නිල්වලා ගඟේ ලවණ බාධක ගැටලුව විසඳීමට අවධානය

මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය අවිධිමත්ව ඉදිකිරිම හමුවේ පැන නැගි ඇති ගැටලු විසඳීමට මෙරට තාක්ෂණික දැනුම ප්‍රමාණවත් නොවේ නම් විදේශිය රටක තාක්ෂණික දැනුම ලබා ගෙන ඒ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පානීය ජල ගැටලුවට විසඳුමක් ලබාදිමේ අරමුණින් නිල්වලා ගඟ හරහා ස්වයංක්‍රීය ලවණ බාධකයක් ඉදිකලද එය නිසි ප්‍රමිතියට සකස් නොකිරීමෙන් අදටත් එම වැසියන් ගැටලුවකට මුහුණ පා සිටියි.

ඒ  නියං කාලගුණයත් සමඟ නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිමෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් ලබා දෙන ජලය සීමා කිරීමට පියවර ගැනීමත් සමගයි.

මෙම ගැටලුව පිළිබඳව මාතර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අවධානය යොමුව තිබුණි.

ඉන් අනතුරුව නිල්වලා ගඟට කරදිය මිශ්‍රවිම වලක්වාලමින් නිල්වලා ගගේ ඉදිකළ ලවණ බාධකය අසලින් කපා ඇති අතුරු ඇල වැලි කොට්ට දමා වසා දැමිමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සිට මාතර ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් එක්ව ජලසම්පාදන මණ්ඩලයේ අධීක්ෂණ යටතේ එම ස්ථානයේ වැලි කොට්ට ඇතිරිම ආරම්භ කෙරුණි.

සැප්තැම්බර් 07 වැනිදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්….

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන  පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම 07 වනදා රාත්‍රී 11.01  සිට 08 වැනිදා අළුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ.

එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇති අතර 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම යෝග්‍ය බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.

නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට යළි CIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට….

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ලක්ෂ 20ක අල්ලස් ගැනීමට උත්සාහ කළ සුරාබදු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට….

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (29) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබේ.

පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ.

පසුව මෙම සිද්ධිය සම්බන්ධව අදාළ කාන්තාව විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ වැටලීමකදි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 48,36,32 වයස්වල පසුවන සුරාබදු ප්‍රධාන නිලධාරීවරයෙකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකු බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.

රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්…..

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය  අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

“බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ගෙන්වනවා. එතකොට ක්ෂේත්‍රවල යන නිලධාරීන්ට පහසුවෙන් යන්න පුළුවන්කම තිබෙයි. ඊළඟට පළාත් පාලන අයාතනවල වැඩ ටික ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන කොට බෑකෝ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර ඕනේ. ඒ නිසා අපි දැනටමත් මුදල් වෙන්කරලා තිබුණා මේ අවුරුද්දේ සැලකිය යුතු ප්‍රමාණයක් ගේනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මූලික දේවල් ටික ලබාගන්න.  එතකොට අපි හිතනවා රටේ සංවර්ධන කටයුතු ටික වේගයෙන් බිම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.” 

මේ අතර අක්‍රීයව පැවති පලාත් පාලන ආයතනවල කටයුතු සක්‍රීය කරමින් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.

ඔහු පවසන්නේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ද විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවය.

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර….

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය.

එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය.

පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්……

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

එළැඹෙන 06 වනදා පක්ෂ සම්මේලනයද පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ඇති බව වාර්තා වෙයි.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 26 වනදා ඇපමත මුදා හැරියේය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් මත මුදාහරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 22 වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

එදිනම ඔහු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඊට පසුදින වෛද්‍ය නිර්දේශ මත හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29)  රෝහලෙන් පිටව ගියේය.

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 06 දෙනෙකු මරුට…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මොරවැව, කිලිනොච්චි, අනුරාධපුර, වලස්මුල්ල සහ අරලගංවිල යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය.

ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එම ලොරි රථයේ ගැටීමෙන් පැදිකරු සහ පසුපැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හා 27 යන වයස්වල පසුවන පරන්තන් හා මූතූර්වල පදිංචිකරුවන් දෙදෙනෙකි.

මොරවැව අව්වනගර් ප්‍රදේශයේදී යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 71 හැවිරිදි තඹලගමුව ප්‍රදේශයේ පදිංචි පාපැදිකරු මියගොස් තිබේ.

අනුරාධපුර මල්වතුඔය යකඩ පාලම අසලදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගසක ගැටිමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම වලස්මුල්ල හක්මන මාර්ගයේ නතුවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සුනකයෙකුගේ ගැටී මාර්ගයේ පෙරලීයාමෙන් සිදුවු අනතුරකින් 56 හැවිරිදි මීඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අරලගංවිල මනම්පිටිය මාර්ගයේ මැදගම ප්‍රදේශයේදී ද යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කල පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ 77 හැවිරිදි දේවගල ප්‍රදේශයේ පදිංචි පදික පුද්ගලයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.