වැසි ජලයෙන් පමණක් ජීවත් වෙන නවමිණිපුර ජනතාවගේ කඳුළු කතාව…..

වසර නවයක් පුරා පානීය ජලය ඇතුළු සිය ජල අවශ්‍යතා වැසි ජලයෙන් සපුරාගන්නා ගම්මානයක් පිළිබඳ අද දෙරණට වාර්තා වී තිබේ.

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයට 2017 වසරේදී බලපෑ මහ ගංවතුරින් සහ නායයාම්වලින් නිවාස සහ දේපල විනාශ වූ ජනතාව පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත පැල්මඩුල්ල නව මිණිපුර ගම්මානයේ පදිංචි කරවා ඇත.

ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් තුනක පවුල් හැටක ප්‍රමාණයකට නව මිණිපුර ගම්මානයේ ඉඩම් ලබා දී ඇත්තේ නිවාස තනා ගැනීම සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂ දහසයක මුදලක් ලබාදෙන බව පවසමිනි.

එම මුදල වාරික වශයෙන් එක් එක් පවුල් සඳහා විවිධ ප්‍රමාණයන්ගෙන් ලැබී ඇති අතර ලැබුණු මුදල අනුව ගම්වැසියන් සිය නිවාස ඉදිකරගෙන තිබේ.

කෙසේවෙතත් ලැබුණු එම මුදල ප්‍රමාණවත් නොවීම මත අඩක් නිම කළ මෙම නිවාස තුළ ගම්වැසියන් ගත කරන්නේ ඉතා දුක්ඛිත ජීවිතයකි.

සියලු යටිතල පහසුකම් සහිතව යහපත් ජීවිතයක් ගත කළ මෙම ගම්වාසීන්ට අද වනවිට සිය පරිභෝජන කටයුතු සඳහා වැසි ජලය රැස්කර ගැනීමට සිදුව ඇත.

වසර නවයක් පුරා ගම්මානයට නිසි මාර්ග පද්ධතියක්, ජලනල පද්ධතියක් වැනි මූලික පහසුකම් හෝ නොමැතිව අති දුෂ්කර ජීවිතයක් ගත කරන මෙම ජනතාව අදාළ බලධාරීන්ගේ අවධානය තම ගැටලු වෙත කඩිනමින් යොමුවෙතැයි බලාපොරොත්තු පිරි දෑසින් බලා සිටී.

රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්….

එළඹෙන මහ කන්නය දක්වා රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවය.

එමෙන්ම ප්‍රමාණවත් පරිදි ආදේශක සහල් තොග ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින මැද පෙරදිග යුද්ධය හේතුවෙන් රටේ බලශක්ති අර්බුදයක් ඇතිව තිබෙන බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය.

තවදුරටත් යුද ගැටුම් ඇති වුව ද අපනයන ආදායම හා සංචාරක ව්‍යාපාරය දියුණුකරමින් ඩොලරය ඉහළ යාම මගින් රටේ ආර්ථිකය කඩා වැටීමට වත්මන් රජය ඉඩ නොතබන බව ද ඒ මහතා අවධාරණය කළේය.

පසුගිය මහ සහ යල කන්නය සඳහා පොහොර ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කළා මෙන් ලබන මහ කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට ද මේ වන විට රජය කටයුතු කරමින් සිටි බවත් පොහොර සහනාධාරය, රුපියල් තිස්දහස දක්වා වැඩිකර ඇති බවද අමාත්‍යවරයා කීය.

රටේ කීරි සම්භා හිඟය හේතුවෙන් ඇතිවූ මිල ඉහළයාම පාලනය කිරීමට මේ වසරේදී ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට කටයුතු කළ අතර ගොවියා සහ පාරිභෝගිකය ආරක්ෂා කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 50කින් ඉහළට……

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නය ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම 50%-55%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම මෙම වසරේ ඩෙංගු රෝගීන් පසුගිය ජුනි 5 වන දින වනවිට 36,168ක් වාර්තා වී ඇති බවත් ඉන් 50%ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද සඳහන් කළේය.

බස්නාහිර පළාතට අමතරව දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, සබරගමු පළාතේ රත්නපුර, කෑගල්ල, පුත්තලම දිස්ත්‍රික්කයේ සහ මධයම පළාතේ නුවර දිස්ත්‍රික්කය තුළද වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා පැවසීය.

ඩෙංගු රෝගීන් වැඩිවීම සඳහා ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇතිවූ වැසිබර කාලගුණයද හේතුවක් වී ඇති බව පෙන්වා දෙන වෛද්‍යවරයා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසු විශාල වශයෙන් කසල එකතු වීම හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන නිර්මාණය වී ඇති බවත් සඳහන් කළේය.

