ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
ඔහු සඳහන් කළේ වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුකූලව ඉන්ධන මිල ගැලපීමට පියවර නොගතහොත් රුපියලට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවය.
මැයි මස 21 සහ 22 දිනවල රුපියල සීඝ්රයෙන් අවප්‍රමාණය වී පසුව නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිකුත් වූ නවතම දත්ත අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 220කට ආසන්න මුදලක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව වෙළෙඳපොළේ තිබූ රුපියල් ප්‍රමාණයක් මහ බැංකුව වෙත නැවත ඇදී යාම රුපියලේ අධිප්‍රමාණයට යම් බලපෑමක් එල්ල කළ බවද ඔහුගේ අදහසයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළෙඳපොළේ ඩොලර් ඉල්ලුමද ඉහළ යන බැවින්, ඉන්ධන මිල වෙළෙඳපොළට අනුව ගැලපීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල නැවත අය කර ගැනීමට නොහැකි වුවහොත්, එම මූල්‍ය බර අවසානයේ ජනතාවට බදු මඟින් දැරීමට සිදුවිය හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“රුපියලට එල්ලවන පීඩනය අඩු නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්යයි. මැයි මාසයේ 21 සහ 22 දිනවල රුපියල සීඝ්රයෙන් අවප්‍රමාණය වෙලා නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් දැන් නවතම දත්ත නිකුත්වෙලා තියෙනවා. ඒ අනුව මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මහ බැංකුව දල වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 220කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට විකුණලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් වෙළෙඳෙපොළට නිකුත්කරලා වෙළෙඳපොළේ තිබුණු රුපියල් මහ බැංකුවට යළිත්වරක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් යම් බලපෑමක් එල්ල කළා අනිවාර්යෙන්ම දැන් තිබෙන විදිහට රුපියල නැවතවරක් අධිප්‍රමාණය වෙන්න. ඉතින් අපි වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට අපේ තෙල්වල මිල ගැලපුවේ නැත්නම් දිගින්දිගටම ලෝක වෙළෙඳපොළේ තෙල්වල මිල ඉහළ යනවත් එක්කම අපේ වෙළෙඳපොළෙන් ඩොලර් සඳහා යන මිල ඉතාමත් අධික වෙනවා.”

