අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක්….

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පැවති වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී ඇති අතර මාර්ගවලට ගල් පෙරළීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇති බවය.

මේ අතර දිස්ත්‍රික්ක 10ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ කොළඹ, කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, බදුල්ල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීම් මෙලෙස තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇඳහැලෙන්නේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්ය.

ඒ අනුව මේ දිනවල සවස් කාලයේ තදවැසි ඇදහැලෙයි.

එමෙන්ම නාගොඩ හරහා හමාගිය තද සුළඟකින් මාපලගම – ගාල්ල ප්‍රධාන මාර්ගයේ විදුලි රැහැන් පද්ධතියට ගස් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනයටත් බාධා එල්ල වී තිබුණි.

මාතර දිස්ත්‍රික්කයටත් ඇඳහැලුණු තද වැසි සමඟ දෙනියාය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවුණි.

දෛනික කටයුතුවලට බාධා එල්ල වූ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන්ය.

මාතර – කොටපළ මාර්ගය ඌරුබොක්ක බද්දන්වල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණි.

මාතර දිස්ත්‍රික් සහන සේවා ඒකකය පවසන්නේ අයහපත් කාලගුණයෙන් මාතර පවුල් 100ක පුද්ගලයින් 363දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම ඌරුබොකු ඔය, කටුවන නගරය ආසන්නයෙන් පිටාරගැලීමෙන් එම නගරය හා අවට ප්‍රදේශ ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවිය.

මේ අතර ඇදහැලුණු තද වැසි සමඟ කළුතර බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් හා මාර්ග රැසක්ද ජලයෙන් යටවී තිබුණි.

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට….

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන හෙට පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිතය.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවන මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවය.

එමෙන්ම බස් රථයේ මගී ප්‍රවේශපත්‍රයෙන් වංචා දූෂණ රැසක් සිදුවන බවත් මේ හේතුව මත බස් රථයේ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ් මගින් ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස විශාල ඉල්ලීමක්ද ලැබුණු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට….

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 1,017දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 319ක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 585ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 586ක් සහ කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් අතරින් 21දෙනෙකු පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 29දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

දුම්රියේ වනඅලි ගැටීමට විසඳුම් ඉල්ලා දුම්රිය රියදුරන්ගෙන් තීරණයක්….

මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුවට සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රියන් ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.

අද (23) මාධ්‍ය රාත්‍රීයේ සිට තෙල් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.

මීට අමතරව හෙට දිනයේදී රාත්‍රී කාලයේදී ධාවනය වන තැපැල් දුම්රිය ධාවනයෙන්ද ඉවත්වීමට බලාපොරොත්තු වන බවද  දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය සඳහන් කළේය.

“වාර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා දුම්රිය ධාවනයට විශාල බාධාවක් එල්ල වෙලා තියෙනවා මහව සිට ත්‍රිකුණාමලයටත්, මහව සිට මඩකලපුවටත්, මහව සිට කන්කසන්තුරේටත් වනඅලි ගැටීම නිසා වනඅලීන්ට හා දුම්රියටද හානි සිදුවෙනවා. දුම්රිය රියදුරන් ලෙස මේක අපිට පාලනය කරන්න බැහැ. ඒ නිසා දුම්රිය ධාවනයට විශාල බධාවක් වෙලා තියෙනවා මොකද අපිට ක්ෂණිකව දුම්රිය නතර කරගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ නිසා අපිට මේකට වගකීමක් දෙන්න බැහැ.”

“වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මේ කලාප හරහා දුම්රිය ධාවනය කිරීම සිදුකර නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේක ලොකු ගැටලුවක් මොකද දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට දුම්රියේ ගමන් කිරීමට නොහැකි.”

“වසර ගණනාවක් තිස්සේ අපි රජයටත් දෙපාර්තමේන්තුවටත් මේක දැනුම්දුන්නා මෙය රියදුරන්ට වගකියන්න බැහැ. මේකට මොකක් හරි පාලනය කරලා දෙන්න කියලා නමුත් මේ වෙනකම් කිසිම සාධනීය මට්ටමක දෙයක් සිදුවුණේ නෑ.”