ෆේස්බුක් සාදයක් වටලා 28ක් අත්අඩංගුවට…..

අම්බලන්ගොඩ, පෝනදූව ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 25දෙනෙකු හා සැකකාරියන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හා අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී කොකේන් මිලිග්‍රෑම් 225ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 125ක්, ගංජා ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 400ක් හා නීති විරෝධී සිගරට් ද සොයා ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 44 අතර වයස්වල පසුවන බටපොල, ඌරගස්ම හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මීගොඩ දන්සල් අනතුරේ අවසන් සැකකරුත් රිමාන්ඩ්……

මීගොඩ මංසන්දිය ආසන්නයේ දී රියඅනතුරක් සිදුකරමින් පුද්ගලයින් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ කැබ් රථයේ අවසන් සැකකරු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩ බලන මහෙස්ත්‍රාත් තරිදු ගමගේ මහතා අද (07)  නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දොන් සරත් හෙට්ටිගේ නැමැත්තෙකි.

රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා මීගොඩ පොලීසිය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, අනතුරින් දින 6කට පසු ඔවුන් දෙදෙනා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසුවය.

වෙසක් පොහොය නිමිත්තෙන් මීගොඩ හන්දිය ආසන්නයේ පැවති රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩාවැදුණේ පසුගිය මැයි 31 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීය.

අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකුට දිවි අහිමි වී තවත් 7 දෙනෙකුට තුවාල සිදුවිය.

මෙලෙස මරණයට පත්වූයේ එම දන්සලේ පෝලිමේ සිටි 35 හැවිරිදි නවීෂා නිලක්ෂි , 38 හැවිරිදි ලසිත ප්‍රියංකර, 56 හැවිරිදි පී.බී. ඉන්ද්‍රාණි , 15 හැවිරිදි මලීෂා සත්සරණි ඇතුළුව 38 හැවිරිදි නිෂාන් ප්‍රියංකර සහ 35 හැවිරිදි ඉෂාන් ප්‍රියංකර යන සහෝදරයින් දෙපළය.

අනතුරින් පසු පලාගිය සැකකාර රියදුරු ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී අල්ලාගැනීමට පොලිසිය සමත්විය.

ඒ වනවිට අධික ලෙස බීමත්ව සිටි බව කියන සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්ය.

මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10ක් යටතේ ඔහු එදිනම හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය, අනතුර සිදුකළ රියදුරු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සිටි බවටත්, අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවටත් පොලීසියට තොරතුරු අනාවරණ වී තිබුණි.

ඒ අනුව පලාගිය පිරිස දින ගණනක් පොලීසියෙන් සැඟව සිටීම නිසා ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් සොයාගැනීමට පොලිසිය ඊයේ මහජන සහාය ද ඉල්ලා සිටියේය.

ඊට අනුව කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස පොලිසිය හඳුනාගෙන තිබුණේ පිළියන්දල, සිද්ධමුල්ලේ පදිංචි අත්තනායකගේ දොන් වසන්ත නැමැත්තෙක්ය.

මීට අමතරව පැලැන්වත්තේ පදිංචි එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් සහ පන්නිපිටියේම පදිංචි දොන් සරත් හෙට්ටිගේ යන අය පිළිබඳ තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රියදුරුට අමතරව රථයේ අයිතිකරු සහ අනෙක් පුද්ගලයින් දෙදෙනා අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ සිටි අතර පසුව ඔවුන් රථයෙන් බැස පලාගොස් තිබුණි.

මෙවන් පසුබිමක මීගොඩ දන්සල් පෝලිමේ අනතුරට සම්බන්ධ සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙක් ඊයේ පෙරවරුවේ නීතිඥවරයෙක් මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූ අතර දොන් සරත් හෙට්ටිගේ නම් අනෙක් සැකකරු ද ඊයේ  පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සියලුම සැකකරුන්  ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනා සෝ සුසුම්මැද අවසන් ගමනේ…..

නාවලපිටිය, පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා කිලෝ මීටර් 6ක් දුරින් තවත් දිරාපත් වූ  කඩා වැටීමේ අවදානම් සහිත විශාල ගස් ඇති බව ඉඩම් හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ පසුගිය 04 වන දින නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ජීවිත තුනක් අහිමිවීමත් සමඟය.

