Category: news_sub
කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් එකඟවෙයි…
ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත සිය එකඟතාව පළ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේ පොහොර සමාගම් මේ බව පැවසා තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
එමෙන්ම රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවත්, ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඉදිරියේදී මෙවන් අර්බුදකාරී අවස්ථාවලට මුහුණ දිය හැකි අන්දමින් සැලසුම් සකස් කිරීමටත්, එහිදී රජය, පොහොර සමාගම් සහ ගොවි ජනතාව යන පාර්ශ්ව තුනෙහිම යම් කැප කිරීමක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති අතර, ඒ සඳහා අදාළ සමාගම් නියෝජිතයන්ගේ සහයෝගය අගය කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
ස්වාරක්ෂිත තොග පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම, පොහොර ආනයනය සඳහා ණය පහසුකම් සැපයීම ආදී පසුගිය ආහාර සුරක්ෂිතතා කමිටුව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡාව කර ඇත.
2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමට සැලසුම් කර තිබේ. වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 83,000ක් සහ අනෙකුත් වගා සඳහා මෙට්‍රික් ටොන් 42,000ක් බැගින් යූරියා මෙට්‍රික් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ.
යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙට්‍රික් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්‍රික් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙට්‍රික් ටොන් 102,000ක් පැවති නමුත් පසුගිය සති දෙක තුන තුළ එයින් මෙට්‍රික් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව මාර්තු 17 වන දා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙට්‍රික් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරිණි.
පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇති වනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙට්‍රික් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
එමෙන්ම, තවත් යූරියා මෙට්‍රික් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙට්‍රික් ටොන් 40,000න් මෙට්‍රික් ටොන් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බව තහවුරු කර තිබෙන බවද අනාවරණය විය.
අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 03ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය. එහිදී පොහොර සමාගම්වලින් ලබා හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලීය.
වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අඛණ්ඩව සැපයීම රටේ ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාමේදී වැදගත් සාධකයක් බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වී සහ එළවළු ආදී කෙටිකාලීන බෝගවලට එහිදී ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කමද පෙන්වා දුන් බව සඳහන් වේ.
පසුගිය සමයේ සමාගම්වලට අය විය යුතු ගෙවීම් නිසි පරිදි නොලැබීම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පොහොර සමාගම් නියෝජිතයන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගෙවීම් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ සඳුදා දිනෙන් වාර්තා වෙයි…
පවතින වියළි කාලගුණයත් සමග මෙරට වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සඳුදා දින වාර්තා වූ බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්.ප්‍රදීප් පියදර්ශන පෙරේරා මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ එම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,089ක් ලෙස වාර්තා වී ඇති බවත් එදින සිට මේ දක්වාම විදුලි ඉල්ලුම මෙගාවෝට් 3,000 අතර වාර්තා වන බවත්ය.
එමෙන්ම මේ මොහොත් විදුලි සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙමින් සිටින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ අනුව මේ දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී නොමැති බවය.
පවතින වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුමේ වැඩිවීමක් පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස තමන් සියලුම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේය.
“පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන්නේ වියළි කාලගුණික තත්වයක් තියෙන්නේ රටේ. ඒ වියළි කාලගුණික තත්ත්වයත් එක්ක විදුලි ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ලංකාවේ මෙතක් අපේ පද්ධතියට දෙනු ලබන විදුලි ඉල්ලුමට දෙනු ලබන ධාරිතාවට වැඩිම ඉල්ලුම තිබුණේ ගිය සුමානේ සඳුඳා. 3089ක් මෙගාවෝට්. ඒ එක්කම අපි එනර්ජි ගත්තොත් ගිගාවෝට් පැය 60.56ක් අපි පද්ධතියෙන් ලංකාවේ පරිභෝජනය සඳහා කළමනාකරණය කරලා තිබෙනවා. වියළි කාලගුණික තත්ත්වයක් යටතේත් ඉන්ධන අර්බුදයක් පවතින මොහොතේ වුණත් ඛනිජ තෙල් සංස්ථාව අප වෙත ඉන්ධන අපේ අවශ්‍යතාවය අනුව ලබා දෙනවා. ඒ නිසා ලංකාවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් නොමැතිව විදුලි ඉල්ලුම ලබා දෙන්න. එදා ඉඳලා මේ දක්වාම වැඩිවීමක් තිබෙනවා ඒ කියන්නේ මෙගාවෝට් 3,000 කියන්නේ මේ දවස් ටිකේම රෙකෝඩ් වෙන එකක්. ඒ වගේම විදුලි ඉල්ලුම ගත්තොත් ගිගාවෝට් පැය ගාණ ගත්තොත් 58-59 මට්ටමේ. ඒ කියන්නේ අපි අඛණ්ඩ විදුලි සැපයුමක් අපි ලබා දීලා තිබෙනවා… පද්ධති පාලන මධ්‍යස්ථානය විදිහට මම ඉල්ලනවා විදුලිය පුළුවන් උපරිමයෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන එක. මොකද ඒක මේ වෙලාවේදි රටක් විදිහට හැමෝම එකතු වෙලා කළ යුතු දෙයක්.”
යාපනයේ වායු දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක්…..
යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති සහ ගැනීමට නියමිත පියවර ඇතුළත් වාර්තාවක් යාපනය මහ නගර සභාව විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වෛද්‍ය උමාසුකී නඩරාජා මෙනෙවිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම අද (24) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පසුව අදාළ වාර්තාව පරීක්ෂාවට ලක්කළ විනිසුරු මඬුල්ල අදාළ වාර්තාවේ අන්තර්ගත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා යාපනය මහ නගර සභාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අධිකරණය නියම කර ඇත.
ජාතික අවශ්‍යතාවක් සේ සලකා එම කටයුත්ත ඉටු කරන ලෙස වග උත්තරකරුවන්ට දැනුම්දුන් විනිසුරු මඬුල්ල එම කටයුතුවල ප්‍රගතිය ජූලි මස 14 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මාර්ගයෙන් ඉදිරිපත්කර ඇති පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය ප්‍රදේශයේ කැලි කසල ඉවත් කිරීම සඳහා යාපනය මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් එම කසල ගිනි තැබීම තුළින් එම ප්‍රදේශයේ බරපතළ වායූ දූෂණයක් සිදුවී ඇති බවය.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යාපනය මහ නගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
වසර 6කට පසු හෙළිවූ ඝාතන අබිරහස….
මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි.
ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදීය.
2020 වසරේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නම් 62 හැවිරිදි අඹුසැමි යුවළ අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.
එහිදී අදාළ යුවළ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවුණු පසුබිමක ඥාතීන් එසමයෙහිම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණයෙන් ආරම්භ කෙරුණු විමර්ශන වලදී , අතුරුදන් යුවළ පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචි යුවළකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.බී. විජේතුංග මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අතුරුදන් වූ යුවළ පෞද්ගලික ආරවුලක් මත ඝාතනය කර නිවස අසළ වූ ඇළ මාර්ගයක වළදමා ඇති බවය.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර අඹුසැමි යුවළ හා ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට පත්වූ පුරුෂයන් දෙදෙනාම දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කළේය.
වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර, කාන්තවගේ ගෙළබැඳි රන් මාලයද ගලවාගෙන අනතුරුව කොටස් කළ සිරුරු ඇළ මාර්ගයේ වළ දමා ඇති බවය.
පසුව අවස්ථා ගණනාවකදීම මළ සිරුරුවල කොටස් උඩට මතුවුවද ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත වළදමා ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාල ස්ථානයට ගෙන්වා ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුරු කොටස් අද ගොඩගැනුණි.
ඝාතනයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
යල කන්නය සඳහා පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි….
