ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි……

වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් සිටින බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අතර මෙම සැකකරුවන් සහ සැකකාරියන් ඇතුළු 30දෙනාද සිට තිබේ.

කෙසේ නමුත් ඔවුන් අධිකරණ නියෝග මත වැලිසර අතරමැදි කඳවුරේ රඳවා සිටියදී පලාගොස් සිටියදී මෙලෙස යළි අත්අඩංගුවට පත්ව ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් ලක්ෂ 15ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරමේ නිරතව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය ඇත

භාෂා පරිවර්තයකු යොදා සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී මීට දින කිහිපයකට ඉහතදී මෙම ස්ථානයට පැමිණි බවට තොරතුරු හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් කිසිදු විදෙස් ජාතිකයෙකුට වීසා හෝ ගුවන්ගමන් බලපත්‍ර නොතිබූ බව පොලිසිය පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කපිල චන්ද්‍රෙස්නට ඇප දෙන්න ආ ව්‍යාජ ඥාතීන් දෙදෙනා රිමාන්ඩ්……

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ඔහුගේ ඥාතීන් ලෙස පෙනීසිටි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඇප කොන්දේසිවලට අනුව කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඥාතීන් තිදෙනෙකු විසින් ශරීර ඇප ලබාදිය යුතු වූ අතර,ඒ අනුව ඥාතීන් ලෙස පෙනීසිටීම සඳහා සැකකරුවන් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් කපිල චන්ද්‍රෙස්න මහතා යළි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම  ඉකුත් 5වැනිදා  නියෝග කළේය.

ඒ අනුව ඊයේ අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට පැමිණ තිබුණි.

ඉන් ඇපකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැකයක්  ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි.

එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ තමන් කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත්, රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ බවය.

සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

එමෙන්ම ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

මේ අතර ඇප මත මුදාහැර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

ඒ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම සිදුකල ඉල්ලීමක් සලකා බලමින්ය.

වියට්නාම් ජනපති හෙට මෙරට පාර්ලිමේන්තුව අමතයි……

සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් හෙට (08) මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ කතාවක් සිදු කිරීමට නියමිතව තිබේ.

පෙරවරු 11.05ට පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයාව පිළිගනු ලබන්නේ,  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසිනි.

ඉන් අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය දම්මික පටබැඳි  සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහභාගි වනු ඇත.

මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තැබීමට ද නියමිතය.

අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන්ගෙන පෙරවරු 11.40ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ලබයි.

ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වියට්නාම් ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම යනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සලේගේ රිට් පෙත්සමට අද ලැබුණු තීරණය……

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ කොමිෂන් සභා සහ කමිටුවල කිසිදු විමර්ශනයකදී ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවය.

සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බැවින් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පැවසීය.

විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවද සඳහන් කළේය.

අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහළට දුෂිත බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.

සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන්  දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහාරශී හේරත් මහත්මිය සඳහන් කළේ පැරණි ගොඩනැගිල්ලක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවය.

කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීමක් අවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුනි.

වැඩිදුර කරුණු දක්වීම් ජුනි 04 වැනිදා දක්වා කල්තැබුණි.

අස්වැසුම දෙවරක් ගෙවීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ දැඩි විවේචනයට……

අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ‍ෆ්‍රී ලෝයර්ස්  සංවිධානය පවසයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේක වශයෙන් ගෙවා තිබීම ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් හෙළිදරව් කරන බවය.

එම නිවේදනයට අනුව පුද්ගලයින් 49,759 දෙනෙකු වෙත අදාළ ගෙවීම් සිදුකර ඇති අතර, මෙතෙක් නැවත අයකර ගැනීමට නොහැකි වී ඇත්තේ එම මුදල පමණක් බවද එහි දැක්වේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින සියලු පාලන හා තුලන ක්‍රමවේදයන්ට පිටතින් මෙම මුදල් ජනතාව අතට පත්වීම බරපතළ කරුණක් බව පෙන්වා දෙන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය මේ වන විට මූල්‍ය විනයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇති බවටද චෝදනා කරයි.

මෙවැනි මුදල් හුවමාරු අනාගතයේදී රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධ අපරාධ, දූෂණ හෝ වංචා චෝදනා යටතේ විමර්ශනය කළ හැකි ගනුදෙනු බවද එම සංවිධානය පෙන්වා දෙයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් අදාළ මුදල මැයි මස වාරිකයෙන් නැවත අයකර ගැනීමට කටයුතු කළහොත්, රටේ අන්ත දිළිඳු පවුල්වල පෝෂණ සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතපසුවීම් හේතුවෙන් රටේ අන්ත දිළිඳු ජනතාව වන්දි ගෙවිය යුතු නොවන බව අවධාරණය කරන ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, මහා භාණ්ඩාගාරය පළපුරුදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනය යටතට පත් කළ යුතු බවද සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරදකාරී ගනුදෙනු සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් ජනතා බදු මුදල් අහිමිවීම තවදුරටත් සිදුවිය හැකි බවද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවත් මියන්මාරය මෙන් සයිබර් අපරාධවල තෝතැන්නක් වෙයිද?

මියන්මාරය මෙන් ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් සිටින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙරට තදාසන්න ප්‍රදේශවල පහසුවෙන් විශාල පිරිසකට නවාතැන් ස්ථාන සොයාගත හැකිවීම, පහසුවෙන් වීසා ලබාගැනීමට හැකිවීම, ඊට නිසි තක්සේරුවක් කිරීමේ ක්‍රමවේදයක් නොපැවතීම, ආගමන විගමන නීති ලිහිල්වීම, වේගවත් අන්තර්ජාල සබඳතා පැවැතීම හා යටිතල පහසුකම් පහසුමිලට සපයාගත හැකිවීම ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට තෝතැන්නක් වීමට ඉවහල් වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

සයිබර් අපරාධකරුවන් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් විදෙස් රටවල පුද්ගලයන් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සබඳතා ගොඩනගාගෙන, ඒ හරහා මුදල් ඩැහැගැනීම මෙන්ම ආයෝජන අවස්ථා පිළබඳ සාවද්‍ය තොරතුරු පෙන්වා මුදල් ලබාගෙන මඟහැරයාම් සිදු කරන බව පරිගණන අපරාධ විමර්ශන අංශය පෙන්වා දී සිටී.

