අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල්…..

වත්මන් ආණ්ඩුව මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් මේ වන තෙක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට එළැඹෙන 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ පැවති මාධ්‍ය හමුක් අමතමිනි.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරලා නැහැ. අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා.

දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා. මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.”

කුඩා ගිනිඅවියක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට…..

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වෙයි….

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සියඹලාගස්වැව අබිනවාරාමාධිපති තඹුත්තේගම සාසන බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකීර්ති ශ්‍රී පූජ්‍ය ඇලපන්නම්කුලමේ වංසානන්ද හිමිපාණෝ අපවත් වී ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

තඹුත්තේගම – බී.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට….

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි.

බඹර ප්‍රහාරය එල්ල වූ අදාළ සිසුන් පිරිසෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්ය.

එම ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් රැසක් මෙම දිනවල නේවාසිකව නතර වී අදාළ වැඩමුළුවට සහභාගි වන බව අප වාර්තාකරු පැවසීය.

බගවන්තලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි….

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ.

ඒ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙනි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව…..

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.

එම විදුහල්පති සම්බන්ධයෙන්  නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා ‘විදුහල්පති’ ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවය.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.

‘විදුහල්පති’ යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුර සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් නොවන අයෙකු එලෙස ‘විදුහල්පති’ නාමය භාවිතා කිරීම විදුහල්පති සේවයට කරන අසාධාරණයක් බවයි.

තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට
“ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු” ලෙස හඳුන්වන ලෙසයි.

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි….

තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර් රථයක් එක්වරම පැමිණි මාර්ගයේ අනුරාධපුර දෙසට නැවත හැරවීම හේතුවෙන් පිටුපසින් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණි.

මෝටර් රථය පදවාගෙන ආ ගුරුවරිය ද මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලාව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි…..

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ.

තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මෙය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට පොලිසිය විසින් සැකකරන අතර, අනතුර සිදු කරන ලද රථය නොනවත්වා පලා ගොස් ඇත.

මෘත ශරීරය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වරකාපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්…..

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ.

ඉන් අනතුරුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත්කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය පවසයි.