යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව මසක් තුළ අවසන් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…..

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු  මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.

වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය (ප්‍රාථමික, ද්විතීයික හා තෘතීක), උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය යන කුලුනු ඔස්සේ සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

මෙතෙක් මෙරට පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින්වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජයීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර ඉන් මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරිමේදී අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

1991 වසරේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමෙන් අනතුරුව වරින්වර අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ඇති අතර, ඉන්, 1997 ප්‍රතිපත්තියෙන් සැලකිය යුතු කොටසක් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොදා ගෙන ඇති බව අධ්‍යාපන කොමිසමේ සාමාජිකයන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

2016 වසරේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ප්‍රතිපත්තියක් සකසා ඇති නමුත්, ඒ අනුව කටයුතු කර නොමැති බව ද නිරීක්ෂණය වී තිබේ.

2023 වසරේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළද එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙස පිළිගෙන නොමැති බවද අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජිතයින් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙතෙක් සිදුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ප්‍රතිපත්තියක් සකසා ඒ අනුව අධ්‍යාපනය වෙනස් කරනවා වෙනුවට අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල කාර්යභාරය මත සකස් කරන ලද වැඩසටහන් මත පදනම්ව සිදුව ඇති බවටද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සුවිශේෂී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වෙනමම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකසා, එකී ප්‍රතිපත්ති රාමුව මත කටයුතු කරනවා වෙනුවට අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවතින බැවින් එහි පැවැත්මට බාධාවක් නොවන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.

මෙය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගයක් බවත්, මෙතෙක් පැවති මෙන්ම වර්තමානයේ පවතින අධ්‍යාපනය මුළුමණින්ම සාර්ථක හෝ මුළුමණින්ම අසාර්ථකද යන්න තීරණය කිරීම නිවැරදි නැතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පැවැති ක්‍රමයේ සාධනීය කරුණු මෙන්ම නිෂේධනීය කරුණුද ප්‍රවේශමෙන් තෝරාබේරාගත යුතු බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සාධනීය හෝ නිෂේධනීයද යන්න කෙටිකාලීනව තීරණය කළ නොහැකි බවත් එය දීර්ඝ කාලීනව සමාජයේ සිදුවන වෙනස්කම් මත පදනම්ව තීරණය කළ යුතු බැවින් සෙසු ප්‍රතිසංස්කරණවලට වඩා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී පැන නැගිය හැකි බවට පුරෝකථනය කරන ලද සමාජ  අභියෝග  ගැඹුරින් සමාලෝචනය කරමින්, නව සමාජයට ගැළපෙන පුරවැසියකු නිර්මාණය කිරීමට අවශ්‍ය කරුණු නව ප්‍රතිපත්ති රාමුවට අන්තර්ගත කිරීම පිළිබඳවද මෙහිදී  සාකච්ඡා විය.

මේ වන විට විධිමත්ව නියාමනය නොවන අධ්‍යාපනයට සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර නියාමනයට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත්, පෞද්ගලික අධ්‍යාපනය නියාමනය නොකිරිමෙන් සිදුවන හානිය පිළිබඳවත් මෙහිදි විශේෂ අවධානය යොමු විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාලය නියාමනය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද යන මහත්වරු සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දරුණු එල්-නිනෝ තත්ත්වය නිර්මාණ වෙයි – ලොව පුරා අනතුරු ඇඟවීම්…..

ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල්-නිනෝ තත්ත්වය මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) නිවේදනය කර ඇත්තේ, මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති අතර, එය එල්-නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවය.

විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙවර එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල හෙවත් “දරුණු එල්-නිනෝ” තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල්-නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවටද විද්‍යාඥයින් අනාවැකි පළ වී තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා, ඉදිරි වසරක කාලය (බොහෝ දුරට 2027 වසර) වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කාලගුණික රටාවන්හි විශාල වෙනස්කම් ඇතිවිය හැකි අතර, නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අහිතකර තත්ත්වයන් වැඩිවිය හැකි බවද සඳහන් වේ.

NOAA ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හි ද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන අතර, එමගින් සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලයද ප්‍රතිචාර දක්වමින් සිටින බවට පැහැදිලි සංඥාවක් බවයි.

මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබේ.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි…..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණයේදී සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ෙවිනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන විජයදාස රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙන බව සිහිපත් කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඒ පිටුපස විදේශීය අන්තවාදී ත්‍රස්ත කල්ලියක දෘෂ්ටිවාදය පවතින බවට තොරතුරු හෙළිදරව්වී තිබියදීත් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ශානි අබේසේකර මහතා ඒ පිළිබඳ නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

අදාළ සිද්ධියට විදේශීය ත්‍රස්ත සංවිධානයක දෘෂ්ටිවාදී මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව්වී තිබියදීත් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට හැකියාවක් තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් නොසැලිකිළිමත්ව කටයුතු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළ බව සඳහන්ය.

2016 වසරේ අප්‍රේල් මස 20 වනදා සිට 2019 වසරේ අප්‍රෙල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97 ක් පොලිස්පතිවරයා වෙත යොමු කර තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක සඳහන්ව තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලට සහාය දක්වන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලයිස්තුවක්ද ඉදිරිපත් කර තිබූ බවත් පැවසුවේය.

එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමේ වාර්තා සම්බන්ධයෙන් එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ රවි සෙනෙවිරත්න යන අය විසින් නිසි විමර්ශන සිදු නොකළ බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කිතුනු දේවස්ථාන, සංචාරක හෝටල් හා ඉන්දීය තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්, පිහි ප්‍රහාරයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට ඉන්දීය බුද්ධි අංශ විසින් 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබූ බවත් එම ප්‍රහාරයට සහභාගිවීමට නියමිත සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින්ගේ නම්ගම් පවා එම තොරතුරු තුළින් හෙළිදරව් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහෙත් එම කරුණු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කොට විමර්ශන සිදු කිරීමට වග උත්තරකරුවන් කටයුතු  නොකළ බවට චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එම ප්‍රහාරවලට සුරේෂ් සලේ සම්බන්ධවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් හෝ පරීක්ෂණ කොමිසමකින් ඉදිරිපත් කළ වාර්තාවලින් අනාවරණවී නොමැති බවත් පැවසුවේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් මහත්මියගේ කමිටුව විසින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිර්දේශ කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජුලි මස 10 වනදා දක්වා කල්තැබීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.

රුමේෂ් ලෝකයෙන්ම 3වැනි ස්ථානයට…..

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ඉදිරියක් සලකුණු කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහු ලෝකයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

නවතම වර්ගීකරණයට අනුව රුමේෂ් තරංග ශ්‍රේණිගත ලකුණු 1,324ක් හිමිකරගෙන සිටියි.

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ග්‍රෙනඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.

දෙවැනි ස්ථානයේ පසුවන ඇන්ඩර්සන් පීටර්ස් (ලකුණු 1,326) සහ රුමේෂ් තරංග අතර ඇත්තේ ලකුණු 2ක ඉතා සුළු පරතරයක් වීම විශේෂත්වයකි.

ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ඔලිම්පික් රන් පදක්කම් ලාභී ක්‍රීඩකයන් දෙදෙනෙකුම අභිබවා යාමට රුමේෂ් තරංගට මෙහිදී හැකියාව ලැබී ඇත.

ඒ අනුව ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා මෙම ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානයේ අර්ශාද් නදීම් පසුවන්නේ 10 වැනි ස්ථානයේය.

රුමේෂ් තරංග මෙම සුවිශේෂී දක්ෂතාව කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදීය.

එහිදී මීටර් 92.62ක අතිවිශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් විය.

මෙම දක්ෂතාවත් සමඟින් රුමේෂ් තරංග ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත්ව සිටියි.

රුපියලට එල්ලවන පීඩනය අඩු කරන හැටි ගැන පැහැදිලි කිරීමක්……

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඔහු සඳහන් කළේ වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුකූලව ඉන්ධන මිල ගැලපීමට පියවර නොගතහොත් රුපියලට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවය.