මෙම වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
මේ දිනවල පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයන් තුළ ඉදිරියේදී පොහොරවල මිල ඉහළ යා හැකිව යන උපකල්පනය මත යම් යම් පාර්ශ්වයන් පොහොර රැස් කිරීමට උත්සාහ කිරීම මත රජය විසින් මෙම තීරණය ගත් බව ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.
ඒ අනුව වී වගාවට අවශ්‍ය සියලුම පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වගාකරුවන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.
දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 566ක් පිහිටා තිබෙන බවත් දැනටත් ප්‍රධාන වී වගාකරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ගොවීන් වෙත ලබා ගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේය.
ගොවිජන මධ්‍යස්ථානය සතුව සියලුම ගොවීන්ගේ නම් සහ ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩමේ ප්‍රමාණයට සරිලන පොහොර ප්‍රමාණය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය
යල කන්නය සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳව ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සහතික කර ඇති බැවින් පොහොර පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොගත යුතු බවත් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසත් ඒ මහතා සියලු ගොවීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.
වැඩිහිටි දීමනා ගෙවන දිනය ගැන දැනුම්දීමක්….
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කිරීමක් කර තිබේ.
එම මණ්ඩලය පැවසුවේ අදාළ ගෙවීම් එළැඹෙන 26 වැනි දින සිදුකිරීමට නියමිත බවය.
ඒ අනුව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට මෙම වැඩිහිටි දීමනාව ගෙන බවත් මේ අනුව රුපියල් 3,112,310,000ක මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකු සඳහා රුපියල් 356,695,000ක මුදලක් එළැඹෙන 26 වැනි දින අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.
මේ අනුව අදාළ ප්‍රතිලාභීන්ට මාර්තු මස 26 වැනි දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මගින් ලබා ගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම ගැන හොයන කමිටුව රැස්වෙයි…..
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි.
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා මෙම විශේෂ කාරක සභා කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා දිට්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ආපදා අවස්ථාවන්හි අදාළ වගකිව යුතු ආයතන මූලිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
ඒ අනුව ඊළඟ රැස්වීම් වාර දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා අවශ්‍ය මූලික දැනුවත්භාවය ලබා ගැනීමට තීරණය විය.
එමෙන්ම මෙම විශේෂ කාරක සභාව විෂය පථය අනුව කටයුතු කරනු ලබන බැවින් අවශ්‍ය යම් යම් විශේෂිත තාක්ෂණික කරුණු අවබෝධ කර ගැනීම සඳහා අදාළ විෂයන් සම්බන්ධ තාක්ෂණික හා විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් කාරක සභාව හමුවට වරින් වර කැඳවීමටද මෙහිදී යෝජනා කෙරිණි.
මෙම විශේෂ කාරක සභාව මගින් සකස් කළ වාර්තාව කාරක සභාවේ පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත එනම් 2026 .06. 19 වනවැනි දින වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන හෙයින් හැකි ඉක්මනින් රැස්වීම් පවත්වමින් අදාළ නිර්දේශ ඇතුලත් මෙම වාර්තාව සකස් කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය.
එම වාර්තාව මගින් කාරක සභාවේ විෂය පථයට අදාළ යෝජනා හා නිර්දේශ ලබාදීමට අමතරව ඉදිරියේදී දිට්වා සුළි කුණාටුව වැනි අවස්ථාවන්ට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.
මෙම රැස්වීම සඳහා විශේෂ කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන නීතිඥ අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම, පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන් මෙන්ම සභාපතිවරයාගේ විශේෂ අවසරය ඇතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ.
විපක්ෂයෙන් ජාත්‍යන්තරයට ලිපියක්…..
නීතිඥවරුන්, වෘත්තිකයින්, මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවන බලපෑම්වලට එරෙහිව මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතුව ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක් යොමුකර තිබේ.
එමගින් පෙන්වා දෙන්නේ මෙරට පොලිස්පතිවරයා සහ පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවය.
ජාත්‍යන්තර නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීති සංගමය, තරුණ නීතිඥයින්ගේ ජාත්‍යන්තර සංගමය, අම්නෙස්ට් ජාත්‍යන්තරය, හියුමන් රයිට්ස් වොච් සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ඇතුළු සංවිධාන කිහිපයකට යොමුකර ඇති මෙම ලිපිය සඳහා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් රැසක නායකයින් අත්සන් තබා තිබේ.
ඒ අතරට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙයි.
අදාළ ලිපිය තුළින් පෙන්වා දී ඇත්තේ ගිනිඅවි භාවිතයෙන් රටතුළ සිදුවන වෙඩි තැබීම් සහ ඝාතන ඉහළ ගොස් ඇති බවය.
ගෙවීගිය වසරේ එම සිදුවීම්වලින් ජීවිත 60ක් අහිමිවී ඇති බවත්, මෙම වසරේ තවත් ජීවිත 09ක් අහිමි වී ඇති බවත් එහි දැක්වෙයි.
එසේම පසුගිය පෙබරවාරි 13 වනදා අධිආරක්ෂිත අධි ආරක්ෂිත කලාපය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ මියයාම මෙරට නීති ක්ෂේත්‍රය තුළ කම්පනයක් ඇති කළ බවද එම ලිපියේ සඳහන්ය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිඥවරයා ඝාතනයට ලක්වී පැයක් ගතවීමටත් මත්තෙන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි වෘත්තිකයෙකු ලෙස පොලිසිය හුවා දැක්වීමෙන් මහජන මනසේ එම නින්දිත හා මිලේච්ඡ ක්‍රියාවේ බරපතළකම අඩු කිරීමට කටයුතු කළ බවයි.
පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බව සඳහන් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ විනිසුරුවන්ට සහ නීතිඥවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඉඩ නොලැබෙන බවයි.
එසේම යෝජිත ත්‍රස්ත විරෝධි පනත මගින් ඉහළ යන ජනතා අතෘප්තිය මර්දනය කිරීමට උත්සාහ දරන බවද, ඒ හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය වන බවද මෙම ලිපියෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අවධාරණය කර තිබේ.
මෙම තත්ත්වය තුළ මාධ්‍ය හිමිකරුවන්, කතෘවරුන්, විධායක කාර්ය මණ්ඩල සහ සියලු මට්ටමේ මාධ්‍යවේදින්ට පැහැදිලි අවදානමක් මතුව ඇති බවයි මෙම ලිපියේ දැක්වෙයි.
එබැවින් සියලු ජාත්‍යන්තර වෘත්තීය සංවිධාන මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් කරන බවත්, සුදුසු මැදිහත්වීමක් කරන ලෙසත් විපක්ෂයේ පක්ෂ නායකයින් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබේ.
දත්ත ආරක්ෂණ අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්….
දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිමුත් භාෂිත අතපත්තු මහතා පත් කර තිබේ.
අදාළ පත්වීම මාර්තු මස 05 වෙනිදා සිට බලපැවැත්වෙනු ඇත.
මෙම පත්වීමට පෙර භාෂිත අතපත්තු මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වාණිජකරණය සහ හවුල්කාරීත්වය කටයුතු භාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය.
ඔහු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහ LK Domain Registry අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළ බව සඳහන්ය.
මෙරට පුද්ගලික දත්ත ආරක්ෂාව සම්බන්ධ නියාමනය ශක්තිමත් කිරීමේ සහ මෑතකදී සංශෝධනය කරන ලද 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ දක්වා ඇති පෞද්ගලිකත්ව ආරක්ෂණ රාමුව බලාත්මක කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.
මොහු විසින් අධිකාරියේ උපායමාර්ගික සහ පරිපාලනමය කාර්යයන් සඳහා නායකත්වය සැපයීම සිදු කළ යුතුය.
ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ දිනයන් ප්‍රකාශයට පත් කිරීම, දත්ත ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සහ රජයේ සහ රාජ්‍ය නොවන අංශයන්හි දත්ත පාලකයින් සහ සැකසුම්කරුවන්ගේ ධාරිතා වර්ධනය ඔහුට පැවරෙන කාර්යයන් වේ.
