යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය හමුවෙයි……

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ.

එම පිරිස අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරිය හමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දරුවන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට සිය කෘතඥතාව පළ කළ අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු යුනිසෙෆ් සංවිධානය විසින් කඩිනමින් ලබාදුන් සහන සහ ප්‍රතිසාධන පැසසුමට ලක් කළාය.

දරුවන් සඳහා වන නීතිමය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම, දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සහ ළමා මන්දපෝෂණය පිළිබඳ පවතින ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වටිනා අවස්ථාවක් බව පෙන්වා දුන්  අග්‍රාමාත්‍යතුමිය,  ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුවක් පවතින නමුත්, දරුවන් සහ අවදානමට ලක් වූ කණ්ඩායම් මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමේදී එම ප්‍රතිපත්ති සහ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළාය.

රජය ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ  සිය ප්‍රශංසාව පළ කළ යුනිසෙෆ් නියෝජිතයෝ  දරුවන් කේන්ද්‍ර කරගත් වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයට තවදුරටත් සහාය ලබාදීමට කැමති බව  ද ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට යුනිසෙෆ් විධායක මණ්ඩලයේ සභාපති Rein Tammsaar (Estonia) , උප සභාපති  Sophia Tesfamariam (Eritrea) , උප සභාපති Alejandra Hernandez Gonzalez (Dominican Republic) ඇතුළු යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියේය.

රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන විවාදයක් ලබන 11 වෙනිදා……

පාර්ලිමේන්තුව ලබන 09 වෙනිදා සිට ජුනි මස 12 වෙනිදා දක්වා රැස්වීමට පසුගියදා (ජුනි 01) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ අනුව එම දිනවල පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.

පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාය.

පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

ඒ අනුව ජුනි 09 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන පනත යටතේ වන නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වන නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 යටතේ වූ තීරණයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.

පසුව පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය  විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.

ජුනි 10 බදාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විදුලි සංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමටත්  නියමිතව ඇත.

ඉන් පසු පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව සඳහන්ය.

ජුනි 11 බ්‍රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 1.30 දක්වා සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙ‍ටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමය විවාදයට  ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතව තිබේ.

අනතුරුව පස්වරු 1.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

ජුනි 12 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට යෝජනා වී ඇත.

එදින පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් 2026.05.20 ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පවත්වාගෙන යාමට නියමිතය.

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්…..

හොරණ – බටගොඩ පිහිටි සෙනෙහසේ කැදැල්ල නැමති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔහු අද (04) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සෙනෙහසසේ කැදැල්ල නැමැති එම නිවාසයේ ඊයේ (03) රාත්‍රි හටගත් ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 6දෙනෙකු තුවාල ලැබීය.

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපතිට ඇප……

රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබේ.

ඔහු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (4) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

ස්ථානාධිපතිවරයා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ. ඊට අමතරව පැමිණිලිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද නියෝගය කර ඇත.

මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සිදු නොකිරීමේ චෝදනාවකට අදාළව ඔහු ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබීය.

හැකර් විද්ද ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට……

ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.

එම කාරක සභාව අද (04) රැස්වූ අවස්ථාවේදී එය සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාව පරිශීලනය කර ලබන සතියේදී ඒ සම්බන්ධයේ මුදල් ලේකම්වරා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද මන්ත්‍රීවරයා කියාසිටියේය.

මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට එවනු ලැබූ අවස්ථාවේදී  ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඊයේ (03) නැවතත් හරවා යැවූ බව සඳහන්ය.

වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසා මෙසේ හරවා යැවීමට ඒ මහතා කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුවෙන් පාඩමක්……

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කර තිබේ.

ඒ, කම්කරු අමාත්‍ය  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිදු කළ ඉල්ලීමට අනුවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන මේ මස 10 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා පසුගිය පළමුවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ගිනිගැනීමට ලක්වූ සෙනෙහසේ කැදැල්ල ලියාපදිංචි නොකළ ආයතනයක්…..

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා තහවුරු කර තිබේ.

සිදුකල කළ සොයාබැලීමක දී  අමාත්‍යවරයා ඒ බව තහවුරු කළේය.

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල රැඳවුම් මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබූ ස්ථානයකි.

ඒ , එහි නේවාසිකයන් හා සේවාවන් පිළිබඳ නිරන්තරයෙන් පළ කෙරුණු වීඩියෝ නිසාවෙනි.

එම ස්ථානයේ හදිසි ගින්නක් හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5.10ට පමණය.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් හා හොරණ ගිනි නිවීමේ ඒකකයේ භටයින් එක්ව ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කළේය.

ගින්න ඇති වන අවස්ථාවේ අදාළ මධ්‍යස්ථානය තුළ විවිධ වයස්වල මානසික ආබාධ සහිත පුද්ගලයින් 70 දෙනෙකු සිට තිබේ.

ඒ අතරින් 52 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට අසල්වාසීන් සහ පොලීසිය සමත් වී තිබුණි.

පිළිස්සුම් තුවාල සහිතව සිටියදී බේරාගැනුණු තවත් 8 දෙනකු එම අවස්ථාවේදීම රෝහල්ගත කෙරුණත් ඒ අතරින් දෙනෙකු පසුව මිය ගොස් තිබුණි.

ගින්නෙන් මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර බේරාගැනීමට නොහැකි වූ 10 දෙනෙකුගේ පිළිස්සුණු මෘත දේහ ගින්න නිවාදැමීමෙන් පසු සොයාගැනුණි.

ඊයේ රාත්‍රියේදි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා , කළුතර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ත කොට්ටහච්චි මහත්මිය හා නිලධාරීන් පිරිසක් ද එහි පැමිණ අනතුර නිරීක්ෂණය කළේය.

මධ්‍යස්ථානය තුළ සිට නිරුපද්‍රිතව බේරාගත් පිරිස ඊයේ රාත්‍රියේදීම බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ රඳවා තැබීමට කටයුතු කෙරුණි.

ගින්න හටගත් ස්ථානයට අද පෙරවරුවේ පැමිණි හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහි මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එහි පැමිණියේය.

එම අවස්ථාවේදි මෙම රැඳවුම් මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගෙන එම ස්ථානයට රැගෙන විත් සිටි ආකාරය දක්නට ලැබුණි.

මෙහිදී ජල මෝටරය සහ එම ස්ථානයේ තිබූ මල්ටි ප්ලග් එකකින් විදුලිය කාන්දු වී ඇති බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ ආසන්නයේ මෙට්ට 80ක් පමණ ගොඩ ගසා තිබූ අතර එයට ගිනි ඇවිලි පැතීරි යන්නට ඇති බවට සැක පළ කෙරේ.

මේ අතර බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ රඳවාගෙන සිටි මුදාගත් පිරිස අද පෙරවරුවේ යුද හමුදාවේ සහායෙන් ගල්පාත වෙනත් සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

මේ අතර ගින්නට හසුවු රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි අයගේ ඥාතීන් ද අද එම ස්ථානයට පැමිණ සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඒ අනුව රැඳවුම් මධ්‍යස්ථානයේ සිසිටීවි දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය පොලිස් භාරයට ගැනුණි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් එය පවත්වාගෙන ගිය පුද්ගලයා ජුනි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියම කළේය.

ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා 4ක් මුද්‍රා තබයි……

නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙකුට අයත් ගබඩා පරිශ්‍රයක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ.

ඊයේ (03) සිදුකළ මෙම වැටලීමේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් සිදුකර ඇති බවට සැක කෙරෙන අක්‍රමිකතා රැසක් අනාවරණය වීමත් සමඟ අදාළ ගබඩා හතරක් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ගබඩා මඟින් දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් සහ වෙළෙඳපොළ වෙත චීස්, බටර්, චොකලට්, කොකෝවා කුඩු, ටින් කළ පළතුරු හා එළවළු, පැස්ටා, මස් වර්ග සහ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැර ඇති බවය.

පිළිබඳ අධිකාරියේ  නිලධාරීන් පෙන්වා දෙන්නේ ගබඩා කර තිබූ බොහෝ නිෂ්පාදනවල ආනයනකරු පිළිබඳ තොරතුරු සඳහන් කර නොතිබූ බවය.

එමෙන්ම මුල් ඇසුරුම්වල තිබූ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ඉවත් කර වෙනත් ඇසුරුම්වලට භාණ්ඩ නැවත ඇසුරුම් කිරීමේ ක්‍රියාවලියක්ද සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මීට අමතරව, හෝටල් සහ වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර නිෂ්පාදන තොගයක් ද සොයාගෙන ඇති බව පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම තත්ත්වය පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ අවදානමක් එල්ල කළ හැකි බැවින්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන අවසන් වන තෙක් අදාළ ගබඩා මුද්‍රා තබා ඇති අතර, වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

සලේ ගැන අධිකරණයට කරුණු රැසක්…..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර, වාර්තාවක් කැඳවන ලෙස කෙරුණු ඉල්ලීමට අදාළ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (4) ප්‍රකාශ කළේය.