මෙම තත්ත්වය තුළ පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා මාර්ගය දෙපස කිලෝමීටර් 6ක් දුරට දිරාපත් වූ කඩා වැටීමේ අවදානමක් සහිත නුග, කොස්, යුකැලිප්ටිස් ඇතුළු දැව ගස් ගණනාවක් පිළිබඳව මේ වනවිට ගම්මුන් බියට පත්ව සිටී.

එම අවදානම් සහිත ගස් කපා ඉවත් කරන ලෙසට ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා හරහා පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍ය ජයසුන්දර මහත්මිය දැනුවත් කර ඇතත්, එයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව ඉඩම් හිමියන් පවසයි.

මේ අතර, මේ සම්බන්ධයෙන් පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සිදුකළ විමසුමකට ඇය පවසා ඇත්තේ, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිර්දේශ සහිතව කපා ඉවත් කළ යුතු ගස් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට තමන් ගම්පොළ ඇත්ගාල දැව සංස්ථාව වෙත ලිඛිතව උපදෙස් ලබා දී ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඇත්ගාල දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමණාකාර අබේරත්න මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ, තමන් දැන් රැස්වීමක සිටින බවත්, එවැනි ඉල්ලීමක් කර ඇත්ද යන්න පිළිබඳව ලිපිගොනුව පරීක්ෂා කර බලා පිළිතුරක් ලබා දෙන බවය.

පසුගිය දා නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විණි.

අනතුරින් පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් මෙම අනතුරින් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුරින් මියගිය පාසල් සිසුවා සහ ඇගේ මවගේත් අසල්වාසී කාන්තාවගේත් අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ නාවලපිටිය ගලබොඩ වතුයායේ පොදු සුසාන භූමියේදි සිදුකෙරිණි.

සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි…..

රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සඵලදායී කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.

මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් තොරතුරු පද්ධති භාවිතා කළද, මෙම නව පද්ධතිය හරහා ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු එකම ජාලයකට ගොනු කෙරේ.

එහි පළමු අදියර යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය හරහා සිදු කිරීමට නියමිත අතර, ඉදිරියේදී එය මුළු දිවයිනටම සහ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

මේ හරහා ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු සහ උසස් වීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ රජයේ සේවාවන් වඩාත් විනිවිදභාවයකින් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වන බවය.

කෙසේ වෙතත්, ඩිජිටල්කරණය යනු ගුරුවරයා වෙනුවට කරන ආදේශකයක් නොවන බවත්, එය ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් ඉහළ නංවන මෙවලමක් පමණක් වන බවත් ඇය පැවසුවාය.

“ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හරහා සිසුන්ගේ ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මේ ඔස්සේ පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන බව ඇය සඳහන් කළාය.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් අධ්‍යාපන බලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ සහයෝගයෙන් නිම කර ඇත.

හොරණ බැංකු කොල්ලයේ රහස් එළියට…..

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා අද (7) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බවටය.

ඔහු එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවද අනාවරණවී තිබේ.

තවද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවය.

ඔහු බැංකුවෙන් නියම කරනලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍රවලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

එම බැංකුව දීර්ඝ කාලයකින් භෞතිකව මූල්‍ය විගණනයක් සිදුකර නොමැති වීමෙන් මෙම වංචාව අනාවරණවීමක් සිදුව නොමැත.

මේ අතර අදාළ සහකාර කළමනාකාරවරයාද විවිධ පුද්ගලයන්ට පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති අතර, ඔහු සමීප සබඳතා පවත්වන නිරූපන ශිල්පිනියන්ද ඇතුළු ළාබාල තරුණියන් කිහිපදෙනෙකුට විශාල වශයෙන් මුදල් වියදම්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

මෙම රාජ්‍ය බැංකුවේ බාහිර පාර්ශවයක් මුදල් කොල්ලයක් සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලට අනුව කිසිදු අයුරකින් අනාවරණවී නොමැත.

එය සැකකාර සහකාර කළමනාකරු, ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.ඩබ්.සී.ධර්මරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්……

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා යොදවා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා මේ දක්වා පසුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

රැඳවුම් භාරයේ පසුවන අතරතුර තමන්ට අමානුෂික වදහිංසා පමුණුවන බවට චෝදනා කරමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතව සිටියේය.

ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්……

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම  ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය  තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී තිබේ.

ඒ අනුව, තිරසර සංවර්ධන රාමුව තුළ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටි.

මෙකී වැඩපිළිවෙළට අනුකූලව 2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය  යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිමද මෙහිදී සිදු කෙරිණි.

“සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය,  “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිසරික පර්යේෂකයින් සමග සමූහ ඡායාරූපයකටද එක් විය.