අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 20කින් ඉහළට…..

ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග අද (22) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තුව 20%කින් ඉහළ නංවන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පවතින තත්ත්වය මත ආනයන අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවය.

කොළඹ වරාය නියෝජනය කරන සියලු සංගම් ඒකාබද්ධව එහි විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ වන විට මෙම ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කරමින් පවතින බවය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ  බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”

එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතාද පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවය.

බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් දින 4-5ක කාලයක් ගත වන බවත් එම කාලය තුළ දිනකට රුපියල් 15,000 බැගින් ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුවී ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමග මෙම තත්ත්වය තවත් ඉහළ යා හැකි බවත් ඒ අනුව බහාලුම් ප්‍රමාද ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා,

“අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ  වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ”

තැපැල් ප්‍රවාහනය දවසක් ඇර දවසක් සිදු කිරීමට තීරණයක්….

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කිරීමටත් තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් තැපැල් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස් තැපැල් සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පැවසූ ඒ මහතා මෙරටින් විදෙස් රටවල්වලට පිටත්වන තැපෑලත් මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අන් සෑම දිනයකදීම සිදුවන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල වෙත ලබා දීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ලොරි රථ අනතුරින් පොලිස් සැරයන්වරයා මරුට…..

එප්පාවල, පොත්තේගම ප්‍රදේශයේදී ⁣සිදු වූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව, ඔහුගේ ගර්භනී බිරිඳ, දරු දෙදෙනා හා තවත් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු වේ.

ඔහු සිය බිරිඳ, දියණිය, පුතණුවන් හා තම පොලිස් ස්ථානයේම තොරතුරු තාක්ෂණ අංශයේ සේවයේ නියතු පොලිස් ⁣⁣කොස්තාපල්වරයකුද සමඟින් ලොරි රථයේ ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අධික වේගයෙන් පැමිණි ඇති ලොරි රථය වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි බස් රථයක පැති කණ්නාඩියේ ගැටී අසල තිබූ බස් නැවතුමකද ගැටී පෙරලී ගොස් ඇත.

ලොරි රථය බස් නැවතුමේ ගැටීමෙන් සිදුවූ අනතුරින් ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ ගර්භනී බිරිඳ, දරු දෙදෙනා හා පොලිස් කොස්තාපල්වරයා කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු අල්ලස් දැලේ…

නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය 19 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ නගරයේ ඉදි කරන ලද ” සිරිසඳ සෙවන” නිවාස සංකීර්ණයේ නිවාස 22 ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින් 22 ක් සඳහා 2014 වර්ෂයේ දී වෙන්කර දීමේ දුෂණ චෝදනාව මත මෙම විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, කොළඹ නගරය තුළ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද “නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය – කොළඹ නගරය” යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.

ඉන්ධන නොමැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට…

රට තුළ ඉන්ධන නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන නොමැති බව පවසමින් විදේශිකයින් පැමිණීම අධෛර්යමත්  කරමින් සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන මහජන පෙළඹවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණකය අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගබඩාවක් පිරෙන්න යාපනයෙන් ඇල්ලූ තෙල්…..

යාපනයේ ඌරේලු ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය විසින් සිදු කරන ලද මෙහෙයුමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගබඩාවේ තිබී ඩීසල් ලීටර් 4700ක්, පෙට්‍රල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 400ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මැයි මාසයේ ඉන්ධන මිල ගැන රජයෙන් අනාවැකියක්….

මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසය.

ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ අදහස් පළ කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ ද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ නෞකා සඳහා වන ආරක්ෂක ගාස්තු ඉහළ යාම හේතුවෙන් මේ වන විට මෙරට ඉන්ධන මිලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

“වෙන විදිය ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑ. නමුත් ළඟ ළඟ මිල වැඩිවීම් කරන්න රජයේ බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. එය තමා සුබදායි බලාපොරොත්තුව එහෙම නොවුණොත් මැයි මාසයේ පළමු දිනට යෙදෙන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදුවේවි.”

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් කෘෂි ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම්….

ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.

කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවය.

එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපන විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර සහල් නිෂ්පාදකයන් පවසන්නේ සහල් මිලද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බවය.

සහල් නිෂ්පාදනයේ දී මෙන්ම ප්‍රවාහනයේදී ද ඉන්ධන මිල ඉහළ යාම දැඩි ලෙස බලපෑම් ඇති කරන බව ඔවුන් පවසයි.

එබැවින් ඉදිරියේදී සහල් කිලෝවක මිල ද රුපියල් 10කට වැඩි මිලකින් ඉහළ දැමීමට සිදුවන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට එකඟතා…..

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය ඊයේ (20) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මේ සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලිබෑන්ක් එක්ව ඇත.

මෙහිදී එළැඹෙන 2030 වන විට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

තවද පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම්වලට ප්‍රතිචාර ලෙස සම්බන්ධතා පුළුල් කිරීමේ වැදගත්කමද මෙහිදී දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය.

සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රවල අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම හඳනා ගනිමින් ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපවැත්වීම, සාම්ප්‍රධායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ප්‍රධාන නීතිමය මෙවලම් අවසන් කිරීමට ඇති කැපවීම පාර්ශ්වයන් ප්‍රකාශ කළහ.

තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ කිරි පශු සම්පත් ව්‍යාපෘතිය සහ උක් ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ සහාය ඇතිව නුරුදු අනාගතයේදී ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වය සතුට පළ කළහ.

මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවෙයි…

මඩකලපුව නෙල්ලික්කාඩු ප්‍රදේශයේදී පාළු ළිඳක වැටී සිටියදී කාන්තාවක් සොයාගත් සිද්ධියේ තවත් කරුණු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසියෙකුට එම ළිඳ තුළින් ඇසුණු කෙඳිරිලි හඬක් හේතුවෙන් සිදුකළ සෝදිසියකදී අදාළ කාන්තාව ඊයේ (20) හමුවිය.

මේ වනවිට එම කාන්තාව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත්කර, හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වයස අවුරුදු 26ක්වූ එම කාන්තාව කිසියම් පිරිසක් පසුගිය 19 වැනිදා ඇය පැහැරගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

එම කාන්තාව පැහැරගන්නා අවස්ථාවේ දිවි බේරාගෙන පලාගොස් සිටි ඇගේ දියණිය කොතියපුලෙයි වෙල්යායේ සිටියදී සොයාගෙන ඇත.

ඇයද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර අදාළ කාන්තාව මුදාගන්නා අවස්ථාවේදී එම ළිඳ තුළ තිබී සොයාගත් කාන්තා මළ සිරුර මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ තබා තිබේ.

එහි පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොක්කඩිචෝලෙයි පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.