ඒ, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසම අද කැඳවූ අවස්ථාවේදීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙලෙස කැඳවනු ලැබීය.

එහිදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසම පිළිබඳ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසුවේ, පෙර නියෝගයකට අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී සහ අක්ෂි වෛද්‍ය ඇතුළු විශේෂඥයින් වෙත ඉදිරිපත් කර තිබූ බවය.

ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු, 

“වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ වෛද්‍යවරු කර තිබෙන නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නෑ. පෝෂණවේදී වෛද්‍යවරයා ඔහුට දිය යුතු ආහාර ලැයිස්තුවක් දීලා තිබෙනවා. විනාඩි 30ක් එළියට දාන්න කියලත් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර මානසික රෝගී තත්ත්වයක් තිබුණේ නෑ. ඔහු දැන් දැඩි මානසිකව පීඩනය සහ කාංසාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුවෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දිවි නසා ගැනීම වැනි ප්‍රවණතාවයකට යොමුවිමේ හැකියාව තිබෙන බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා. 

ස්වාමීනි… මේ සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයේදී සඳහන් කරලා තිබෙනවා ”මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක” කියලා. ඒවගේම ඔහු කියලා තියෙනවා… ”එතැන මීයන්ගෙන් කරදර තිබෙනවා. විදුලි පංකාවක් නෑ. සුදු පාට ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිල්ලා මට ඇඳුම් ඉවත් කරන්න කිව්වා.
ඊටපස්සේ සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂාවට ලක්කළා. මට අත් දිගු කරන්න කිව්වා. ඉතිරි දේවල් කියන්න ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. මට නෝට් බුක් එකක් දෙන්නෙ නෑ. විමර්ශන නිලධාරීන් හොඳට සලකනවා. ඒක මට සහනයක්.”

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදුකළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්,

“ස්වාමීනි… මේ සැකකරුව සෑම බදාදා දිනයකම ඔහුගේ නීතිඥවරු හමුවෙනවා. බිරිඳ සහ දරුවා මුණගැසෙනවා. ඉතින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ආකාරයට මේ සැකකරුට වධ හිංසා සිදුකරලා තිබුණා නම් ඔහු ඒ බව ඔවුන්ට ප්‍රකාශ නොකළේ ඇයි? මේක කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරිපත් කළ මෝසමක්. 

අද සුරේෂ් සලේගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ කැඳවනවා. ඒ නිසයි මේ මෝසම ඊයේ ඉදිරිපත් කළේ. ස්වාමීනි මේ මානසික වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. මේ සැකකාර සුරේෂ් සලේ මේ වෛද්‍ය පරීක්ෂණයට මුහුණදීලා තිබෙන්නේ හඬමින්. 

ස්වාමීනි මේගොල්ලෝ බුද්ධි අංශ නිලධාරීන්. එහෙම පුද්ගලයෙක් හඬයිද ස්වාමීනි? මොහු පතෝල කරලක් නෙවෙයි. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනේ. 

ස්වාමීනී…. මේ පුද්ගලයාට අව පීඩනය, කාංසාව වැනි රෝගී තත්ත්වයන් තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. මේවා සාමාන්‍යයෙන් අපරාධකරුවෙකුට තිබෙන රෝගී තත්ත්ව. මේක නිර්මාණය කරපු වෛද්‍ය වාර්තාවක්. ඔහුට කිසිම රෝගයක් නෑ. ඇතැම් අය මේ පුද්ගලයාව සියදවි නසාගැනීමේ තත්ත්වයට පත්කරන්න උත්සාහ කරනවා… අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.”

සියලු පාර්ශ්වවල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව යළි ලබන 10 වැනිදා කැඳවීමට නියෝග කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ UN නියෝජිතයන් අතර හමුවක්…..

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින දිගුකාලීන මානුෂීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා විය.

දිට්වා සුළිකුණාටුවෙන් පසුව රජය ගෙන යන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන පුනරුත්ථාපන කටයුතු සම්බන්ධව මෙන්ම, 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය ආවරණය වන පරිදි ප්‍රකාශයට පත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ (Humanitarian Priorities Plan – HPP) ඉදිරි කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් වන අසාම් බාකීර් මාකර් (Azam Bakeer Marker, වගීෂ පෙරේරා, TCMNRT Cooray යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.