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ…..

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, රත්නපුර, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, අයගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කොරළය, උඩු නුවර, උඩුදුම්බර, උඩ පළාත, ගඟවට කෝරළය, පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඕපනායක, වැලිගෙපොල, කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් කර ඇත.

එමෙන්ම කඳු ආශ්‍රිතය යම් තරමක වර්ෂාපතනයක් පවතින බැවින් එම ප්‍රදේශවල අනතුරුදායක ස්ථානවල ජීවත් වන පිරිස් සහ ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත් එම සංවිධානය සිය නිවේදනයේ දන්වා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ යම් ආකාරයක වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් පැවතිය හොත් අනතුරුදායක ස්ථාන වෙතින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට ගමන් ගන්නා ලෙසත්ය.

දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් බදු ගැන නොදන්න කතාවක්….

ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මේ බව කියාසිටියේය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මම රුපියල් 100ක් දැම්මොත් එකෙන් කීයක් බදු හැටියට ගන්නවද?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ

“අන්තර්ජාලය භාවිතාකරනවානම් ඒකට Telecommunication Levy කියන බද්ද අයිති වෙන්නේ නෑ. 15%ක් Effective Tax පාරිභෝගිකයාට එරෙහිව Broadband නැතුව අනෙක් Voice පහසුකම් සඳහා 38.4ක්   Broadband වලට එන්නේ   20.3ක් වගේ වෙන්නේ Effective Tax එක.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – අපි හිතමු තරුණියක් සහ තරුණයෙක් ඩේටාවලින්නේ කතා කරන්නේ. එහෙම කතාකරන්න 100ක් දැම්මොත් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ද?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “එකෙන් 20.4%ක් අඩුවෙනවා. රුපියල් 100යෙන්.‍”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – එතකොට මට රුපියල් 80ක් පාවිච්චි කරන්න පුළුවන් ?  අර කලින් කියපු 38.4ක බද්ද ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “ඒ ඩේටා නැතුව නිකන් පාවිව්චි කරනවානම් 38.4ක බද්ද අය වෙනවා.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – ඩේටයි, වොයිසුයි දෙකමනේ භාවිත කරන්නේ ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ –  “ඒක හරි එතකොට බදු එකතු කිරීමේදී ඩේටාවලට Effective Tax එක 20.3යි වොයිස්වලට 38.4යි.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණේ නෑ. මම අහන්නේ මේක Prepaid නේ…  මම රුපියල් 100ක් දානවා මම කෝලුත්කරනවා, වට්ස්ඇප්වලිනුත් ගන්නවා. එතකොට රුපියල් 100ක් දැම්මොත් එකෙන් මට කීයක් ද පාවිච්චි කරන්න පුළුවන්ද ?

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ – “ඒක ඔබ පාවිව්කරන ස්භාවය අනුව.”

ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි දුරකථන සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් පාසල් ළමුන් දුෂ්කරතාවට පත්ව සිටින බව එහිදී නිමල් පලිහේන මන්ත්‍රීවරයා කාරක සභාවේ අවධානය යොමු කළේය.

දයාසිරිගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී  සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ බව අද (19) පාර්ලමේන්තුවේදී කථානයකවරයා දැනුම් දුන්නේය.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහි සමාජිකයින් ලෙස නම් කර ඇත.

“2025 සැප්තැම්බර් 24 වනදා සභා ගර්භය තුළදී පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා සැප්තැම්බර් 25 වනදා දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරිපත්කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි  සභාපතිත්වයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි පන්නිලගේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ  සාමාජිකත්වයෙන් යුත්ත ත්‍රිපුද්ගල කමිටුවක් මා විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.”

දකුණේ හෝටල්හිමිකරුවෙකු ඝාතනයට ආ සැකකරු මාට්ටු…..

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්….

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කර ඇත.

2026 ජනවාරි 20 වන දිනට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කමිටුවට උපදෙස් ලබා දී ඇත.