හොරණ බැංකු කොල්ලයේ රහස් එළියට…..

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින එම බැංකුවේ සහකාර කළමනාකාරවරයා අද (7) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර, එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බවටය.

ඔහු එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවද අනාවරණවී තිබේ.

තවද විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවය.

ඔහු බැංකුවෙන් නියම කරනලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍රවලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

එම බැංකුව දීර්ඝ කාලයකින් භෞතිකව මූල්‍ය විගණනයක් සිදුකර නොමැති වීමෙන් මෙම වංචාව අනාවරණවීමක් සිදුව නොමැත.

මේ අතර අදාළ සහකාර කළමනාකාරවරයාද විවිධ පුද්ගලයන්ට පොලියට මුදල් ලබාදීමද සිදුකර ඇති අතර, ඔහු සමීප සබඳතා පවත්වන නිරූපන ශිල්පිනියන්ද ඇතුළු ළාබාල තරුණියන් කිහිපදෙනෙකුට විශාල වශයෙන් මුදල් වියදම්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

මෙම රාජ්‍ය බැංකුවේ බාහිර පාර්ශවයක් මුදල් කොල්ලයක් සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලට අනුව කිසිදු අයුරකින් අනාවරණවී නොමැත.

එය සැකකාර සහකාර කළමනාකරු, ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බවට පොලිසිය සැක පළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.ඩබ්.සී.ධර්මරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්……

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සුරේෂ් සලේ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) කණ්ඩායම් කිහිපයක් රෝහල තුළ සහ ඒ අවට ප්‍රදේශයේ විශේෂ රාජකාරී සඳහා යොදවා තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා මේ දක්වා පසුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.

රැඳවුම් භාරයේ පසුවන අතරතුර තමන්ට අමානුෂික වදහිංසා පමුණුවන බවට චෝදනා කරමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක නිරතව සිටියේය.

ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්……

2026 ජගත් පරිසර දින ජාතික සැමරුම  ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය  තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී තිබේ.

ඒ අනුව, තිරසර සංවර්ධන රාමුව තුළ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටි.

මෙකී වැඩපිළිවෙළට අනුකූලව 2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය  යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිමද මෙහිදී සිදු කෙරිණි.

“සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය,  “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිසරික පර්යේෂකයින් සමග සමූහ ඡායාරූපයකටද එක් විය.

ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ඉන්නවා – දිලිත්ගෙන් චෝදනා…..

ඉතිහාසයේ නොවී විරූ අන්දමින් වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවත කරමින් සිටින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා අද (05) පස්වරුවේ, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් කොළඹ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී හමුවිය.

එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“මේජර් ජනරල් සුරේෂ් සලේ මෙරට ත්‍රස්තවාදය අවසන් කරන්න කටයුතු කරපු තීරණාත්මක චරිතයක්. මෙතුමාට පළමුව හිමිවෙන්නට ඕනේ අන්න ඒ අපේ තිබෙන සෙනෙහස. ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල වෙනවා නම් ලංකාවේ හැම පුරවැසියෙකුටම අයිති නිර්දේශී භාවයේ පූර්ව නිගමනය ඔහුට බලපාන්නට ඕනේ.

මේ ආණ්ඩුව බලයට එන්න කලින් PTA එක පාවිච්චි කරන්නේ නෑ කියලා තමයි බලයට ආවේ. ඔවුනුත් පෙන්වා දුන්නු කාරණයක් තමයි මේක අවභාවිත කරන්න පුළුවන් නීතියක්. හැබැයි ඉතිහාසයේවත් මෙසේ අවභාවිත කරලා තිබුණේ නෑ. මේක තමයි බරපතළම අවභාවිතය රඳවා ගැනීමේ නියෝග මත තබා ගැනීම. අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයක් හැටියට ජාතික මට්ටමේ විරෝධතාවයක් ගෙන එන්නට මොකද මේක මෙතනින් එහාට යන්න දෙන්නට බැහැ.”

මෙරට නිල සංචිත මැයි මාසයේදී සියයට 1.6කින් ඉහළට…..

