සමාජ මාධ්‍ය භාවිතය තරුණයින් තුළ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කරන බව මනෝවෛද්‍යවරුන් කියයි…..

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි.

කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා,

”ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සමඟ එකතු වෙන්න පුලුවන්.. විවිධ සන්නද්ධ කල්ලිවලට එකතු වෙන්න පුලුවන්.. ඔවුන්ට තරහා පාලනය කර ගැනීමේ ගැටලු පවා තිබෙනවා.. මේ වගේ උප සංස්කෘතියකට එකතු වුණාට පස්සේ ඒවාගෙන් ගැලවීමත් අපහසුයි. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නම් පතාල කල්ලිවල සමාජිකයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම ඉතා වැදගත්. මේ තත්ත්වය අඩු කර ගැනීමට කරන්න පුලුවන් ප්‍රධානම දේ තමා එවැනි දේවල්වලට භාජනය වන අය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඒ අයට අවශ්‍ය පුනුරුත්තාපනය ලබා දෙන එක”

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගෙන් විද්‍යාලයට ත්‍රී රෝද රථ තිලිණයක්…

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පාසලේ එදිනෙදා කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීම සදහා රුපියල් මිලියන 1.5 වටිනා නවීන පන්නයේ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කිරීම පසුගියදා (30) සිදුවිය.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ Maroon Dudes 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම මගින් පැවැත්වූ මෙරූන්ස් ගෝල් ඔන් ෆයර් (Maroons Galle On Fire) ප්‍රසංගයේ අරමුදලින් මෙම නවීන පන්නයේ ත්‍රිරෝද රථය විදුහල්පති ප්‍රසන්න සෙනෙවිරත්න මහතාට භාරදෙන ලදී.
ලබාදීම සිදුවූ අතර පාසල් කාලය තුළදී දරුවෙකු හදිසි අනතුරකට හෝ රෝගී තත්ත්වයකට ලක් වූ විට රෝහලකට රැගෙන යාමට හෝ නිවසට රැගෙන යාමට පහසුකම් සැලසීම, එදිනෙදා පාසලේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා අනධ්‍යන කටයුතු අඩු වියදමකින් පහසු කිරීමට, පාසලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හිදී ආසන්න පාසල් වෙත පහසුවෙන් යාම සහ ඒම මෙමගින් බලාපොරොත්තු වෙයි.
මෙම පරිත්‍යාගය මඟින් දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ පාසලේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථකව හා ක්‍රියාත්මකව සිදු කිරීමට විශේෂ දායකත්වයක් සැලසෙනු ඇති බවත් පාසලට මෙවැනි වටිනා සහයක් සැපයීමට හැකිවීම කණ්ඩායමක් ලෙස අතිශය සතුටට පත්වන බවත් ඉදිරියටත් මෙවැනි දැවැන්ත කටයුතු සඳහා අනෙකුත් කණ්ඩායම්වලට මග පෙන්විමේ ප්‍රමුඛයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ මෙරූන්ස් ඩියුඩ්ස් 2023 (Maroon Dudes 2003) ආදි ශිෂ්‍ය කණ්ඩායම සදහන් කරයි.

හිනිදුම –  රවීන්ද්‍ර චන්ද්‍රලාල්

රිටිගල දැඩි සවභාවික රක්ෂිත ප්‍රේරක කලාපයේ දැවැන්ත කුඹුක් ගසක් කැපූ අයෙකු එම දැව සමඟ අත්අඩංගුවට….

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද නිසි අවසරයකින් තොරව රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාප සීමාවට අයත් උල්පත්වැව ප්‍රෙද්ශයේ දී දැවැන්ත කුඹුක් ගසක් නීති විරෝධී අයුරින් කැපූ පුද්ගලයකු එම දැව තොගයක් ද සමඟ රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම කාර්යාලයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රිටිගල උල්පතගම ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරු 49ක් වන පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රිටිගල දැඩි ස්වභාවික රක්ෂීතයේ ප්‍රේරක කලාපයට අයත් පිහිටි උල්පත්වැව ප්‍රෙද්ශයේ තිබූ වට අඩි 20ක් පමණ විශාල වූ පැරණී කුඹුක් ගසක් කපා දැමීමට කටයුතු කරමින් සිට තිබේ. වනජීවී නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීම හේතුවෙන් එම ගස මුලුමණීන්ම බිම පෙරළා දැමීමට පෙර ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
සැකකරු එම විශාල කුඹුක් ගස මුළුමනින්ම කපා ඉවත් කිරීමට සූදානමින් කටයුතු කර ඇති බව වනජීවි නිලධාරීහු සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. වැටලීම සිදුවන අවස්ථාව වනවිටත් සැකකරු එම දැවැන්ත කුඹුක් ගසෙහි ලක්ෂ ගණනක් වටිනා දැව කඳන් තොගයක් ද කපා වෙන්කර දමා තිබිණ. සැකකරු විසින් කපා තිබූ එම කුඹුක් දැව කඳන් තොගය ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. වන ජිවි නිලධාරීන් පෙන්වා දෙන්නේ කුඹුක් යනු ඉහළ වටිනාකමක් ඇති ඒ ශ්‍රේණියේ දැවයක් ද වන බවයි.
සැකකරු විසින් නීතිවිරෝධීව කපා දමා තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ එම කුඹුක් දැව තොගය සම්බන්ධයෙන් වන සංරක්සණ දෙපාර්තමේන්තුව මගින් සවිස්තර වාර්ථාවක් කැඳවීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීහු පවසති.
මෙම සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කැකිරාව මහෙසේත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ වනසත්ව අඩවි ආරක්ෂක ඩී.රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව අඩවි සහකාර ඒ.බී.විජේසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරී ජී.ආර්.හේරත්,විදුලි වැට නඩත්තු සහයක බුද්ධීක ඇතුළු පිරිසක්ද අලගොල්ලෑව විදුලි වැට නඩත්තු සහයක පිරිසක්ද එම වැටලීම සිදු කර තිබිණ.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

රතු එළි දැල්වෙන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව…..

පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තුළ වාර්ෂික උක් දඬු මෙට්‍ර්ක් ටොන් 250,000ක් පමණ අඹරනු ලබයි.

ඒ ඔස්සේ සීනි මෙට්‍ර්ක් ටොන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර ඉන් නිෂ්පාදනය කෙරෙන එතනෝල් ප්‍රමාණය ලීටර් ලක්ෂ 50කට ආසන්න වේ.

සෙවනගල සීනි කර්මාන්තශාලාව තුළ සේවකයින් 1,300ක් පමණ සේවය කරන අතර ගොවි පවුල් 10,000ක් පමණ සෘජුව සහ වක්‍රව මෙම කර්මාන්ත ශාලාව ඔස්සේ සිය ජීවිකාව පවත්වාගෙන යයි.

මෙවැනි පසුබිමක සීමාසහිත ලංකා සීනි සමාගම තුළ වර්තමානය වනවිට උද්ගතවී ඇති ගැටලු රැසක් සෙවනගල කර්මාන්ත ශාලාවේ හෙට දවස කෙරෙහිද රතු එළි දල්වා තිබේ.

දේශිය දුඹුරු සීනි සඳහා පවත්නා ඉල්ලුම දිනෙන් දින පහළ බැසීම හේතුවෙන් සෙවනගල කර්මාන්ත ශාලාවේ ගබඩා තුළද අලෙවි කරගැනීමට නොහැකිවූ සීනි මෙට්‍ර්ක් ටොන් 2,000ක් පමණ ගොඩගැසී තිබේ.

එසේම වත්මන් පරිපාලනයේ දුර්වල කළමණාකරණය නිසාම මෙතෙක් දෛනිකව අඹරනු ලැබූ උක්දඬු ප්‍රමාණය වූ මෙට්‍ර්ක් ටොන් 1,300ක ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 850 පමණ දක්වා පහළ ගොස් ඇත.

කර්මාන්ත ශාලාවේ උක් දඬු කපන කටර් 2න් එකක් කෑඩියාම ඊට හේතුව බව ගොවින් පවසයි.

දෛනිකව අඹරන උක්දඬු ප්‍රමාණය අඩුවීමත් සමඟ කර්මාන්තශාලා පරිපාලනය විසින් තම උක් අස්වැන්න භාරගැනීමද සීමාකර ඇති බව ගොවින් පවසයි.

කර්මාන්තශාලාව උක් දඬු ලබාගැනීම සීමා කිරීමත් සමඟ සිය උක් අස්වනු ගොවි බිම් තුළම ගිනිගෙන විනාශ වෙමින් පවතින බවත්, එලෙස ගින්නෙන් පිළිස්සෙන උක් දඬු භාරගැනීමද මේ වනවිට සෙවනගල සීනි කර්මාන්තශාලා පරිපාලනය නවතා දමා ඇති බවටත් ගොවින් චෝදනා කරයි.

උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගොවින් පමණක් නොව උක් කර්මාන්තය ආශ්‍රීතව සිය ජීවිකාව පවත්වාගෙන යන උක් දඬු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථ රියදුරන්ද දැඩි ආර්ථික අපහසුතාවටකට මුහුණ දී සිටියි.

