නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ – අධිකරණ ඇමති…..

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

“සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. 

ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. 

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. 

සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා නැහැ.”

අග්‍රාමාත්‍යවරිය සහ ඉහළ පෙළේ ආයතනික නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා…..

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.

ඒ, ඊයේ (21) හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී කරුණු සාකච්ඡා කිරීමේදීය.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, අග්‍රාමාත්‍යවරිය ඊයේ යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ගෝලීය පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ සම්බන්ධ වෙමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවකට සහභාගී වී තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හදිසි අවස්ථා සහ අර්බුද කළමනාකරණය පිළිබඳ යුරෝපීය කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමුවී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් පසු යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානම් කිරීම සහ රට යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව ද පවසා ඇත.

අග්‍රාමාත්‍යවරිය ලෝක බැංකුවේ GRADE වාර්තාවේ සඳහන් තොරතුරු කොමසාරිස්වරයා සමඟ බෙදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ නැවත ගොඩනැගීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ද පවසා ඇත.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරන Alexander De Croo මහතා ද හමු වී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය අගයකර ගංවතුර සහනාධාර සහ ජන ජිවිතය යථාතත්ත්වයට පත්කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දුන් සහයෝගය පැසසුමට ලක්කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරමින්, මහජන විශ්වාසය, යහපාලනය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂා වැඩපිළිවෙළක් සකස් කරමින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන ජාතියක් ගොඩනැගීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇති බව ඇය තවදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම A.P. Moller Holding (MAERSK)හි සභාපති වන Robert M. Uggla මහතා සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වීම සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු වී තිබේ.

රට නැවත ගොඩ නැගීම, සංවර්ධනය කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සහ ගෝලීය කොටස්කරුවන් සමඟ ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙල පිළිබඳ මෙම සාකච්ඡාවලින් අවධාරණය කර ඇති බව සඳහන් වෙයි.

ඉන්දුනීසියානු සහ ඕමාන යුද නෞකා කොළඹ වරායට…..

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, අද (22) එම නෞකා පැමිණි බවය.

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA – 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙලෙස කොළඹ වරායට පැමිණ ඇත.

එම නෞකාව කොළඹ වරායට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුකර ඇත.

Sigma Corvette FS වර්ගයට අයත් මෙම යුද නෞකාව දිගින් මීටර් 90.71ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Annugerah Anurullah කටයුතු කරයි.

මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.

එමෙන්ම, මෙම සංචාරය දෙරටේ නාවික හමුදා අතර වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීමට සහ අන්තර් මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීමටද දායක වන බවද නාවික හමුදාව පවසයි.

මේ අතර, රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාවද සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (22) කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකාවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

‘AL SEEB’ යුද නෞකාව දිගින් මීටර් 75ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් Hamad Bin Mohammed Aldarmaki කටයුතු කරයි.

මෙම සංචාරය හරහාද දෙරටේ නාවික හමුදා අතර වෘත්තීමය දැනුම හුවමාරුව සහ අන්තර් ක්‍රියාකාරි අවබෝධය වර්ධනය වනු ඇති බව නාවික හමුදාව පවසයි.

එමෙන්ම, මෙම යුද නෞකාවේ කාර්ය මණ්ඩලයද මෙරට රැඳී සිටින කාලය තුළ කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීමට නියමිත බව සඳහන් වේ.

හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්….

හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කළේය.

හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා…..

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංග යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

2017 වසරේ දී ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකළ බවට හිටපු ඛණිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරෙකු වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ධම්මික රණතුංග  යන අයට චෝදනා එල්ල වී තිබේ.

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇති බව කියන දූෂණ වංචා ගැන මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම අරඹයි……

කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.

2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ  කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම්, ඉහත ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආරම්භ කළේය.

සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන ) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 දෙසැම්බර් 30 වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.

දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධරයන් වශයෙන් සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබාගැනීමත්, මෙකී කාර්ය සිදු කරගෙන යාමේදී ඉහත කාල සීමාවෙන් ආවරණය නොවන හෝ ඉහත සඳහන් ක්‍රියාවලට පරිබාහිරව එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාවට බරපතල ස්වභාවයේ බවට හැඟී යන වරදක් හෝ වැරදි සම්බන්ධයෙන් මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබා ගැනීමත්, එම පැමිණිලි, තොරතුරු සහ චෝදනා පිළිබඳව කඩිනම් අපක්ෂපාතී පුළුල් විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීමත්,  වරදවල් හා වැරදි ක්‍රියාවන් සිදු කර තිබීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන් සහ ආයතනවලට එරෙහිව ගත යුතු යම් ක්‍රියාමාර්ග වෙතොත් ඒ පිළිබඳ කොමිසමේ නිර්දේශ සහ එබඳු වරදවල් සහ වැරදි ක්‍රියාවන් ඉදිරියේදී සිදුවීම වළක්වාලීමේ අරමුණින් කරනු ලබන නිර්දේශ ඉදිරිපත් කිරීමත් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැවරේ.

කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම අතුරු වාර්තාව මාස තුනක් ඇතුළත ද, නිගමන සහ නිර්දේශය ඇතුළත් අවසාන වාර්තාව මාස හයක් ඇතුළතද ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වන ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත “අංක 152, ගාලු පාර, කොළඹ 03” ලිපිනයට යොමු කරන ලෙස පුද්ගලයන්ට, සංවිධානවලට සහ ආයතනවලට ආරාධනා කෙරේ.

සියලු පැමිණිලි  2026 පෙබරවාරි මස 23 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළ යුතුය. එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය. තවද ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකිය.

කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන හෝ පුද්ගලයන්, 011 2 301 735 යන දුරකථන අංකය ඇමතීමෙන් 2026 පෙබරවාරි මස 23 වන දින හෝ ඊට ප්‍රථම දිනයක් නියම කරවා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

ආර්ථිකය නගා සිටුවීමට චීනයේ පූර්ණ සහයෝගය දෙන්න සූදානම් – චීන තානාපති….

දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසයි.

තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (22) පස්වරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක සිදු කළ සාකච්ඡාවේදීය.

“චීන රජය වර්තමාන ශ්‍රී ලංකා රජය සමඟ ඉතාමත් සම්බන්ධව අනොන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. 

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමියද චීනයේ සංචාරය කළා. ශ්‍රී ලංකාවට යම් විපතක් වූ ඕනෑම අවස්ථාවක චීනය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලීමක් කරා නුවරඑළිය, නුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ආපදාවට පත් වූ  පාලම් හා මහ මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා. 

මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම සඳහා විෂය සම්බන්ධ  විශේෂඥයන් 06 දෙනෙකු ලංකාවට ආවා. 

ඊට පසු දැනගත්තා මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයන්හී බහුතර මහාමාර්ග හා පාලම් මේ වන විට ප්‍රතිසංස්කරණය කොට හෝ ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව. එනිසා ඒ කණ්ඩායම මේ වන විට ලංකාව පුරා හානියට පත් මාර්ග හා පාලම් පිළිබඳ නිරීක්ෂණය කරනවා. 

අනතුරුව නවීන තාක්ෂණය භාවිතා කොට අදත් ප්‍රතිඵලදායී ආකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න චීන රජය කටයුතු කරනවා. ලෝකයේම මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ විශේෂඥ දැනුම ඇත්තේ චීනයට බව කවුරුත් දන්නවා.”

ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගය 30 වනදා…..

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (22) ප්‍රකාශ කළේය.

ඒ අදාල පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.

අටමස්ථානාධිපති හිමියන් සහ දලයි ලාමාතුමා අතර ඓතිහාසික හමුවක්….

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දලයි ලාමාතුමන් අතර හමුවක් ටිබෙට්හිදී සිදුව තිබේ.

එය ඉන්දු-ටිබෙට් සහ ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදායන් අතර සියවස් ගණනාවක් පැරණි සම්බන්ධතාවයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව සඳහන්ය.

එහිදී අටමස්ථානාධිපති හිමියන් විසින් ජයශ්‍රී මහාබෝධියේ අංකුරයක් දලයි ලාමාතුමන් වෙත ලබාදී ඇති බවත් එය ගෙයිඩන් ජෑන්ගිස් (Gaden Jangtse) ආරාමයේදී රෝපණය කළ බවටත් තොරතුරු වාර්තා වෙයි.

චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්…..

චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි.

ඉන්ධන භාවිතය හේතුවෙන් සිදුවන විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස ලබාදීමට සැලැසුම් කර ඇති බස් රථයක මිල අමෙරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් පමණ වන බවද තානාපතිවරයා පැවසුවේය.

චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (22) මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු අවස්ථාවේදීය.