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනුයේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බවය.

මෙම සංචිත ප්‍රමාණය ඉහළ යාම සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි සංචිත ද ඇතුළත් වන බවද මහ බැංකුව සඳහන් කළේය.

රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි……

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුව ඇත්තේ මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් බවය.

එමෙන්ම මෙම තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් කම්පනයක් ඇතිවී ඇති බව සැබෑව. ඒ කම්පනයට ගන්න ඕන ක්‍රියාමාර්ග, නිසි පරිදි ප්‍රතිපත්තිමය තීන්දු අපි ගනිමින් ඉන්නවා. මේක ඇතුළේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ. කෙසේ වෙතත්, එකවර මෙවැනි කම්පනයක් ඇතිවෙනකොට හා වෙළඳපොළේ අර සමපේක්ෂණ චේතනාවක්, බියක් හදපුවාම ඉල්ලුම සැපයුම එකවරම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පුංචි ඉහළ පහළ යාම් තියෙන්න පුළුවන්. ඩොලරයේ රුපියල් 350 ඉක්මවලා ගිය අනුපාතිකය ක්‍රමිකව 330ට වගේ ආවා ඒ ක්‍රියාමාර්ගත් එක්ක.. ආයෙත් පහුගිය දවස් දෙක ඇතුළත නැවතත් පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වෙනවා. මේ සඳහා කිසිදු ආකාරයකට කලබල ඇති කරගන්න එපා. මෙය වෙළඳපොළේ ඇතිවෙච්ච යම් සුවිශේෂී තත්ත්වයක් මිසක්, කිසිදු ආකාරයක ආර්ථිකයේ බිඳවැටීමක්වත්, බාහිර අංශයේ ගැටලුකාරී තත්ත්වයක්වත් නෙමෙයි.”

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් ද ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

“අමෙරිකා එක්සත් ජනපදය මෑතකදී ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරා වාර්තාවක්, ශ්‍රී ලංකාවත් ඇතුළුව විශේෂයෙන් රටවල් 60කට ඒගොල්ලන්ගේ මූලික ඉන්වෙස්ටිගේෂන්ස් (investigations) වලදි පේනවා, ඒ සැපයුම් ජාලයට සම්බන්ධ වෙන රටවල්වලින් බලහත්කාරයෙන්, ඒ කියන්නේ ෆෝස්ඩ් ලේබර් (forced labor) තියෙනවාය කියන මූලික තොරතුරු මත ඒ පරීක්ෂණ අවසාන වෙනකන් යෝජනා කරලා තියෙනවා සීයට 12.5ක්. නමුත් ඒ කාලපරිච්ඡේදය ඇතුළේ අපිට පුළුවන් වෙන්නට ඕනේ අපි ඒ සැපයුම් ජාලය ඇතුළට ෆෝස්ඩ් ලේබර් (forced labor) තියෙන ඒවා ගෙනෙන්නේ නැහැ, ඒ ගෙනෙනවා නම් අපේ නීතිරීති පද්ධතිය ඇතුළේ කොහොමද ඒක වළක්වා ගන්නේ, ඒ පිළිබඳ සාකච්ඡාව තියෙනවා. විශේෂයෙන්ම අපි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මේ සඳහා පත් කරලා තියෙනවා. ඒ කමිටුවට අදාළ කැබිනට් අනුමැතිය ලබා දීලා අපි සාකච්ඡා වෙමින් තිබෙනවා. ගිය සිකුරාදාත් මේ රැස්වීම පැවැත්වුවා. ලබන සඳුදා සහ අඟහරුවාදත් ඉදිරියටත් මේ සාකච්ඡා පවත්වමින් තියෙනවා. එතකොට අපිට තියෙන තොරතුරු මත අපේ නීතිරීති පද්ධතියත් ඒ ක්‍රියාමාර්ග ඇතුළෙත් දැඩි විශ්වාසයක් තියෙනවා.. අපි නිසි ක්‍රමවේදය අනුගමනය කරනවා. අපේ සැපයුම් ජාලයට කිසිදු ආකාරයකට මේ බලහත්කාර ශ්‍රමය එන්න දෙන්නේ නැහැ, එන්නේ නැති විදිහට කටයුතු කරනවා. ඒ තොරතුරු අපි ඇමරිකා එක්සත් ජනපදයේ අදාළ පරීක්ෂණ කරන කණ්ඩායම්වලට ලබාදීමෙන් මේක ඉවත් කරගන්න පුළුවන් වෙයි.”

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි……

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා – අගමැති…..

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය වන බැවින් එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එමෙන්ම සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර වයඹ පෙරපාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා වූ පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි.

එමෙන්ම මෙහි පැමිණ සිටි ආරාධිතයින් විසින් පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා වූ රජයේ ස්ථාවරය පිළිබඳව නව ඩිප්ලෝමාධාරිනියන් දැනුවත් කිරීමට කටයුතු කළේය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”ඉදිරි අවුරුදු කිහිපය තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන කොමිසම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනයන් සමඟ එක්ව ඒ පිළිබඳ ප්‍රතිපත්ති, ගුරු පුහුණුවට අවශ්‍ය නිර්ණායක සහ ඒවා අධීක්ෂණය කිරීමට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කිරීම සඳහා අප වැඩකටයුතු සකස් කරමින් සිටිනවා. මෙම වසරේදී පෙරපාසල් ගුරු පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා. ඒ හරහා 2027 වන විට අප බලාපොරොත්තු වෙනවා එකම විෂය මාලාවක් රට පුරා පෙරපාසල් සඳහා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ නිවැරදි මතයක් සමාජගත කිරීමද වැදගත් වෙනවා.

පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ සිදුකළ යුත්තේ දරුවාගේ ඉදිරි ප්‍රාථමික අධ්‍යාපනයට හොඳ සූදානමක් ලබාදීමයි. එමනිසා දරුවන්ගේ චාලක කුසලතා වැනි දේවල් වර්ධනය කිරීමටයි පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ ඉලක්කගත විය යුත්තේ. දෙමාපියන්, වැඩිහිටියන් හැටියට අපේ වගකීමක් තමයි දරුවාට අනවශ්‍ය බරක් නොදැනෙන ලෙස සමාජශීලීත්වය සහ දැනුම වයසට සුදුසු ආකාරයට වර්ධනය කරගැනීමට ඉඩසැලැස්වීම. විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුන් ලෙස පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන ඒ පණිවිඩය සමාජයට ලබාදීමට ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා”

රු. කෝටි 3.5 කොල්ලයට සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියාගේ නිවාස පරීක්ෂා කිරීමට සෝදිසි වරෙන්තුවක්….

හොරණ රාජ්‍ය බැංකුවක පරිශ්‍රය තුළදී රුපියල් කෝටි තුනහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකාරවරයාට සහ ආරක්ෂක නිලධාරියාට එරෙහිව හෙට (06) දිනයේදී රැඳවුම් නියෝග ලබා ගන්නා බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධව මේ දක්වා සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සහකාර කළමනාකාරවරයා විසින් නිරූපිකාවන් ඇතුළු කාන්තාවක් රැසක් ඇසුරු කරමින් මුදල් වියදම් කර ඇති බවය.

මේ හේතුවෙන් ඔහු අධික ලෙස ණය වි ඇති බවත් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

පසුගිය 03 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පතිවරයා විසින් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

සිදුවීම සිදුවන දින එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු කළමනාකරු හමුවට පැමිණ සහකාර කළමනාකරු සේවා මධ්‍යස්ථාන දෙකක් කරා රැගෙන යාමට බැංකුවෙන් පිටතට රැගෙන ගිය මුදල් මළු බැංකු පරිශ්‍රය තුළදී පා ගමනින් පැමිණි පුද්ගලයෙකු විසින් කොල්ල කා පලා ගොස් ඇති බවට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති කළමනාකරු කඩිනමින් බැංකු පරිශ්‍රයෙන් පිටතට පැමිණ පරීක්ෂා කර බලා කිසිදු සැක කටයුතු පුද්ගලයෙකු හඳුනාගැනීමට නොහැකි වී ඇති බැවින් කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එහිදී සහකාර කළමනාකරු විසින් බැංකුවෙන් පිටතට රැගෙන යන මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී රුපියල් 5000 නෝට්ටුවලින් මෙම කෝටි තුනහමාරක මුදල අඩංගු එම බැංකුවේ ලාංඡනය සහිත රෙදි මළු දෙකක් කොල්ල කා ඇති බවට තහවුරු කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අදාළ කොල්ලය සිදුවීමෙන් අනතුරුව මුදල් මළු දෙක භාරව සිටි සහකාර කළමනාකරු පොලිසිය වෙත රැගෙන විත් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමෙන් කිසිදු වැදගත් හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

ඒ අනුව එහි පැමිණි අදාළ කොට්ඨාසයේ නිලධාරීන් විසින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සහකාර කළමනාකරු එදින පෙරවරුවේ බැංකුවේ සේප්පුවෙන් මුදල් ලබා ගන්නා අයුරු බැංකුව තුළ සවිකර තිබූ කැමරාවල සටහන් වී ඇති බවට අනාවරණය කරගෙන තිබුණි.

නමුත් ඔහු මුදල් රැගන පිටවීමට සූදානම් වන්නේ ඊටත් පැය කිහිපයකට පසු පස්වරුවේ වන අතර බැංකුව අභ්‍යන්තරයේ කැමරා සවිකර ඇතත් බැංකු පරිශයෙන් පිටවන දොර එහි පැත්තක පිහිටා ඇති බැවින් එම පෙදෙසට බැංකුවෙන් CCTV කැමරා සවිකර නොමැති බවද සැකකටයුතු පුද්ගලයෙකු මුදල් මළු දෙකක් රැගෙන යන ආකාරයක් අවට පිහිටි CCTV කැමරාවල සටහන් වී නොමැති බවද අනාවරණය වී ඇත.

එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ කරගනිමින් ඉතා සැලසුම් සහගතව මෙකී මුදල් කොල්ල කෑ බවට රංගනයක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහකාර කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියෙකු අද (05) අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කළේය.

මේ අතර සැකකාර කළමනාකාරවරයා සහ ආරක්ෂක නිලධාරියාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටත්, නිවාස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීමටත් හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය නියෝග කර තිබේ.

බස්නාහිර පලාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑවල, ගංගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි බැංකුවේ සහකාර කළමනාකරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරිවරයෙකි.

සැකකරුවන් දෙදෙනා මේ වන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ රඳවා සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹේ…..

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින්, සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙලේ මූලික පියවර ආරම්භ කර තිබේ.

ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්විණි.

ගෝලීය තාක්ෂණික ප්‍රවණතා සමඟ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සේවා ප්‍රමාදයන් අවම කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන ඇත.

රාජ්‍ය සේවය පුද්ගලයන් මත පදනම් වූ ක්‍රමවේදයකින් පද්ධති මත පදනම් වූ නවීන සේවා සැපයුම් ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තාක්ෂණික භීතිය අවම කරමින් ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම වැඩපිළිවෙළේ ප්‍රමුඛතාවක් වනු ඇත.

ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් භාවිත කිරීමටත්, ජංගම දුරකථන හරහා ලබාගත හැකි කෙටි වීඩියෝ පාඩම් මාලා මගින් Micro-learning ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් යෝජනා වී තිබේ.

මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

එමෙන්ම කාර්යාල සහ පාසල් පරිගණක විද්‍යාගාර පස්වරු කාලයේ පුහුණු කටයුතු සඳහා යොදා ගැනීම, Gamification ක්‍රමවේද සහ ඩිජිටල් අත්සන් සහිත සහතික හඳුන්වා දීම සම්බන්ධයෙන් ද එකඟතාව පළ විය.

මෙම වැඩසටහන දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සුදුසුකම් අනිවාර්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල විෂයමාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම යන තෙවැදෑරුම් සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මූලික අදියර ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමේ පාඨමාලාවක් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා නිල විද්‍යුත් තැපෑල හා සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිතය.