හරක් කටා ඝාතන සැලසුමේ තවත් අයෙක් අත්අඩංගුවට….

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වෙඩික්කරුවකු යොදවා කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තවත් අයෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ඝාතන සැලසුමේ මාධ්‍යවේදියාගේ කැමරාව තුළ මි.මී. 3.8  වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරුය.

අදාළ සැකකරු උඩුගම්පොල, දොඹවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු වන අතර, ඔහු සිය නිවසේදී අත්අඩංගුවට පත්ව ඇත.

මෙම හරක් කටා ඝාතනය කිරීමට සැලසුම්  සම්බන්ධයෙන් ඊයේ (2) පහත්බිම් ගොඩකිරීම් මණ්ඩලයේ රියදුරෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බැකෝ සමන් තමාට එම කැමරාව හා ගිනිඅවිය ලබාදුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමන් ඒවා ගිනිතබා විනාශ කළ බව පවසා තිබේ.

ප්‍රකාශයක් ලබාදෙන්න ආ රාජිත යළි බන්ධනාගාරයට….

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් පසුව මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට කාර්යසාධක බළකායක්….

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.

ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්  කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස්….

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.

ඉකුත් 2017 වසරේ අප්‍රෙල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.

එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.

159 වන පොලිස් සංවත්සරය අදයි….

ශ්‍රී ලංකා පොලීසියේ 159 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

පළමු පොලිස් කාර්යාලය 1866 සැප්තැම්බර් 3 වන දින පිහිටුවන ලද අතර, එහි පළමු පොලිස්පතිවරයා ලෙස ජී. ඩබ්ලිව්. ආර්.  කැම්බල් පත් කරන ලදී.

මෙම දිනය ශ්‍රී ලංකා පොලිසියේ ආරම්භක දිනය ලෙස සැලකේ.

මේ අතර, 159 වන පොලිස් දිනය සැමරීම සඳහා විශේෂ අනුස්මරණ උත්සවයක් අද (03) පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වේ.

උත්සවයට සූදානම් වීමක් ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය ද විශේෂ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම රථවාහන සැලැස්මට අනුව බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය නිවේදනය කරයි.

  • පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර ඇති බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිහිටි බස්නැවතුම වෙත රැගෙන යාම.
  • 2025.09.03 වන දින පස්වරු 0200 සිට පස්වරු 0700 දක්වා බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ බර වාහන ගමනා ගමනය සීමා කිරීම (කන්ටේනර් රථ හා ටිපර් රථ) 

රාජිතව අල්ලස් කොමිසමට රැගෙන එයි….

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස 29 වන දා අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබුණේ අද (03) උදෑසන 9ට ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට….

‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය.

මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.

වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….

චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් අද (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනය බලා පිටත්වීමට නොහැකි වුණි.

ඒ, වීසා නොලැබීම හේතුවෙන්ය.

ගුවන් යානය පිටත්වන වේලාව වනවිටත් ඔවුන්ට වීසා ලැබී නොතිබූ අතර කටුනායක ගුවන්තොටුපොළේදී පිරිස පත්වූයේ දැඩි අපහසුතාවකටය.

23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා චීනයේදී පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් පන්ලක්ෂ අසූදහසක මුදලක්ද කරාතේ දෝ සම්මේලනය අයකරගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ ගුවන් ටිකට්පත්, විසා ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දීම සඳහාය.

ගමන සඳහා අද පෙරවරුවේ වීසා හිමිවන බව පැවසූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ නිලධාරීන් ආසියානු කරාතේ ශූරතා තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණි.

චීනය බලා පියාසර කෙරෙන ගුවන් යානය අද පස්වරු 2ට කටුනායක ගුවන්තොටුපොළින් පිටත්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටුණේ ඒ වන විටත් කරාතේ දෝ සම්මේලනයේ බලධාරීන් වීසා ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්ය.

දහසක් බලාපොරොත්තු මැද, අසීරුවෙන් මුදල්ද සොයාගෙන තම මව්බිම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ අසාධාරණයට වගකිව යුත්තේ කවුරුන්ද?

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසුවේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණදුන් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවය.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයි….

එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන බව සඳහන්ය.

අද (02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් එම තීරණයට එළැඹි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළැඹෙන බවද එජාප මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.