සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී….

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි.

නොවැම්බර් මාසයේ 8,530ක ඉහළම සංචාරක පැමිණීම නෙැවැම්බර් 22වැනි දින වාර්තා වී ඇති අතර එම කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව පෙරමුනේ පසු වෙයි.

වසරේ මේ දක්වා ඉන්දියාවෙන් 474,796ක්, එක්සත් රාජධානියෙන් 191,742ක්, රුසියාවෙන් 158,593ක්, ජර්මනියෙන් 131,259ක් සහ චීනයෙන් 121,671ක් ලෙසින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….

කිලෝග්‍රෑම් 4කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් මෙලෙස සොයා‌ගෙන ඇත.

මෙ‍ම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 68කට අධික බවට අනුමාන කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ආපදා මරණ 465 දක්වා ඉහළට…..

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.

ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දෙසැම්බර් මස 04 වන දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙන්නේ, ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත,  පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39ක් දුම්රිය මාර්ගවලට දැඩි හානි සිදු වීම හේතුවෙන් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,1 (1)

හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්….

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) පස්වරුවේ ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානය (හුණුවිලගම පිවිසුම), යාල ජාතික උද්‍යානයේ පළවෙනි කොටස (පලටුපාන පිවිසුම), මින්නේරිය ජාතික උද්‍යානය හා කවුඩුල්ල ජාතික උද්‍යානය මෙලෙස විවෘත කිරීමට නියමිතය.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත වන බවය.

මීට අමතරව සංචාරක නිවාස කිහිපයක්ද හෙට සිට විවෘත කිරීමටද පියවර ගෙන තිබේ.

ඒ අනුව කුමන ජාතික උද්‍යානය – තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානය – ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානය – මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානය – රඹවිල සංචාරක නිවාසය, යාල ජාතික උද්‍යානය – I කොටස හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව, මහා සීලව, යන සංචාරක නිවාස හෙට දින සිට විවෘත වනු ඇත.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල රු.25,000 දක්වා ඉහළට….

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය කඩිනම්ව යථාවත් කිරීම සඳහා ගංවතුරෙන් යටවූ නිවාස හා දේපොළ පවිත්‍ර කිරීමට දෙනු ලබන ආධාර මුදල රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි  මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව  මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පේරුම මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මෙම ආධාර මුදල් ලබාදීම  සඳහා රුපියල් බිලියන 7.5ක මුදලක් වෙන්කර ඇති බවද එම මුදල වෙන්කරනු ලැබුවේ ආපදා කළමනාකරණය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් බිලියන 30ක මුදලෙන් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.

මහා භාණ්ඩාගාරය විසින් පවත්වාගෙන යන මූල්‍ය කළමනාකරණයේ  සාර්ථකත්වයත්, දූෂණය පිටුදකිමින් ගෙන යන වැඩපිළිවෙළත්  නිසා  මෙම වැඩිපිළිවෙළ වඩාත් සාර්ථකව සිදුකළ හැකිව ඇති බවද මුදල් ආමත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙලෙස ප්‍රතිපාදන ලබාදීමට සමගාමීව එමගින් පුරවැසියන්ගේ  ජනජීවිතය යථාවත් කර ගැනීම කඩිනම් වනු ඇතැයි  ලේකම්වරයා බලාපොරාත්තු පළ කළේය.

ඒ සඳහා වන යාන්ත්‍රණය දැනටමත් සකසා ඇති බවද ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී සම්බන්ධීකරණය කරගනිමින්  විපතට පත්ව සිටින සාමාන්‍ය ජනතාවටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙම  මුදල් ප්‍රතිපාදන ලබාගත හැකි බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තවදුරටත් යම් සහනයක් අවශ්‍ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබෙන නිර්දේශයන්ට අනුව ප්‍රතිපාදන නිකුත් කිරීමට සුදානම් බවද ලේකම්වරයා පැවසුවේය.

සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මේ වන විට ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් එම මවගේ ජීවිතය බේරා ගැනීම්ට හැකිව තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් සහ අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවකු අද (02) උදෑසන 6.30 ට පමණ අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්අතු ඔයට පැන ඇති බව පොලීසිය පවසයි.

මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත් පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කළේය.

කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබේ.

මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබයි.

නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….

පසුගිය 27 වනදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑමකට ලක්වූ මහනුවර, උඩත්තව, නෙළුම්මල ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 31 දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

ජීවිතේ කිසිවෙකු නොසිතූ නිමේෂයක කිලෝ මීටර් 5ක පමණ දුරක් කඳු මුදුනේ සිට කඩා වැටුණු මහා පස් කන්දක් මෙම ගම්මානය වසා ගෙන තිබුණි.

ඉතා සුන්දර වෙල්යායකට මැදිව පිහිටා තිබූ මෙම ගම්මානයට උඩින් පිහිටා ඇති යහන්ගල කඳු වැටිය හා නක්ල්ස් කඳු වැටියෙන් කොටසක් මෙලෙස කඩා වැටී තිබුණි.