ADA DERANA

ඉන්ධන මිල සංශෝධනය වෙයි…..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ.

ඒ  අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341.00කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

UNP පක්ෂ සම්මේලනය නව මුහුණුවරකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා….

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සඳහා වන සාකාච්ඡාවක් අද (31) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී මේ සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර අදාළ යෝජනාව එළැඹෙන 03 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව දැනට පක්ෂය හැර ගියා සේ සලකා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සාමාජිකයින්ගේ තහනම ද ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම මෙම යෝජනාවද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෝජනා කෙරෙණු ඇත.

ඉදිරි දින කිහිපය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ට පෞද්ගලිකවම කතා කර පක්ෂ සම්මේලනයට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින්ට සහභාගී විය හැකි පරිදි පක්ෂ සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොපවත්වා වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මෙම තත්ත්වය තුළ මෙවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනය වෙනස් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලනය විචාරකයින් සඳහන් කර සිටී.

ජනාධිපති අරමුදලෙන් උතුරුමැද පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

 මෙහිදී අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසුන් 241 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.  මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24.1 කි.

 ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිළි කිරීමේ කථාව සිදු කළේය.

 ප්‍රධාන දේශනය කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලැබූ අතර මේ වන විට ජනාධිපති අරමුදල එහි සැබෑ කාර්යභාරය හඳුනා ගනිමින් ඉතා  කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටින බවත්, ඒ පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත් ප්‍රකාශ කළේය.

 ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, භාග්‍ය ශ්‍රී හේරත්, තිළිණ සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව උතුරුමැද පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් සඳහා විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඊයේ (30) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 උතුරුමැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර උතුරුමැද පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ  දැනුම හා පුහුණුව ලබා දීම මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ.

 ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

 

පද්මේ ඇතුළු පිරිස තැන් දෙකක – පැය 72ක රැඳවුම් නියෝග….

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා ස්ථාන දෙකක රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරීම් සිදු කරන බව සඳහන් වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය හා ශ්‍රී ලංකා පොලිසිය ඉන්දුනීසියාවේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු තිබුණි.

අදාළ මෙහෙයුම හා සම්බන්ධ වූ ඉන්දුනීසියානු හා මෙරට පොලිස් නිලධාරීන් කණ්ඩායම එම අපරාධකරුවන් පිරිස ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ගත්තේය.

දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන අය භාරදී ඇත්තේ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙතයි.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු හා මෙරට පොලිස් නිලධාරීන් ඇගයීමට ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඊයේ අදාළ අපරාධකරුවන් රැගෙන දිවයිනට පැමිණි එම නිලධාරීන් පිරිස ගුවන්තොටුපලේ දී පිළිගත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඔවුන් ඇගයීමට ලක් කරමින් සමරු ඵලක හා ත්‍යාග පිරිනැමූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මේ අතර ඊයේ ගුවන්තොටුපලේ මෙම ඇගයීම් කටයුතු සිදුවන අවස්ථාව සම්බන්ධයෙන් ව්‍යාජ ඡායාරූප සහ ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා යැයි හැඟෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බවය.

කෙසේවෙතත් එම ඡායාරූපය හා ප්‍රවෘත්තීන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඒවා ව්‍යජ ලෙස සකස් කර පළ කරන පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

කොලොන්නාව කුණුකන්ද අසල කැලෑවෙන් මිනිස් සිරුරක අස්ථි කොටස් හමුවෙයි…..

කොලොන්නාව පොතු විල් කුඹුර නා ගහමුල්ල
ප්‍රදේශයේ කුණු කන්දට යාබදව අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක අස්ථි කොටස් හමු වූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි එම ස්ථානයේ තිබී ස්කබලක් කොඳු ඇට පෙළ හා පාදයක අස්ථි කොටස් මෙන්ම කළු පාටට කැප්තොප්පියක් සහ කහ පාටටහුරු කොටට කලිසමක්ද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි

කුණු කන්ද අසල නිවාසවල පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සරුංගල් යවමින් සිටියදී මෙම අස්ථි කොටස් දෙකක් නිවසට ගොස් දෙමව්පියන්ට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය

මියගොස් ඇති පුද්ගලයා කාගේ කවුදැයි මෙතෙක් අනාවරණය වී නැත සිදුවූ ස්ථානයට නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය

කොලොන්නාව- රොහාන්

වෙන්නප්පුවේ වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට….

අද (31) පෙරවරුවේ වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.