කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි…..

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර – රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු  සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

මේ වන විට කුඩු  සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි….

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මතවී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණය.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි  සම්මත කරගන්නා ලදී.

ආපදා අවස්ථාවේදී රාජකාරි කළ රජයේ නිලධාරීන්ට දීමනා ගෙවීම සම්බන්ධව චක්‍රලේඛයක්…

පසුගියදා පැවැති ආපදා අවස්ථාවන් හිදි රාජකාරී කටයුතුවල නියුතු වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ දීමනා ගෙවීම් සම්බන්ධව ආරක්ෂත අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පැවැති ආපදා අවස්ථාවන් හිදි එම රාජකාරිවල නියුතු වූ නිලධාරීන්හට චක්‍රලේඛයේ සඳහන් අවශ්‍යතා සැපරීම මත මෙම දීමනා ගෙවීම් සිදුකරනු ඇති බවය.

ඒ අනුව වැටුප් කාණ්ඩ 05ක් යටතේ මෙම දීමනා ගෙවනු ලබන අතර ඒ සඳහා පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතු බවත් ආරක්ෂක අමාත්‍යාංශය සිය චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

3.1.  විස්තීරණ ආපදා පැවතෙන කාලය තුළදී සතියේ දිනවල තම සමාන්‍යය රාජකාරී වේලාවට අමතරව දිනකට පැය 04කට නොඅඩු කාලයක් හදිසි ආපදා රාජකාරීවල යෙදිය යුතු අතර මසකට දින 10ක උපරිමයකට යටත්ව උක්ත 2 හි සඳහන් දීමනා ලබාදිය හැකිය.

3.2. ඉහත නිලධාරීන් අතුරින් අතිකාල දීමනා හිමි වැටුප් කාණ්ඩවලට අයත් නිලධාරීන් තම සාමාන්‍ය රාජකාරී වේලාව ඉක්මවා පැය 04ට වඩා වැඩි කාලයක් සේවය කරන අවස්ථාවේදී, මෙම දීමනාවට අමතරව එම වැඩිවන පැය ගණන සඳහා මසකට පැය 240ක උපරිමයකට යටත්ව අතිකාල දීමනා ලබාදිය හැකිය.

3.3. විස්තීරණ ආපදා හේතුවෙන් හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ කාර්යයන් හි රජයේ නිවාඩු දිනවලදී හා සතිඅන්ත දින වලදී රාජකාරීවල යෙදෙන මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා නිවාඩු දින වැටුප් හිමි නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 10/2025 හා කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2025 හි විධිවිධාන වලට යටත්ව වැටුපෙන් 1/30ට සමාන දීමනාවක් ලබා දිය යුතුය. එම දීමනාව ලබා ගැනීමට පැය අටක් සේවය කළ යුතු අතර එකී කාල සීමාවට අමතරව අවම පැය 04ක වැඩිපුර සේවා කාලයක් විස්තීරණ ආපදා අවදානම් රාජකාරී ඉටුකර ඇත්නම්, එකී 1/30 දීමනාවට අමතරව උක්ත අංක 02 හි සඳහන් දීමනාවද ලබා ගත හැකිය. විස්තීරණ ආපදාවෙන් පසුව ආපදා සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ හෝ නැවත පදිංචි කිරීමේ කාර්යයන් හි නිවාඩු දින වැටුප් ලබා දීම ආසන්නතම අධීක්ෂණ නිලධාරියා විසින් සමීප අධීක්ෂණයකින් යුතුව නියමිත පරිදි  රාජකාරී ඉටු කරවාගෙන ගෙවීම් කිරීමටත්, පවතින ප්‍රතිපාදන වලින් කළමනාකරණය කර ගැනීමටත් කටයුතු කල යුතුය.