මැයි මස 21 සහ 22 දිනවල රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී පසුව නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිකුත් වූ නවතම දත්ත අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 220කට ආසන්න මුදලක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වෙළෙඳපොළේ තිබූ රුපියල් ප්‍රමාණයක් මහ බැංකුව වෙත නැවත ඇදී යාම රුපියලේ අධිප්‍රමාණයට යම් බලපෑමක් එල්ල කළ බවද ඔහුගේ අදහසයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළෙඳපොළේ ඩොලර් ඉල්ලුමද ඉහළ යන බැවින්, ඉන්ධන මිල වෙළෙඳපොළට අනුව ගැලපීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල නැවත අය කර ගැනීමට නොහැකි වුවහොත්, එම මූල්‍ය බර අවසානයේ ජනතාවට බදු මඟින් දැරීමට සිදුවිය හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“රුපියලට එල්ලවන පීඩනය අඩු නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්යයි. මැයි මාසයේ 21 සහ 22 දිනවල රුපියල  සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙලා නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් දැන් නවතම දත්ත නිකුත්වෙලා තියෙනවා.  ඒ අනුව මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මහ බැංකුව දල වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 220කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට විකුණලා තියෙනවා.  ඒ කියන්නේ ඩොලර් වෙළෙඳෙපොළට  නිකුත්කරලා වෙළෙඳපොළේ තිබුණු රුපියල් මහ බැංකුවට යළිත්වරක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් යම් බලපෑමක් එල්ල කළා අනිවාර්යෙන්ම දැන් තිබෙන විදිහට රුපියල නැවතවරක් අධිප්‍රමාණය වෙන්න. ඉතින් අපි වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට අපේ තෙල්වල මිල ගැලපුවේ නැත්නම් දිගින්දිගටම ලෝක වෙළෙඳපොළේ තෙල්වල මිල ඉහළ යනවත් එක්කම අපේ වෙළෙඳපොළෙන් ඩොලර් සඳහා යන මිල ඉතාමත් අධික වෙනවා.” 

යෝෂිතගේ නඩුවක් කල්යයි…..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ජූලි මස 16 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රුපියල යන්තම් නැගිටියි…..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 335.39ක් වශයෙනි.

ඊයේ (09) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් වශයෙනි.

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලෙස  පොලිස්පතිවරයා,  නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

මෙම පෙත්සම අද (10) කරුණු තහවුරු කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන ශෂී මහේන්ද්‍රන් සහ ආදීත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.

එහිදී පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඤාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගත වී ඇති නිසා මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පවසා ඇත.

එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ, මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙසයි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගතවීම නිසා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් එළඹෙන සති අන්තයේ ඕනෑම දෙයක් සිදු වීමට හැකියාව තිබෙන හෙයින් අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මෙම සතිය තුළ දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ලබන 12 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස නියම කර තිබේ.

පෙත්සම්කරු  පවසා ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ අනතුරක් උද්ගතව තිබෙන බවයි.

එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවකදී, හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

2008 වසරේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වූ නඩුවේ තුන්වන සැකකරු ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නම්කිරීම සිදු වූ අතර මීළඟ නඩු දිනය වන ජුලි 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද සැකකරුට සිතාසි නිකුත් කර ඇත.

හොරණ – කොළඹ 120 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්……

පරදීමක් මුල් කර ගනිමින් හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ ධාවනයෙන් ඉවත්වී තිබේ.

ඊයේ (09)පෙරවරුවේ හොරණ – කොළඹ මාර්ගයේ ගමන් කරන පෞද්ගලික බස් රථයකට මොරගහහේන – පිළියන්දල පෞද්ගලික බස් රථයක සේවකයෙකු විසින් පහර දී ඇති අතර මේ දක්වා එම සේවකයා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන්‌ මෙම වර්ජනය ආරම්භ කර ඇත.

අද (10) උදෑසන 10.20ට පමණ ඒ අනුව බස් සියල්ල ධාවනයෙන් ඉවත්වී තිබේ.

පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ පහරදුන් සේවකයා අත්අඩංගුවට ගන්නාතුරු බස් රථ ධාවනය නොකරන බවය.

පහර කෑ බස් රථ රියදුරු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.

පහරදීම සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය මඟින් පරීක්ෂණ සිදුකරනු ලබන අතර, බස් වර්ජනය ආරම්භ කිරීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් එතෙක් බස් ධාවනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඔවුන් පවසා සිටියේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු බස් ධාවනයෙන් ඉවත් වන බවය.

වර්ජනය හේතුවෙන් මගීන්ගේ අපහසුතාවය වැළැක්වීම සඳහා පෞද්ගලික බස් රථ වෙනුවට ලංගම බස් රථ යොදවා තිබුණි.

වර්ජනයට සහයෝගය දැක්වීමක් වශයෙන් 120 හොරණ – කොළඹ මාර්ගයේ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ද දහවල් 11.10ට පමණ වනවිට බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණි.