එජාපයෙන් සජබට ගිය අයට පැනවූ පක්ෂ තහනම අත්හිටුවීමේ තීරණයක්…..

එක්සත් ජාතික පක්ෂය විසින් සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ මේ වනවිට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් 06 වැනිදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සඳහා හිටපු ජනාධිපතිවරුන්ට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ඇරියුම් කිරීමට නියමිතව තිබේ.

එහිදී පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතය.

එමෙන්ම, එජාප සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ දැන් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

මේ අතර, කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් පැවැත්වුණි.

හික්කඩුවේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට….

හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති එහිදි වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු මේ වන තෙක් අත්අඩංගුවට නොමැති බව වාර්තා වෙයි.

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටී පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

කෙසේවෙතත් ඉන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉකුත් රජය සමයේ පොස්පේට් අඩු මිලට විකිණීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට අවසර…..

ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දුන්නේය.

පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබුණි.

මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2000 වසරේ දී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් තොග ලබාගැනීම සිදුකරන බව සඳහන් කළේය.

එමෙන්ම ලෝක වෙළෙඳපොළ් පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතාම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් ඔහු චෝදනා කළේය.

මේ තුළින් රජයටත්, මහජනතාවටත් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කළේය.

මෙම ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ චාමර සම්පත් දසනායක හිටපු අමාත්‍යවරයා පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ‍ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මාර්තු මසට 09 වනදා විභාගයට ගැනීමටද දින නියම කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්….

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

යාපනයේ ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති මුල්ගල තබයි…..

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුල්ගල තබා තිබේ.

ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහා ද ජනාධිපතිවරයා එක්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන් කිහිපයක් සඳහා  සහභාගි වී තිබුණි.

අපරාධකරුවෝ අත්අඩංගුවට ගන්න සහාය දුන් සැමට පොලිස්පතිගෙන් තුති…

විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සහය ලබාදුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු සහ ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විශේෂ ස්තුතියක් පුද කර සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව දැනුම් දී තිබේ.

විදෙස් රටවල සැඟව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පසුගිය 30 වන දින දිවයිනට ගෙන ආවේය.

ඉන් පසුව එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දිවයිනේ මේ වන විට සිදුවන සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පවතින අතර එම ක්‍රියාවලියට සමගාමීව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව වෙත ගොස් එරට පොලිස් නිලධාරීන්ගේ සහය ලබාගෙන සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලදී.

මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට විශේෂ සහයක් ලබා දෙමින්, විදේශගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ මෙම සැකකරුවන් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම දක්වා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සහයෝගය ලබා දුන් ජාත්‍යන්තර පොලීසිය, ඉන්දුනීසියානු පොලීසිය හා ඉන්දියානු බලධාරීන් ඇතුළු මේ සඳහා දායකත්වය ලබා දුන් සැමට පොලිස්පතිවරයා විසින් විශේෂ ස්තුතියක් පුද කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පොලීසිය පවසන්නේ,  විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය.

මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකාරියයගේ දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක –

ස්ථානාධිපති රක්වාන – 071 – 8591394
ස්ථානාධිපති අපරාධ අංශය – 071 – 8593808

උතුරට ගිය ජනපතිගෙන් පොරොන්දු රැසක් – කච්චතිව් ගැනත් කියයි….

තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 298කි.

රට තුළ බෙදී සිටිය ජනතාව එකතු කිරීමට උතුරේ ජනතාව පසුගිය මහ මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වූ බවත්, එම එකතුවීම අනාගතයේ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් පැවසු ජනාධිපතිවරයා දරුවන් කිසිදාක නොබෙදී සිටිය යුතු බව ද මෙහිදී අවධාරණය කළේය.

උතුර, දකුණ, නැගෙනහිර ලෙස බෙදීමකින් තොරව රට තුළ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවක් ලෙස තමා විශාල වෙහෙසක් දරන බවද සඳහන් කළ ජනාධිපතිවරයා උතුරේ ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ වැඩි අවදානයක් යොමු කර ඇතැයි ද පැවසීය.

පැවති රජයන් යුද්ධය අපේක්ෂාවෙන් වැඩ කළද, වත්මන් රජය කටයුතු කරන්නේ නැවත මේ රටේ කිසිදු ආකාරයේ යුද්ධයක් ඇති නොවන අන්දමින්, රට තුළ සාමය සහ සමගිය ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ සඳහා පවරා ගත් උතුරේ නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම යළි ජනතාව වෙනුවෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කළේය.

රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බවත්, ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“යුද්ධයක් එයි කියලා විනාශකාරී හැඟීමකින් අපි ඒ ඉඩම් තබා ගත යුතු නෑ. අපේ ආණ්ඩුව වැඩකරන්නේ යුද්ධය එන එක නවත්වන්න. සමහර ආණ්ඩු සැලසුම් කළේ යුද්ධය එනවා කියලා හිතලා ඉඩම් තියාගෙන ඉන්න. ඒ නිසා නිදහස් කළ හැකි සෑම පාරක්ම, නිදහස් කළ හැකි සෑම ඉඩමක්ම අපි ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම උතුරේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමා ධීවර රස්සාව . ඒ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක්. ඒ අනුව තමා මේ ධීවර වරායේ තුන්වන අදියර සංවර්ධනය කිරීමට අපි සැලසුම් කළේ. ඒ ජනතාව අවශ්‍ය ආම්පන්න සහනාධාර මිලකට ලබාදෙන්න කටයුතු කරනවා. ධීවර ජනතාව මුහුණදී සිටින ආක්‍රමණිකයින්ගෙන් මුදවා ගන්නත් අවධානය යොමු කරනවා.”

මෙහිදී කච්චතිව් දූපත පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දැක්වීය.

“විශේෂයෙන්ම අපේ ධීවර ජනතාවට වැදගත් තැනක් තමා කච්චතිව් දූපත. අද විශාල සංවාදයක් කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී තිබෙනවා. මම හවසට එතැනට ගිහින් ඒ ධීවරයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ භූමිය දුපතක් ද ? මහ මුහුද ද? අහස ද? ගොඩබිමද? ආරක්ෂා කිරීම මතු පරපුරට ආරක්ෂා කර ලබාදීම අපේ වගකීම. එය ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. අපේ මුහුද අපේ ජනතාව වෙනුවෙන්, අපේ ගොඩබිම අපේ ජනතාව වෙනුවෙන්, අපේ අහස අපේ ජනතාව වෙනුවෙන් කිසිදු බලපෑමකට යටත් නොවෙන බව ඔබට කියන්න කැමතියි.”

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් මහතා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමති ආනන්ද විජේපාල ගැන ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධව විමර්ශනයක්….

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

විදෙස් ගතව සැඟව සිට ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මගින් පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

එම අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේදී අදාළ මෙහෙයුමට සක්‍රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරින් කණ්ඩායමද දිවයිනට පැමිණියේ ය.

එසේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන්ට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පල කිරීමට ද ශ්‍රී ලංකා පොලිසියේ මේ සඳහා දායක වූ නිලධාරීන් ඇගයීම සඳහාද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණියේය.

මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජව සකස් කරන ලද අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ජායාරූපයක් සහ අපහාසාත්මක අයුරින් හා ද්වේශ සහගත ලෙස සකස් කරන ලද ප්‍රවෘත්ති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී ඇත.

මෙලෙස මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති හා ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් 2025.08.31 වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදු කරමින් මෙලෙස කටයුතු සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, පොලිස්පතිවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

හරක් කටාගේ නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි….

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ත්‍රිරෝද රථයක් හා රුපියල් 26,000 මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (01) කොළඹ මහාධිකරණයේදී පැවැත්විණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 29 වනදා දක්වා කල් තැබීමටද නියම කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අධිකරණ ශාලාව තුළට පුද්ගලයින් ඇතුළත් කර ගැනීමද දැඩි පරික්ෂාවකින් අනතුරුව සිදුවිය.