පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට…..

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති අතර ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් මිල ඉහළ නැංවීමටද බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිලෙහි වෙනසක් නැහැ….

මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ පවසයි.

කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සහතිකවී ඇත.

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ලවී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් මෙම දෙපිරිස අතර පවත්වා තිබේ.

එහිදී ඔවුන් එම පොරොන්දුව ලබා දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළේය.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව එම සමාගම් ප්‍රකාශ කර ඇත.

තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග සැපයීම පිළිබඳ සහතික විය හැකි බවත්, එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් ආනයනික කිරිපිටි සමාගම් සහ තිරිඟු පිටි සමාගම් අමාත්‍යවරයා වෙත තහවුරුවක් ලබා දුනි.

එමෙන්ම ඉන්ධන කෝටාව හේතුවෙන් බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් අමාත්‍යවරයාට පෙන්වාදෙන ලදී.

ආහාර බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස එහිදී අමාත්‍යවරයා සමාගම් වෙත උපදෙස් ලබා දුන් බව වැඩිදුරටත් සඳහන්ය.

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අතර හමුවක්…

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වත් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතාව පිළිබඳ අදහස් හුවමාරු වූ අතර, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ලබා දෙන අධ්‍යාපනික මෙන්ම රැකියා අවස්ථා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදීත් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතාවක් පවතින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඉන්දියන් සාගරයේ මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව දෙරටම අවධානයෙන් පසුවන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, කෘෂිකර්මාන්ත සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහායක්  ලබා දෙන  බව මෙහිදී පැවසූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මෙන්ම ඕස්ට්‍රේලියාවටද යම් බලපෑමක් සිදුව තිබෙන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් රුත් බයිර්ඩ් (Ruth Baird) සහ දෙවන ලේකම් මැතිව් ලෝඩ් (Matthew Lord) යන ද එක්ව සිටියහ.

බදුල්ල මහ රෝහලෙන් නැවතත් විශ්මිත සැත්කමක්….

යකඩ කම්බියක් උදරය පසාරු කරගෙන කොන්ද පිටුපසින් එළියට පැමිණ තිබූ ඉතා බිහිසුණු අනතුරක් සිදුවු පුද්ගලයෙකුගේ දිවි බේරාගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, 37 හැවිරිදි අයෙකුය.

අනතුරට ලක්වූ පුද්ගලයාව බදුල්ල රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එම යකඩ කුරේ කොටසක් කපා ඉවත් කර තුවාලකරුව ශල්‍යකර්මය සඳහා යොමුකර තිබුණි.

පසුව වෛද්‍යවරු සැත්කම සිදුකරන අතරතුර, සිරුර තුළ වූ යකඩ කොටස් ඉවත් කර ඇත.

මුරුංගා ගසක මුරුංගා කැඩීමට යාමේදී මුරුංගා අත්තක් කැඩි යෑමෙන් මෙම පුද්ගලයා කොන්ක්‍රීට් තාප්පයක් උඩට වැටී ඇති අතර, එහිදී යකඩකූරක් ඇනී තිබේ.

බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජනපතිගෙන් උපදෙස්….

මෙරට දෛනික බලශක්ති පරිභෝජනය වැඩිම කාල පරාසය වන පස්වරු 6  සිට 10 දක්වා කාලය තුළ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කරමින්, ඔවුන්ගේද දායකත්වය ඇතිව රටේ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම මුහුණදී ඇති බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභියෝගය හමුවේ බලශක්තිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කරමින් රට හමුවේ ඇති අභියෝගය ජය ගැනීමට උපරිම දායකත්වය ලබා දීම ආයතනික සහ පුද්ගලයන් වශයෙන්ද මේ වන විට සියලුදෙනා වෙත පැවරී ඇති වගකීම බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය සති කිහිපය තුළ බලශක්තිය කළමණාකරණය පිළිබඳ රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රායෝගික තලයට ගෙන එමින් විශේෂයෙන් රාජ්‍ය සේවාවට ලබා දිය යුතු මාර්ගෝපදේශ පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, පළාත් පාලන ආයතන මට්ටමින් බලශක්ති පරිභෝජනය විධිමත් කළමණාකරණයකට ලක් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එම ආයතන සමඟ සාකච්ඡා කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පරිභෝජනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.

නාගරික වශයෙන් පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු භාවිතය අවම කර ගැනීම සහ බලශක්තිය කළමණාකරණය වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ඊට අදාළව අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේදයක් පිළිබඳ අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් දැලේ…..

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයක් අනුව මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බවට  හා ඖෂධ පරීක්ෂක විසින් නිර්දේශ කරන ලද ෆාම් ඔයිල් අඩංගු බහාලුම් 5ක් විනාශ කිරීම සඳහා නියෝග ලබාදී තිබියදී, එම ෆාම් ඔයිල් අඩංගු බහාලුම් පුද්ගලික අංගනයකට රැගෙන ගොස් එක් බහාලුමක තිබූ ෆාම් ඔයිල් රු ලක්ෂ 40කට විකුණා තිබේ.

