මෙරටින් වැඩැම්ම වූ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ බෞද්ධයින්ට වන්දනාමාන කිරීමට අවස්ථාව……

මෙරටින් වැඩැම්ම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය අමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා ඇත.

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු පූජනීය වස්තූන් සමූහයක්, අතිමහත් බැතිමතුන් පිරිසකගේ ගෞරව බහුමාන මධ්‍යයේ පසුගිය මැයි 01 වනදා අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවන ලදි.

මෙම පූජනීය වැඩම කරවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය සමඟ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිස සහභාගී වී තිබුණි.

එහි දී ඔවුන් පිළිගැනීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙන් ම වියට්නාම් ජාතික බැතිමතුන් ද විශාල පිරිසක් සහභාගී වී තිබේ.

මහජන ගෞරවය හා වන්දනාමාන කටයුතු සඳහා පසුගිය 02 වනදා සිට මෙම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීමේ ලිපි…..

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද (04) සිය පත්වීම් ලිපි ලබාගත්තහ.

සිදත් වෙත්තමුනි,  තුශිර රදැල්ල, ප්‍රකාශ් රාෆ්ටර්, සහ අවන්ති කොළඹගේ යන අය ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පත්වීම් ලිපි මෙලෙස  ගන්නා ලදී.

ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉකුත්දා ඉල්ලා අස්වූ අතර ඒ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.

අකුණුසැර වැදී කාන්තාවක් මරුට – තවත් අයෙක් රෝහලේ……

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අකුණුසැර වැදීමෙන් එහි නේවාසිකව සිටි එක් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කොක්වත්ත, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රදේශයේ ඇති ඇඟළුම් කම්හලක සේවය කරන අයවලුන් බවත් ඔවුන් නේවාසිකව සිටින ස්ථානයේ රැඳී සිටියදී නිවසට අකුණු සැර වැදීමෙන් ‍මෙම අනතුරට මුහුණපා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරට පත් අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙනවා – ආරක්ෂක ලේකම්……

මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් වන විමර්ශන අඛණ්ඩව සිදුවෙමින් පවතින බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම කලක පටන් මෙරට තුළ ඉතාමත් නිදහසේ පැවති බවත් එය පිරිසකගේ ආශිර්වාදයෙන් හා බලපෑම යටතේ ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා

” මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත් නිදහසේ පැවතිච්ච දෙයක් සෑහෙන පිරිසකගේ ආශිර්වාදය බලපෑම යටතේ තමා ඒක කෙරුණේ.. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා.. ඒවා මේ රටෙන් තුරන් කරන්න ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම මේ දවස්වල නාවික හමුදාව ලොකු කාර්යභාර්යක් කරනවා.. ඊට අවශ්‍ය කරන තීන්දු තීරණ අරන් තියෙනවා.. මහජන ආරක්ෂක අමාත්‍යංශයට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා.. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමනුකූලව නැති කරලා දානවා.. ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා.. මේවට සම්බන්ධ මහමොළකරුවන්ට, බිස්නස් කරන අයට ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වෙන්න වෙයි”

වෙසක් පොහොය දිනය වෙනස්වීම ගැන පැහැදිලි කිරීමක්……

මේ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මැයි මස 30 වෙනිදා යොදාගැනීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ, මේ පිළිබඳව සමාජයේ කතිකාවතක් නිර්මාණයවී ඇති පසුබිමකය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රෛයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවය.

වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බව එම ස්වාමීන් වහන්සේලා පෙන්වාදී ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් මේ වසරේ ජනවාරි මස 06 වෙනිදා පැවති සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇත.

ඒ අනුව වෙසක් පුර පසලොස්වක දිනය මැයි මස 30 වෙනිදා ලෙස සැලකිය යුතු බවත් වෙසක් සතිය වශයෙන් මැයි 27 වෙනිදා සිට ජුනි 02 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් කළ යුතු බවත් යෝජනා වූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

රාජගිරියේදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට……

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවද සඳහන්ය.

ඔවුන් සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකතන රැසක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට මෙම කූඨ ව්‍යාපාරය සිදුරගෙන ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොවන්ගෙන් පිරිසක් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට…..

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද උදෑසන 10.20ට රුසියාවේ මොස්කව් නුවර සිට එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ- 288 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර, කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ද නියමිතය.

වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි…..

ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ, මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැට් අයකිරීම් ජූලි මස පළමුවෙනිදා සිට සිදු කෙරෙනු ඇත.

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා යන සීමා අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර එය ද ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ බදු අය කළ හැකි කාලසීමව තුළ දී ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සම සේවාවල බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන නවයක් ඉක්මවා තිබිය යුතුය.

එමෙන්ම මූල්‍ය සේව මත වන වැට් බදු සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.

ඩිජිටල් සේවා මත බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම සඳහා විධිවිධාන සලස්වනු ඇත.

පොහොර ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා……

යල කන්නය සඳහා පොහොර ලබාදීමේදී ගොවීන්ගෙන් අයකළ ප්‍රවාහන ගාස්තුව ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරති.

මීට පෙර රුපියල් 50ක්වූ එම ගාස්තුව මේ වනවිට රුපියල් 300ක් දක්වා වැඩි කර ඇති බව ඔවුන් පෙන්වා දෙති.

මෙලෙස වැඩි කර ඇත්තේ, පොහොර කොළඹ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ගොවීන්ගෙන් මෙතෙක් අයකළ ගාස්තුවය.

එමෙන් පොහොර ලබාදීම සඳහා පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 9, 550ක මුදලක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මේ වනවිටත් අය කරගෙන ඇති බව සඳහන්ය.

මේ අතර ප්‍රමාණවත් පොහොර ලබාදීමට නොහැකි බවට කෘෂිකර්ම නියෝජ්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ, වී වගාව සඳහා අක්කරයක් වෙනුවෙන් යූරියා කිලෝ ග්‍රෑම් 90ක් යෙදිය යුතු බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ම නිර්දේශකර ඇති පසුබිමකය.

කෙසේවෙතත් ඒ සඳහා යෙදිය යුතු පොහොර නිසි ලෙස තවමත් නොලැබුණු බවට ගොවීන් චෝදනා කරති.

අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මෙවර යල කන්නය සඳහා වී වගාව ආරම්භ කර මේ වනවිට මාසයක පමණ කාලයක් ඉක්මවා තිබේ.

භාණ්ඩාගාර මුදල් වංචාව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්……

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සියලු විමර්ශන කටයුතු සිදු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය හරහා ද මේ සමබන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විෂ ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම හා සම්බන්ධ වෙමිනි.

චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත් ද යන්න සෙවීම පරීක්ෂණවලින් සිදු කරන බවත් එසේ සිදුව නොමැති නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සිය අරමුණ වන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

”සියලු විමර්ශන කටයුතු සිදුවෙනවා.. මුදල් අමාත්‍යංශය පැත්තෙන් අභ්‍යන්තර පරීක්ෂණයකුත් සිදු වෙනවා.. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය පෙබරවාරි මාසයේ සිදු කරන ලද පැමිණිල්ල අනුවත් කටයුතු සිදු වෙනවා.. අපිට ඕනකම තියෙන්නේ චේතනාන්විතව යම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකු මේකට සම්බන්ධ වුණා ද කියලා හොයා ගන්න.. එහෙම නොවුණා නම් මෙවැනි දෙයක් අනාගතයේ දී සිදු නොවන්න ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කර ගන්න එක.. ඒ අනුව ඒ දෙපැත්තටම අපි කටයුතු කරගෙන යනවා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් කොමිසමෙන් කටයුතු සිද්ධ වෙලා ඉන් පසු පියවර තමා නඩු පැවරීමේ කටයුතු සිදු කරන එක.. එම නඩුවලට අදාළ දින මේ වන විටත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.. අදාළ පාර්ශවයන් දන්නවා කවද්ද නඩු දිනේ කියලා.. ඒක සාමාන්‍යයෙන් Common Knowledge එකක්.. ඒක තමා මැයි දින රැලිවල වේදිකාවේ කියවුණේ.. කොහොමත් ඉදිරි දිනවල එම නඩු ප්‍රකාශය පත්වෙලා තියෙනවා.. ඒ අනුව නඩු කටයුතු සිද්ධ වෙයි”