මේ අතර මෙලෙස මෙරට තුළ සිට සයිබර් අපරාධකරුවන් ක්‍රියාත්මකවීම, ලෝකයේ සෙසු රටවල් ලංකාව කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතුවක් වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි.

ඒ අනුව පොලීසිය මහජනතාවට දැනුම්දී සිටින්නේ චීන, තායිවාන, වියට්නාමය වැනි රටවල පිරිස් විශාල වශයෙන් එක් ස්ථානයක සැකකටයුතු ලෙස රැඳී සිටින්නේ නම්, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම්දෙන ලෙසය.

මෙරට තුළ සයිබර් අපරාධවල නිරතවූ විදෙස් ජාතිකයන් රැසක් පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

PayPal ළඟදීම ශ්‍රී ලංකාවටත්?

PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්ට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ නිදහස් වෘත්තිකයන්ට නව අවස්ථා රැසක් විවෘත කරන ඓතිහාසික පියවරක් වනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව, ගෝලීය වෙළෙඳපොළ තුළ සේවාවන් සපයන ශ්‍රී ලාංකීය Freelancers හට තම ආදායම සෘජුව, සුරක්ෂිතව සහ පහසුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට පවතින බාධා ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, තොරතුරු තාක්ෂණ අපනයන ක්ෂේත්‍රය හරහා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට ද මෙය සෘජු දායකත්වයක් ලබාදෙනු ඇතැයි සඳහන්ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන සහ සේවාවන් ලොව ඕනෑම රටක පාරිභෝගිකයන් වෙත පහසුවෙන් අලෙවි කිරීමට අවස්ථාව සැලසීමද මෙම වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අරමුණකි.

මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත ගනුදෙනු ප්‍රචලිත කිරීම සහ මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් දිරිමත් කිරීම සඳහාද මෙම පියවර වැදගත් වනු ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

සිය දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්…..

තම අනියම් සැමියා විසින් සිය දියණිය අපයෝජනයට ලක් කිරීම වසන් කිරීම ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මවක් ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අතුරුදන්ව ඇති බව සඳහන්ය.

පදවිය පොලිස් බලප්‍රදේශයේ මවකගේ අනියම් සැමියා විසින් මෙම දියණිය දූෂණයට ලක්ව ඇති බව තොරතුරු අනාවරණය වීමත් සමඟ පදවිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් පොලීසියට ද දන්වා එකී වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයට ලක් කර මෙය තහවුරු කර ඇත.

ඒ අනුව සැකකාර තිදරු පියෙකු විසින් මෙම අපරාධය සිදු කොට ඇති බවත් ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව පදවිය පොලීසිය පැවසීය.

මේ සම්බන්ධව ඥාතීන් මෙන්ම ගම්වාසීන් ද පොලීසියට තොරතුරු ලබා දී තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු ද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අංශ කිහිපයකින් ගෙන ඇති බව සඳහන් වේ.

තම දියණියට සිදු වූ අපරාධය වසන් කරමින් ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එකී මව පදවිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඊයේ (05) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 දක්වා එකී සැකකාර මව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වින්දිත දැරිය අනුරාධපුර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසු පදවිය පොලිස් භාරයට ගෙන තිබේ.

දියණියගේ ආරක්ෂාව සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ද පොලීසිය පැවසීය.

අස්වැසුමත් දෙපාරක් ගෙවලා ? පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් කරන්නැයි ඉල්ලීමක්…..

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රු. ලක්ෂ 5,000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුවු බවට තොරතුරු වාර්තා වන බව Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසය.

කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් Free Lawyers  සංවිධානය සඳහන් කර ඇත්තේ,
සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයක්, දුෂණයක්, වංචාවක් බවද අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇති අතර, 148 ව්‍යවස්ථාව යටතේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වෙතින් පහත ප්‍රශ්න සඳහා වහා පිළිතුරු සොයා ගත යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කර සිටී.

1.අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18 ක ට ආසන්න ප්‍රමාණයෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක්/ද්විත්ව ගෙවීම් ලැබී තිබේ ද?

2.කෑගල්ල, මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ ද?

3. දෙවරක් මුදල් (Double Payment) නියමිත ප්‍රමාණයවට වැඩි මුදලක් (Additional Payment/Extra Payment) ගෙවනු ලැබ ඇති මුලු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණ ද?

4.අස්වැසුම් ලාභීන් වෙත නියමිත ප්‍රමාණයවට වැඩිව කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණ ද?

5.සුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය/කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?

6.සුභසාධක මණ්ඩලයේ මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනියුක්ත කර ඇති නිලධාරීයා/නිලධාරීන්/කොමසාරිවරයා කවුද?

7.දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය/අයථා පරිහණය/දුෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?

8.මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මු.රෙ. 135 යටතේ මුල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද?  එසේ බලතල පැවරූ නිලධාරියා/බල අධිකාරිය කවුද?

9.භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුණාගෙන තිබේ ද?

10. එසේ නොවේ නම් මෙය තවත් මෙයත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?

කථානායකවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

1778045686-1

රන් මිල ඉහළට……

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන 8.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම, ඊයේ දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.