ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය…..

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

පොලිස් නිල රථයක් ලෙස හැඩගැන් වූ ජීප් රථයක් මහනුවර දී කොටුවෙයි….

උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් ලෙසට හැගෙන ආකාරයෙන් හැඩගන්වන ලද නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශය මගින් සිය භාරයට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ දී මෙම ජීප් රථය පොලිස් භාරයට ගත් අවස්ථාවේ එහි පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර පොලීසිය භාවිතා කරන ආකාරයේ  walkie talkie කථන යන්ත්‍ර දෙකක් ද එහි තිබූ බව පොලීසිය පවසයි.

මෙම ජිප් රථයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත්  වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති අතර නිරන්තර මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බව පොලීසිය පවසයි.

යම් අවස්ථාවලදී රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කර ඇති බව සඳහන් වේ.

මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද නැතිනම් වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බව වාර්තා වේ.

මෙම ජීප් රථයේ හිමිකරු සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති බව වාර්තා වේ.

සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇතතේ මෙම ජීප් රථය, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මහ සොහොන් බළකාය නැමැති දේශපාලන සංවිධානයක සාමාජිකයෙකු වූ අමිත් වීරසිංහ නැමැති අයෙකුට අයත් එකක් බවය.

ඒ අනුව ඔහුට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

බූස්සෙන් STF ඉවත් කරන්නැයි ඉල්ලූ මිදිගම රුවන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ…..

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂා කිරීම් වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සමේ සඳහන් නඩු නිමිත්ත තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරිමට පෙත්සම්කරු අසමත් වී ඇති බවය.

ඒ අනුව එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

පෙත්සම්කරු කියා සිටින්නේ, බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පරීක්ෂා කිරීම් ඇතුළු අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම බන්ධනාගාර පනතේ විධිවිධානවලට පටහැනි බවය.

ඒ අනුව අදාළ බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

හබරණදී දුම්රිය ගැටී වනඅලියෙකු තුවාල ලබයි….

හබරණ පුවක්පිටිය ප්‍රෙද්ශයේදී කොළඹ ත්‍රීකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියකු තුවාල ලබා ඇති බව රිටිගල වනජීවී නිලධාරීහු පවසති.
ඊයේ (03) රාත්‍රියේ මෙම වන අලියා දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලියා අනතුරට පත්ව තිබේ.
කොළඹ – ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ 128 ½ සැතපුම ආසන්නයේ දී එම වන අලියා මෙලෙස අනතුරට තිබේ.
රාත්‍රී තැපැල් දුම්රියේ ගැටිමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වන කෙනරකි. දුම්රියේ ගැටුන කෙනර තුවාල ලබා එම දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී සිටි.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මඟින් සිදුකළ දැනුම් දීමක් අනුව අනුරාධපුර පණ්ඩුලගම වනසත්ව සෞඛ්‍ය කලමණාකරණ ඒකකයේ පශුවෛද්‍ය නිලධාරීන් විසින් අනතුරටපත් කෙනෙරට ප්‍රතිකාර කිරීමට නියමිත බව රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී පැවැසීය.

කැකිරාව – කුෂාන් ජයවර්ධන

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් – ලකුණු 198ක්….

මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව  198කි.

මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.

ශිෂ්‍යත්වයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණ ඉක්මවා ගිය දරුවන් සංඛ්‍යාව 51,969කි.

එය 17.11%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වෙයි.

පසුගිය වසරට සාපේක්ෂව එය 1.06% වැඩිවීමක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙනි.

එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.

පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇත.

දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් ලකුණු 70 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු ලබාගත් දරුවන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එහි දෙවන සහ තෙවන ස්ථාන හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට හිමිවී ඇත.

සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීමට ඉඩනොදෙන බවට පරිසර ඇමතිගෙන් සහතිකයක්….

සිංහරාජ වනාන්තරය තුළ මාර්ග ඉදිකිරීමට ඉඩ ලබානොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පරිසරය සුරැකීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු නොකරන බවය.

සිංහරාජ ඉලුම කන්දේ සිට සූරියකන්ද දක්වා මාර්ගය පිළිසකර කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවකට ඉදිරිපත් වී ඇති අතර, ඒ අනුව එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට නිලධාරීන් පිරිසක් ගොස් ඇති බැවින් ඒ පිළිබඳව කතා බහක් නිර්මාණය වී ඇති බවය.

විදුලි සේවකයින් අද සිට අකුරට වැඩ….

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද (04) මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බවය.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තිව්‍ර කරන බව ද කෝසල අබේසිංහ මහතා පැවසුවේය.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ තවත් කතාවක් එලියට එයි…..

මාළිගාවත්ත ප්‍රදේශයේදී අද (3) දහවල් සිදුවූ වෙඩිතැබීම අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීම සඳහා සිදුකරන ලද්දක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

අද පෙරුවරු 11.20ට පමණ මාළිගාවත්ත පොලීසියට මීටර 100ක පමණ දුරින් පිහිටි ත්‍රිරෝද රථ අමතර කොටස් වෙළෙඳසැලකදී වෙඩිතැබීමක් සිදුව තිබුණි.

වෙඩික්කරු ටී-56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ අතර, ඔහුගේ ඉලක්කය වූ වෙළෙඳසැලේ අයකැමිවරයා පරිගණකයක තිරයකට මුවාවී වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත.

කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් අදාළ වෙළෙඳසැලේ අයකැමිවරයාගේ අතකට තුවාල සිදුව ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

ඔහු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්ය.

පොලීසිය සැකපලකරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරු කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුගේ යහළුවෙක් බවයි.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීමේ අරමුණින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලීසිය පවසයි.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය…..

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.

පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ CCTV දර්ශන මාධ්‍ය වලට නිකුත් වෙයි….

මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

අද (03) උදෑසන ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඉන් එක් අයෙකු තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර තිබේ.

එහිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ ගත වු කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 93ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.