දකුණේ හෝටල්හිමිකරුවෙකු ඝාතනයට ආ සැකකරු මාට්ටු…..

වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ අරමුණින් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ ඔහු භාවිතා කළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ අනවසර ඉදිකිරීම පිළිබඳ නඩුව කැඳවයි…..

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මේ පෙත්සම ඉදිරිපත් කළේය.

පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු සඳහන් කළේ, මෙම ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බවය.

ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ස්ථානයට යවා අදාළ ඉදිකිරීම පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඉන් ලැබෙන ප්‍රතිඵලයට අනුව සුදුසු තීන්දුවක් ගැනීමට පෙත්සම්කාර සහ වගඋත්තරකාර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ එකඟ වුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය එදිනට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්….

විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය අර්ජුන තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය, නීති නිලධාරී වෛද්‍ය චාමින්දිකා හේරත් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කර ඇත.

2026 ජනවාරි 20 වන දිනට පෙර සේවා ව්‍යවස්ථා කෙටුම්පත සකස්කර ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කමිටුවට උපදෙස් ලබා දී ඇත.

උපාධිය ගැන පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නාමල් කියයි…..

තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මඟින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වයක් තුළ සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහසවලට 21 වෙනිදා උත්තර ලැබේවි”

අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධි සහතිකය පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, එයට පිළිතුරු දීම ඔහුගේ වගකීමක් බවය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ දහවල් විවේක කාලයෙන් අනතුරුව මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් කටඋත්තර ගනු ලැබූවද අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවය.

“ආණ්ඩුව ෆේල් වෙන විට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ” යනුවෙන් ද  ඩීවී චානක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණය ඉල්ලයි….

අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද (19) නියම කර තිබේ.

මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අදාළ මෝසම මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ  අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන්ග ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවය.

ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ඉදිරිපත් කළ එම මෝසම වෙනුවෙන් නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කළේය.

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් – පැය 2න් ඇවිද්දීමට සලසන බව වෛද්‍යවරු කියයි….

මහනුවර රෝහලේ දණහිස් ශල්‍යකර්ම මාලාවක් පසුගිය 16 ‍වෙනිදා ආරම්භ වූ අතර එම ශල්‍යකර්ම මාලාව අද (19) දක්වා සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සියවස් ගණනාවක් පුරාවට පැවැත්වෙන බෞද්ධ සබඳතාව සහ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තානාපති සේවාව ආරම්භ වී වසර 70ක් සපිරීම නිමිති කරගනිමින් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකළ බව සඳහන්ය.

තායිලන්ත රජයේ දානමය ප්‍රදානයක් ලෙස සිදුවන මෙම ශල්‍යකර්මය සඳහා තායිලන්තයේ සිරිරාජ් රෝහල මූලිකව එරට ප්‍රධාන බෞද්ධ විහාරස්ථාන ත්‍රිත්වයක රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන හිමිවී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට රෝහලකදී දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මයක් සිදුකළහොත් එම රෝගියා ඇවිද්දවීම සඳහා දින කිහිපයක් ගතවූවද  ඉතා කෙටි කාලයත් තුළ සිදුකෙරෙන මෙම දණහිස් ප්‍රතිස්ථාපන ශල්‍යකර්මෙන් පැය 02කට පමණ පසු රෝගියාට ඇවිදීමට හැකිවීමයි.

මහනුවර ජාතික රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සහ තායිලන්ත සිරිරාජ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු 80ක රෝහල් කාර්ය මණ්ඩලයේ සහායෙන් මෙම ශල්‍යකර්ම මාලාව සිදුකරනු ලබයි.

21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා….

“මහා ජන හඬ” නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මහතාට ආරාධනා කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් මෙම ආරාධනය කළේය.

“මේ අණ්ඩුව උත්සහා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවලා ඒ අයට තවත් රැස්වීම් තියන්න. ඒ අයට තියෙනවා වගේම අපිටත් අයිතිය තියෙනවා රැස්වීම් තියන්න. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු සම්බන්ධයෙන් මතක් කරන්න අපිට අයිතියක් තියෙනවා.

විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ ප්‍රතිපත්තියක් නැති තමන්ට බලය ගන්න ඕනේ නම් ඕනේම කෙනෙක් එක්ක එකතුවෙන. දැන් මේ අය විරුද්ධ පාක්ෂිකයෝ හොරු හොරු කියලා කෑ ගහද්දි මේ අය රහසේ පාළාත් පාලන වල බලය ගන්න එදා හොරු වෙච්ච අය එක්ක එකතුවෙලා බලය පිහිටවනවා. අද වෙන විට ප්‍රසිද්ධියේ අයවැය එක එක පරාද වෙනවා. ඒ රහසේ බලය අරගෙන. මේ ආණ්ඩව බලය සඳහා නොකරන දෙයක් නෑ.  අපි දැක්කා ඊයේ සීතාවක වෙච්ච දේ. අර සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකුට සල්ලි දීලා. බලය පිහිටව්වා. දිලිත් ජයවීර මහත්තයා වමේ කෙනෙක්. එතුමාටත් කියනවා මේ කල් මැරුවා ඇති. මේ ආණ්ඩුව නොකරන දෙයක් නෑ. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් හොඳටම ඉඩ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම නායකයින්ට අපි ආරාධනා කරනවා තවත් දින දෙකක් තියෙනවා. “

රට රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට….

කැනඩාවේ ගොවිපොලවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් කැනඩාවේ  රැකියා ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 13 බැගින් මුදල් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මත  ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් වරකාපොල, අඹගලකන්ද ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී  ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදීමට රු.75,000 බැගින් ලබාගත් ගිවිසුම් 3ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 17ක මුදලක් වංචාකළ කාන්තාවක්ද පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකාරිය කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකු ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර, රැකියාව ලබා නොදීම හේතුවෙන් ඔහු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

එම කාන්තාව කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක මහජන සම්බන්ධතා නිළධාරිනියක වශයෙන් සේවය කරන තැනැත්තියක් වන අතර,අදාල පැමිණිල්ල මත සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඇය නිළධාරීන් මග හැර සැඟව සිට ඇති බව සඳහන්වේ.

පසුව අදාල සැකකාරිය සේවය කරන පුද්ගලික රෝහලේ සිටින බවට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානයේදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාල කාන්තාව මෙම මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

TNA මන්ත්‍රීවරු ජනපති හමුවෙයි…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(19) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විශේෂ සාකච්ඡාව  පැවැති බව සඳහන්වේ.

මෙහිදී පළාත් සභා මැතිවරණය සහ උතුරු නැගෙනහිර ‍ප්‍රදේශවල  පැන නැගී ඇති අර්බුධ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ  ඇති වී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිගේ අවධානයට යොමුකළ මන්ත්‍රීවරු එය වැළැක්වීම සඳහා ජාතීන් අතර සංහිඳියාව තහවුරු කිරීම පිළිබඳවඳ  ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය නිල  Facebook පිටුවේ සටහනක් තබා තිබුණි.

එය පහතින් දැක්වේ.

දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ හමුවකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ එක්වීමි.

පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් මම පෙන්වා දුන්නෙමි.

උතුරු සහ නැගෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසදුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නෙමි.

එමෙන්ම, රට තුළ ජාතිවාදී අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද මම අවධාරණය කළෙමි.

පනත් කෙටුම්පත් දෙකකට COPF සභාවේ අනුමැතිය…..

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන 4ක් එකතු වන බවය.

පසුව මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

එසේම ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම සිදු වන අතර මේ මගින් දළ එකතුව මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා පනවා ඇති කැසිනෝ ඇතුළුවීමේ බද්ද එක්සත් ජනපද ඩොලර් 50ක සිට 100 දක්වා ඉහළ නැංවීම සිදු වනු ඇත.

මේ අනුව මේ පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ අනුමතිය හිමි විය.

තවද 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු ගෙවීමේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීම සිදු වේ.

මීට අමතරව (52 වන අධිකාරිය වූ) සුරාබදු ආඥා පනතේ 25 වන වගන්තිය සමග කියවිය යුතු 32වන වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පවනා ඇති රීති සම්බන්ධයෙන්ද කාරක සභාව සලකා බලන ලද අතර කෙසේ වුවද ඒ සඳහා කරක සභාවේ අනුමතිය හිමි නොවීය.

කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳ සුදුසු විශ්ලේෂණයක් කාරක සභාවට ලබාදෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරියේදී මෙය සලකා බලීම සිදු කරනු ලබන බවත්ය.