පසුව අදළා බහාලුම්වල අඩංගු ෆාම් ඔයිල් විනාශ කළ බවට ලේඛන ඉදිරිපත් කර එකී ගොනුව තමා සන්තකයේ තබාගනිමින් යම් තැනැත්තෙකුට වාසියක් කිරීම තුළින් දුෂණය නම් වරද සිදුකර ඇතැයි යන චෝදනාව මත මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුව‌ට ගෙන ඇත්තේ, පිළියන්දල, සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි රේගු අධිකාරීවරයෙකි.

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා….

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් හලාවත ධීවරයින්ට නව යාත්‍රා සහ ආම්පන්න ලබාදීම අද (23) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්සේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කුණාටුවෙන් පූර්ණ හානි වූ යාත්‍රා 11ක් වෙනුවෙන් යාත්‍රා පිරිනැමීම සංකේතාත්මකව ආරම්භ කළ අතර, අලුත්වැඩියා කරන ලද යාත්‍රා 14ක් සහ නව දැල් ආම්පන්න ධීවරයින් වෙත ලබාදී ඇත.

දිට්වා හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගා සිටුවීම සඳහා රජය විසින් දැවැන්ත සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සඳහා ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, භාණ්ඩාගාරය විසින් ඒ සඳහා රුපියල් 865ක් වෙන් කර ඇති බවය.

මෙම සහන වැඩපිළිවෙළ යටතේ පීඩාවට පත් ඉස්සන් වගාකරුවන් සඳහා 3% ක අවම පොලියක් යටතේ රුපියල් මිලියන 25ක් දක්වා ණය පහසුකම් ලබාදීමට ද කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

මඩකලපුවේ පාළු ළිඳකට දමා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට රැඳවුම් නියෝග….

මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සහ රන් ආභරණ කොල්ලකෑම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු දින හතරක් රඳවා තබා‌ගෙන ප්‍රශ්න කිරීමට මඩකලපුව අධිකරණය අවසර ලබාදී තිබේ.

කොල්ලකන ලද රන් භාණ්ඩ මිල ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයින් දෙදෙනා ලබන 27වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය 20වෙනිදා කාන්තාවක් පැහැරගෙන ගොස් ඇයගේ රන් ආභරණ කොල්ල කා ඇයව පාළු ළිඳක දමා ගිය සිද්ධියක් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව එම කාන්තාව බේරාගැණුන අතර එම ළිඳෙහි තිබූ කාන්තා මළ සිරුරක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශන අනුව සිද්ධියට ඍජුව සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ රන් ආභරණ මිලදී ගත් බව කියන තවත් දෙදෙනෙකු  පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පිරිස අද (23) දින මඩකලපුව මහේස්ත්‍රාත්වරිය හමු‌වේ ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් නිලධාරින් අවසර ඉල්ලා සිටියහ.

එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රධාන සැකකරුවන් බව පැවසෙන තිදෙනා දින හතරක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන් අතර සෙසු සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

ඒ අනුව මෙම නඩු විභාගය ලබන 27 වෙනිදා සිදු කිරීමට නියමිතය.

හොරෙන් QR භාගත කළ 153 දෙනෙකුට වැඩ වරදින ලකුණු….

ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය සඳහා මේ දක්වා ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණය අලුතින් ලියාපදිංචිවී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණ කරයි.

QR කේත ක්‍රමය සඳහා ලියාපදිංචිවීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි සියල්ලෙහි දෝෂ සියල්ල මේ දක්වා නිරාකරණය කර තිබේ.

පවතින තත්ත්වයට අනුව ඉන්ධන පරිභෝජනය හැකි තරම් සීමා කරන ලෙසට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර QR කේතය අනීතිකව බාගත කිරීම් කළ දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා කීය.

ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

මේ අතර දිවයින පුරා නීතිවිරෝධී අයුරින් ඉන්ධන ගබඩා කිරීමේ රැසක් වාර්තාවී ඇත.

ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ මාර්ගවල වාහන නතර කිරීමේ ගාස්තු හෙට සිට යළි අය කෙරේ….

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම හෙට (23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය හා ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී තීරණය ගෙන ඇති බව නාගරික කොමසාරිස් නිවේදනය කරයි.

ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන ලදී.

කෙසේ වෙතත් රජයේ ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය සහ වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් වාහන පෝලීම් අඩුවී ඇති බව නිරීක්ෂණයවීම හේතුවෙන් යළිත් ගාස්තු අය කිරීමට තීරණය කළ බව  කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කරයි.