3.4. විස්තීරණ ආපදාවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල රාජකාරියේ නියුතු පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් සඳහා විස්තීරණ ආපදා රාජකාරී වල නියැලෙන කාල සීමාවේදී මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු.1500 ක අමතර දීමනාවක්ද, ග්‍රාම නිලධාරීවරුන් සඳහා දිනකට රු.1000ක අමතර දිමනාවක් ද රජයේ නිවාඩු දිනවල, සති අන්ත දිනවල හා විවේක දිනවල රාජකාරියේ නිරත වීම වෙනුවෙන් විශේෂ අවස්ථාවක් සේ සලකා ඉහත 2හි දීමනාවන්ට අමතරව ගෙවීම් කල හැකිය.

04. 2025.11.21 දින සිට 2025.12.15 දක්වා වු විස්තීරණ ආපදා අවස්තාවේදී රාජකාරි කටයුතු සිදුකළ නිලධාරීන් සඳහා හා මින් ඉදිරියට ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විස්තීරණ ආපදා අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් සඳහා ඉහත 3 ඡේදය යටතේ වූ දීමනා ගෙවීම සිදු කල හැකිය.
05. විස්තීරණ ආපදා අවස්ථාවකදී රාජකාරී වල නියැලෙන නිලධාරීන් හට ගෙවිම් කිරීමේදී, ගෙවීම් කරනු ලබන්නේ කා සඳහාද, ගෙවීම් කිරීම සිදු කරනු ලබන උපරිම දින සංඛ්‍යාව හා මෙම දීමනාව හිමි වන විස්තීරණ ආපදාව පැවති ප්‍රදේශ හා කාල සීමාව කාල සීමාවන් පිළිබඳව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කලින් කල අමාත්‍ය මණ්ඩලය විමසා කටයුතු කල යුතුය.

06. ආපදාවට ලක්වූ ග්‍රාම නිලධාරී වසම් වලට විස්තීරණ ආපදා රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් / ප්‍රාදේශීය ලේකම් විසින් අදාළ කාලසිමාව තුළදී අනුයුක්ත කරන ලද හා/හෝ වැඩ බලන වෙනත් ග්‍රාම නිලධාරී වසම් භාර ග්‍රාම නිලධාරීවරුන් සඳහා ඉහත අංක 2 හා 3.5 හි සඳහන් දීමනා හිමි වේ.

07. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ආයතන ප්‍රධානීන්, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් හා හෝ ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් විස්තීරණ ආපදා කාලය තුළ ආපදා රාජකාරී සඳහා යම් නිලධරයකු යොදවා ඇත්නම් ඉහත අංක 2 හි දිමනාව ගෙවීම සිදුකල හැකිය.

08. ආපදා අවස්ථා වලදී විස්තීරණ ආපදා රාජකාරී සිදුකරන ලද නිලධාරින් වෙත මෙම දීමනාව ගෙවීමේ දී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මාණ්ඩලික නිලධාරින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරින් වෙත ගෙවීම් අනුමත කිරීමේ බලය පැවරේ.

09. දේපළ හානි තක්සේරු කටයුතුවල නිරතවන දේපළ හානි තක්සේරු කමිටුවේ සාමාජිකයින් වෙත දැනටමත් රුපියල් සියයක (රු.100/-) දීමනාවක් ලබා දෙන බැවින් එම නිලධාරීන් විසින් දේපළ හානි තක්සේරු කිරීමේ කාර්යය සඳහා යොදවන කාලය මෙම දීමනාව ලබා ගැනීමට ගණනය නොකල යුතුය.

10. ඉහත සඳහන් උපදෙස් අනුව මෙම දීමනාව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ සමඟ අමුණා ඇති ආකෘතිය මඟින් එක් එක් ආපදාවන් සඳහා වෙන් වෙන් වශයෙන් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව දන්වන අතර ගෙවීම් කිරීමේ දී ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා පවතින නිතිරීතිවලට අනුකූලව ගෙවීම් කටයුතු කරන ලෙසටත් රාජකාරි කටයුතුවල නිරත වූ නිලධාරින් හට ගෙවීම් කිරීමේදී, එම නිලධාරින් අදාළ කාලසිමාවේදී මුදවාගැනිම්, ආපදා සහන හා පුනරුත්ථාපන රාජකාරී කටයුතුවල ඵලදායී ලෙස නිරත වූ බවට සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවීම් කටයුතු කරන ලෙසටත් වැඩිදුරටත් දන්වමි.

අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුණත් යම් යුදමය තත්ත්වයකට රට වැටිලා – සුනිල් වටගල…

අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද(06) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලාසිටින්නන් පිරිසක් බවට අප පත්ව ඇති බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම කවුරුන්, කෙලෙස වින්දිතයන් බවට පත් වේද යන්න පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

පසුගියදා ගාලු මුහුදු සීමාවේදී අනතුරට පත් අයිරිෂ් ඩෙනා නෞකාවේ සිද්ධිය ඊට නිදසුන් සපයන බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා,

“කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා”

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන තිබේ.

ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත පසුගියදා  භාර දෙන ලදී.

නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා, කයිල් අබේසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජපාන යුද නැවක කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට….

කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් තිබේ.

ඒ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙනි.

ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව, හදිසියේ ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකු වෙත හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.

ඊට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එම රෝගියා  ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කාර්යය මණ්ඩලයක් සමඟ එම මුහුදු ප්‍රදේශය‍ වෙත කඩිනමින් යොමු කෙරිණි.

ඒ අනුව, එම රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් පසු, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.

යුද්ධය නතර කරන්නැයි අමෙරිකාවට බලකරමින් කොළඹදී විරෝධතා….

මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස අමෙරිකාවට බල කරමින් සහ ඉරානයට සහාය පළකරමින් අද (06) කොළඹදී විරෝධතා පැවැත්වුණි.

එම විරෝධතාවලට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වී තිබුණි.

කොළඹ දවටගහ පල්ලිය අසල අද දහවල් මෙම විරෝධතාව පැවැත්වුණි.

මුස්ලිම් ප්‍රජාව සංවිධාන කර තිබූ මෙම විරෝධතාවට මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝෂ් මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්වුණි.

මේ අතර මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද අද උදෑසන සාමකාමී විරෝධතාවක් පැවැත්වුණි.

එය සංවිධාන කරනු ලැබුවේ සිවිල් සංවිධාන එකතුවක් විසිනි.

මේ අතර අමෙරිකාව ඉරානයට සිදුකරන ප්‍රහාරවලට විරෝධය පළකරමින් හා මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණි.

ඒ එක්සත් සමාජවාදී පෙරමුණ, සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසිනි.

මැදපෙරදිග යුදමය තත්ත්වය මත මෙරට රැඳීසිටින සංචාරකයින්ට නොමිලේ කෑම වේලක්….

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සිය රටවල්වලට යාමට නොහැකිව මෙරට රැඳීසිටින මැදපෙරදිග රටවල සංචාරකයින්ට නොමිලේ ආහාර ලබාදීමක් කොළඹ කොල්ලුපිටියේ හෝටල් පාසලේදී අද (06) ආරම්භ වුණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය පහව යන තුරු මෙම ආහාර වේල උදෑසන 11 සිට පස්වරු 3 දක්වා අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර තිබේ.

වැඩසටහන සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් පාසල එක්වය.

පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට….

පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

අනතුරුදායක ලෙස ලොරි රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පළාතොට පාර දෙස සිට කටුකුරුන්ද දෙසට ලොරි රථය  ධාවනය කර ඇති අතර, නාගොඩ හන්දියේ මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී ඇතිවූ කතාබහකින් පසුව පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු විසින් එල්ල කරන ලද පිහිතල ප්‍රහාරයකින් එක් නිලධාරියකුගේ වම් අතෙහි කැපුම් තුවාලයක් සිදුවී ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර – සම්පත් කුලරත්න

දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්..

දිට්වා සුළිකුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර තිබේ.

ඒ අනුව ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, අරුණ ජයසේකර, අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම් අස්ලම්, අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභූ, රුවන් මාපලගම සහ පද්මනාදන් සත්‍යලිංගම් පත් කරන බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරයි.