා දීම, සමාගමක් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ විස්තර රාජ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු බව සහ “අර්ථලාභී අයිතිය” සහ “සඵල පාලනය” සඳහා නව අර්ථකථන ඇතුළත් කිරීම මෙම පනත සංශෝධනය කිරීම මගින් සිදුවේ.

එමෙන්ම ඇතැම් ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමකට ලබා දෙන කාල සීමාවක් දීර්ඝ කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලබා දීම, නම කපා හරින ලද සමාගමකට නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ලියාපදිංචි වීමට සහ රජය සතු කරන ලද එහි දේපළ නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම, ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමාගම් ආරවුල් මණ්ඩලයට යොමු කිරීමේ හැකියාව පුළුල් කිරීම, සමාගම් අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් පන්තියකට මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා දිරි දීමනා ගෙවීමට ප්‍රතිපාදන සැලසීම,  සාමාන්‍ය දඬුවම් සඳහා විධිවිධාන සැලැස්වීම සහ  ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල දෝෂ නිවැරදි කිරීම සඳහා උපලේඛනයක් සැපයීම මෙම පනත සංශෝධනය මගින් සිදුවේ.

මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජුනි මස 05 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 12  දරන  සමාගම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව වැඩකල කළුතර පොලිස් නිළධාරියෙක්ට පහර දීමක්….

වෙනිවැල්කැටිය,කළුතර දකුණ. ප්‍රදේශයේ කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විරෝධතාවයක් දක්වමින් නිහඩ සේවයක් කල පොලිස් නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය ආවාරම් කරන පිරිසක් එකතුවී පහරදීමෙන් තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එගොඩ උයන පොලිසියේ සේවයේ නියුතු ජයනාත් සංජීව නැමති නිලධාරියෙකි.

කළුතර ගල්පාත චන්දන පෙරේරා

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ  2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහාය.

එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් මහතා පැවසුවේ පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මගින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බවය.

නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබා නොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්දව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා,

“2024 පොලීසියට SIලා බඳව ගන්න ගැසට් එකක් ගැහුවා. 2024.05.09 යෝග්‍යතා පරීක්ෂණයක් තිබ්බා ඇප්ලිකේෂන් 18,000ක් ආවා. යෝග්‍යතා පරීක්ෂණයෙන් 6,000ක් තෝරගෙන විභාගයට වාඩි වුණා. ඒකෙන් අවසන් සම්මුඛ පරික්ෂණයට 3,000ක් වාඩි වුණා. වෛද්‍ය පරීක්ෂණ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ තියලා හරියටම 100ක් තෝරගෙන තිබුණා. මේ 100 තෝරගෙන පත්වීම් දෙන්න 2024.11.20 සූදානම් කරලා තිබුණා. ඒ සූදානම් කරලා තිබුණාට පස්සේ අද වෙනතුරු මේ පත්වීම් දෙන්නේ නෑ පොලීසිය භාර ඇමති සහ පොලිස් දෙපාර්තමේන්තුව. මේක හරි අසාධාරණයක් මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා. මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්. ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න. පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ. එතකොට 2024 තිබ්බේ ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයිද ? මම මේ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ පැමිණිල්ල දැම්මේ.”

අත්සන් කළ ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් 07 බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ….

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.