ඩුබායි සිට සැලසුම් කළ සංජුගේ ඝාතන සැලැස්ම ව්‍යර්ථ කළ පොලිස් මෙහෙයුම….

මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කාය වර්ධන මධ්‍යස්ථානයකදී වෙඩිතබා ඝාතනය කිරීමට කණ්ඩායමක් සූදානම් වන බවට තොරතුරක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට ලැබී තිබේ.

ඒ අනුව මාකොළ අවට පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.

එවන් පසුබිමක එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට තරුණියන් දෙදෙනෙකු පැමිණ එහි කළමනාකරුද මුණගැසී, ඔහුගේ විසිටින් කාඩ් පතක්ද ලබාගෙන එම ස්ථානය ඇතුළත සහ පිටත ඔවුන්ගේ ජංගම දුරකථන මගින් රූගතකර තිබේ.

එය දුටු කාන්තාවක විසින් කළ දැනුම්දීමක් මත එහි පැමිණි පොලීසිය අදාළ තරුණියන් දෙදෙනාගේ ජංගම දුරකථනය පරීක්ෂාකර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ  අදාළ මූල්‍ය ආයතනයේ වීඩියෝ දර්ශන ඩුබායිහි සැඟව සිටින සංජු නම් අපරාධකරුට යොමුකර ඇති බවය.

සංජු නැමැත්තා එම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා තිබූ අතර එහි දැක්වුණේ “පෑලියගොඩ යුනිට් එකෙන් ඉන්නවා. ඉක්මනට පලයල්ලා” යනුවෙනි.

එමෙන්ම අදාළ මූල්‍ය ආයතනයේ කළමනාකරුගේ ඡායාරූපයක්ද සංජු විසින් තරුණියන්ට එවා තිබු බව පොලීසිය පවසයි.

ඒ අනුව තරුණියන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ අපරාධකරුවන් වන කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමේ සැලසුමක් පැවති අතර ඒ වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා තමන් එහි පැමිණි බවය.

පසුගියදා අකුරේගොඩදී ලොකුපැටීගේ නීතිඥවරයා කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස, සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට ලොකුපැටී සැලසුම්කර ඇති බව විමර්ශන වලදී අනාවරණ වී තිබුණි.

කංජිපානි ඉම්රාන් විසින් ඒ සඳහා වෙඩික්කරුවකු සූදානම් කර තිබූ බවද තම්මිට අවිශ්ක නමැති අපරාධකරුවා විසින් යතුරුපැදිකරු සූදානම්කර තිබූ බවද විමර්ශන වලදී හෙළිවී ඇත.

කෙසේවෙතත්, ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් කළ මූල්‍ය ආයතන කළමනාකරු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා නොවන බවත්, ඔවුන් වැරදීමකින් අදාළ පුද්ගලයා ඉලක්ක කර ඇති බවත් පොලීසිය පවසසයි.

පොලීසියේ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් අපරාධකරුවන්ගේ උත්සාහය එලෙස ව්‍යර්ථ වී තිබුණි.

සිද්ධිය පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

නීතිවිරෝධීව උපයා ගත් රු. කෝටි 3ක පමණ දේපොළක් ක්‍රියා විරහිත කෙරේ….

සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් මිලදී ගෙන ඇතැයි සැලකෙන රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපොළක් ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.

විදෙස්ගතව සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් ඔහුගේ දියණියගේ නමින් දේපොළක් මිලදී ගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත එම කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එම පුද්ගලයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් මිලදී ගෙන ඇති බවට සැක කෙරෙන පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 3ක් පමණ වටිනා ඉඩමක් හඳුනාගෙන තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ 2026 මාර්තු 05 වන දින සිට දින 07ක කාලයක් සඳහා එම දේපොළ ක්‍රියා විරහිත කිරීමට නියෝග නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක්….

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳහෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවය.

නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දේ.

රටේ භෞමික අඛණ්ඩතාව බිඳහෙළමින් නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරළා දැමීමට ක්‍රියාකළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව එම පනත භාවිතා කිරීමට හැකියාව ඇති අතර, 2022 වසරේ සිදුවූ අරගලයට එරෙහිව ද මෙම පනත භාවිතා කිරීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු සඳහන් කරයි.

නමුත් පාස්කු ප්‍රහාරය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එය හුදෙක් ආගමික දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන් කළේය.

එසේම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු කියා සිටියේය.

මහජන සුබසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙසට ධීවරයින්ට උපදෙස්….

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවය.

අමෙරිකානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වූ ඉරාන යුද නෞකාව සහ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මේ වන විට ස්ථානගත කර ඇති අනෙක් ඉරාන නෞකාව සම්බන්යෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඊයේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් පිහිටි මුහුදේ දී අමෙරිකාව විසින් සබ්මැරීනයක් ආධාරයෙන් පහර දී ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළේය.

ඒ අනුව එම මුහුදු සීමාවේ මේ වන විට සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක පවතී.

ඇමති විජිත සහ ඊශ්‍රායලය විදේශ ඇමති අතර සාකච්ඡාවක්….

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා සිටියේ, එම සාකච්ඡාවේදී මෙරට ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබූ බවය.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවයක් බවත්, ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින 29,000කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ කලාපීය සාමය ඇති කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් අදාළ ‘X’සටහනේ දැක්වේ.

පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි….

අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.

පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, තමන්ට අදාළ දේපළ මිලදීගැනීම සඳහා මුදල් නොතිබූ බවය.

අනතුරුව පොඩි ලැසීගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, අදාළ නිවස මිලදීගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මතක නැති බවය.

නිවසේ පෙර අයිතිකරුද ප්‍රශ්න කිරීම් හමුවේ, තමන්ට ද මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මතක නැති බව පවසා ඇත.

ඒ අනුව වසර දෙකකට අධික කාලයක සිට කිසිවෙකුත් පදිංචිව නොසිටි අදාළ සුඛෝපභෝගී නිවස තහනම් කිරීමට නීති විරෝධී වත්කම් කොට්ඨාසය පියවර ගත් බව වැඩිදුරටත් සඳහන් වේ.

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ යන්ත්‍ර අවදානමක – බලාගාර නිලධාරීන්….

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට හානිසිදුවිය හැකි බවට එහි නිලධාරීන් අනතුරු අඟවයි.

ඒ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හමුවේ ඊයේ (04) පෙනීසිටි අවස්ථාවේදීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු ගල්අඟුරු තොග නිසි පිරිවිතරයන්ට නොමැතිවීම සම්බන්ධයෙන් රටතුළ පසුගිය සමයේ දැඩි කතාබහක් නිර්මාණය වුණි.

මතභේදාත්මක ගල්අඟුරු නෞකා නවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවය.

එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා භාරදී තිබුණි.

ප්‍රශ්නගත අල් අඟුරුවල ශක්තිය හෙවත් කැලරිෆික් අගය නැව්ගත කරන වරායේදී පැවති අගයට සාපේක්ෂව ගොඩබෑම් වරායේ, ලක්විජය බලාගාරයේ සහ විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කරන පරීක්ෂණවලදී ලැබී ඇති අගයන් පහළ මට්ටම්වල පැවති බව වාර්තාව අනාවරණ කරයි.

නමුත් පෙර සැපයුම්කරුගේ ගල් අඟුරුවල ශක්තිය විදුලි උත්පාදනයේ කාර්යක්ෂමතාව මත ගණනය කිරීමේදී, නැව්ගත කරන වරායේදී පැවති අගයද ඉක්මවූ අගයක් ලැබී ඇති බවද එහි සඳහන්ය.

එමෙන්ම වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයෙන් 2026 ජනවාරි තුන්වැනිදා සිට 8 වැනිදා දක්වා දින හයක කාලය තුළ සිදුකළ විදුලි උත්පාදනයේදී පාවෙන අළු විසර්ජනය දෛනිකව මෙටික්ට්‍රොන් 306ත් 616ත් අතර ඉහළ අගයන්වල පැවතී ඇතැයි වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

නමුත් පෙර සැපයුම්කරුගේ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කෙරුණු 2026 ජනවාරි 11වැනිදා සිට 15 වැනිදා දක්වා දින පහක කාලය තුළ පාවෙන අළු විසර්ජනය දෛනිකව වාර්තා වී ඇත්තේ මෙට්‍රික්ටොන් 221ත් 316ත් අතර සාපේක්ෂව පහළ අගයන්වලයි.

ඒ අනුව වත්මන් සැපයුම්කරුගේ ගල් අඟුරු භාවිතයේදී  විසර්ජනයවන පාවෙන අළු ප්‍රමාණය පෙර සැපයුම්කරුගේ ගල් අඟුරු වලට සාපේක්ෂව 102%ක වැඩිවීමක් බවද  වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ඒ අතර විමර්ශන වාර්තාව අනාවරණ කරන පරිදි ප්‍රමිතියෙන් අවම ගල්අඟුරු තොග නැව්ගත කිරීම් නවය මගින් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් මිලියන 8,497කි.

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට….

ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ  විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් විජේසිංහ මහතා පැවසුවේ ලක්ෂ තුන හමාරක්ව පැවති උපත් ප්‍රමාණය මේවනවිට ලක්ෂ දෙක හමාරකට අඩු වී ඇති බවය.

එමෙන්ම එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසුවේ දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින මවක් තම උසට සරිලන බරක් නිසිලෙස පවත්වා ගැනීව ඉතාම වැදගත් වන බවය.

“නිරෝගී මවක් බිහිවන්නේ නිරෝගී ගැහැණු දරුවෙක් තුළින්. මොකද අවුරුදු 12- 14 වයසේ සිට වැඩි වියට පත්වන දවසේ සිට ඒ දරුවා නිරෝගී තත්ත්වයකින් පසුවනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා.  දියවැඩියාව හරි දියවැඩියාවට අවතීර්ණ වන කාලයේ පවතින ගර්භණි මවකට විවිධ සංකූලතා සමග දරුවන් ඇති වෙනවා.  මූලික අඩිතාලම වෙන්න ඕනේ නිසි බරක් සහිත නිසි බරට සරිලන උසක් පවතින කාන්තාවක් ගර්භණිභාවයට පත්වෙන එක තමා වැදගත්. 

ෆෝලික් ඇසිඩ් අඩුවුණොත් කොඳුනාරටියේ දුර්වලතා ඇතිවිය හැකියි. සුෂුම්නාව ස්නායු පද්ධතියේ යම් දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් ගර්භණිභාවය පත් වුණා කියලා දැනගන්නකොටත් දරුවාගේ ස්නායු පද්ධතිය වර්ධනය වෙලා ඉවරයි. ඒ අවස්ථාවේදී ගැනීමක් වැඩක් වෙන්නේ නෑ. විශේෂයෙන් විවාහයට පත් වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක් ඒ ෆෝලික් ඇසිඩ් නිතිපතා ලබා ගන්නවානම් ඉතාමත්ම වැදගත්. මොකද ආරම්භ වෙන්න ඕනේ එතනදී.”

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ….

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව….

මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ,

“විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාලවලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහ කොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ.”