වසරේ මුල් මාස 4ට අපනයන ආදායම අ.ඩො.බි. 5.7 පනී…..

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.784ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව, 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් බිලියන 5.546ට සාපේක්ෂව 2026 වසරේදී අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරයි.

2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 4.524ක් ලෙස වාර්තා වී ඇති අතර, සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 1.259ක් ලෙස දැක්වේ.

2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්……

තුර්කියේ පැවැති ‘Miss Aura International 2026’ ලෝක රූ රැජින තරගාවලියේදී “Best in National Costume” හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකා වේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

ලෝකයේ රටවල් 40 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය මැයි 10 වන දින සිට මැයි 22 වන දින දක්වා තුර්කියේ අන්තාලියා නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දෙවීනා නවීක්ෂි මෙනවිය ප්‍රථමයෙන් තරගාවලියේ අවසන් 20 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලාංකීය අනන්‍යතාව විහිදුවමින් ඉදිරිපත් කළ ජාතික ඇඳුම වෙනුවෙන් මෙලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවාය.

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටින්නීය.

අද (25) උදෑසන 08:25 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-650 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූවාය.

ජාත්‍යන්තර කීර්තියක් මෙන්ම මව්බිමට අභිමානයක් ගෙන දුන් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය පිළිගැනීම සඳහා ඇයගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී……

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 990,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 24 දක්වා කාලය තුළ සංචාරකයින් 990,032ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 236,916ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මැයි මස පළමු දින සිට 24 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 113,755දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

උතුරේ දන්සල් පැවැත්වීම ගැන පළ වූ අසත්‍ය පුවතක්…..

දන්සල් පැවැත්වීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

– උපුටා ගැනීම – 

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, ” මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ.

එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටිමි.

දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය.

මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටිමි.

– උපුටා ගැනීම අවසන් – 

කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ…..

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,

ටෙස්ට් සංචිතය

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් – (උපනායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා – (නායක), මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත
එක්දින සංචිතය 

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත හිමිව ඇති අතර, එහි උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් – (උපනායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්

විස්සයි20 සංචිතය

විස්සයි20 කණ්ඩායම සඳහා ද කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දෙන අතර, කමිඳු මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.

පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ලසිත් කෘස්පුල්ලේ, පවන් රත්නායක, කුසල් මෙන්ඩිස් – (නායක), කමිඳු මෙන්ඩිස් – (උපනායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු,නුවන් තුෂාර.

තරග කාලසටහන

එක්දින

ජූනි 03 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 06 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 08 – තෙවන තරගය සබීනා පාර්ක්

විස්සයි20

ජූනි 11 – පළමු තරගය සබීනා පාර්ක්
ජූනි 13 – දෙවන තරගය සබීනා පාර්ක්
ජූනි 14 – තෙවන තරගය සබීනා පාර්ක්

ටෙස්ට්

ජූනි 18 – 21 – සිව්දින තරගය CCG
ජූනි 25 – 29 – පළමු තරගය SVRS, ඇන්ටිගුවා
ජූලි 03 – 07 – දෙවන තරගය SVRS, ඇන්ටිගුවා

වාහන මිලත් හෙලවෙන ලකුණු……

වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ  මහතා,

“මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු වෙනවා. එහෙම නැත්නම් එයාගේ එෆෝඩබිලිටි එක අඩු වෙනවා. එතකොට ඒක අඩු වෙනවා කියන්නේ සෘජුවම ආනයනය පොඩ්ඩක් සීමා වෙනවා.”

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,

“මනුස්සයෙක් වාහනයක් ගන්න කොට සීයට පනහ දක්වා ලීසිං ෆැසිලිටි එකක් තමයි මෙච්චර කල් දුන්නේ. ඒක එකපාරට සීයට හතළිහ කරලා. එකපාරට මෙහෙම ලෝන් ටු වැලිව් ඉරේස් එක වෙනස් කරපු ගමන් අපිට මේ වාහන විකුණගන්න බැරි වෙනවා. මේක ඇත්තට මං දන්නෑ ගවනර්ගේ අතින් වෙච්ච වැරදීමක් ද, මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා. ඇත්තටම මේවගේ ඩිෂිෂන්ස් ගන්නකොට අඩු ම තරමේ ගෙනාපු වාහන, එල්සී ඕපන් කරපු වාහන වලට මේ අවස්ථාව ලබා දෙන්න ඕන අපිට.” 

මහ බැංකුව විසින් ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ,  ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක් (LVT Ratios) පැනවීමට කටයුතු කරන බවය.

ඒ අනුව, සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා පහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

කහතුඩුවේදී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් පෙරළෙයි……

කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඉන් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ සෙසු පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් සහ අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්……

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්යමණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලේකම්වරිය සහ අතිරේක ලේකම් (පාලන) වෙත උපදෙස් ලබා දී තිබේ.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පවසා ඇත.

එසේම ළමාරක්ෂණ ක්‍රියාවලිය තුළ නියාමන පාර්ශ්වය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෙසු ආයතන සමඟ වන සම්බන්ධීකරණය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනත්වය පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ කාලීන සිදුවීම් පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බව සඳහන් වේ.

ඇමති විජිත ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක……

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු මැයි 26 සිට ජුනි 03 දක්වා එම රටවල් සංචාරයක නිතර වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙම සංචාරයේදී විජිත හේරත් මහතා ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

පළාත් සභා මැතිවරණය මේ වසරේ තියන්නේ නැහැ – ටිල්වින් සිල්වා…..

මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දීයාවෙන් යම් බලපෑමක් සිදුවන්නේදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

ඊට පිළිතුරු ලබාදෙමින් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේ, දෙරටේ ආණ්ඩු අතර මනා අවබෝධයක් පවතින බැවින් එවැනි බලපෑමක් එල්ලවී නොමැති බවය.

“පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. එහෙම තියෙද්දී තමයි දිට්වා කුණාටුව ආවේ. අපිට සිදුවුණ වුණා, අයවැයට වෙන් කරපු සල්ලි තියෙද්දී, රුපියල් බිලියන 500ක් ඒ කියන්නේ, කෝටි 5000ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න වුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ඡන්ද කරන්න වෙන්නේ නෑ. 

ඒ අතර දැන් අලුත් ප්‍රශ්නයකුත් ඇවිත් තියෙනවා. පළාත් සභා ඡන්දය කල් යන්නේ රනිල් වික්‍රමසිංහලාගේ කාලයේ පළාත් සභා ඡන්දය තියන්න තිබුණ නීතියම ක්‍රියාමාර්ග අවුල් කිරීම නිසා දැන් අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා. පළාත් සභා කුමන නීතියක් යටතේ ද තියන්නේ කියලා. ඒ කමිටු වාර්තාත් ලැබුණාම ඒ ගැනත් සලකලා බලලා ලබන අවුරුද්ද වෙනකොට වෙන ගැටලු ආවේ නැත්නම් පළාත් සභා තියාගන්න පුළුවන් වෙයි කියලා. 

අපිට ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැහැ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවත් සහ මලිමා ආණ්ඩුවත් අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතා මිත්‍රශීලි  සම්බන්ධයක් තියෙනවා. අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. අපි උතුරේ ජනතාවට ජාතිවාදය නැති රටක් හදලා තියෙනවා. අපි හමුදා කඳවුරුවලට අරන් තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. පාරවල් විවෘත කරලා තියෙනවා. අලුතින් මාර්ග හදමින් තියෙනවා. ඒ වගේම ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ජනතාව බලගැන්වීමේ ක්‍රියාවන් කරනවා. ඒ නිසා ඉන්දියාවට මේ ගැන අවබෝධයක් තියෙනවා. අපි ඉතා සහයෝගයෙන් වැඩ කරනවා.”