දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව් දෙනෙක් පත් කෙරේ

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙලෙස එම කමිටුවේ සහාය සඳහා අනුයුක්ත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා සහායවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සදහා පත්කළ කමිටුව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දී තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කාශ්මීරයේ වෙඩි තැබීමට සම්බන්ධ 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම් හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඇසෑම්, මේඝාලය සහ ත්‍රිපුර යන ප්‍රාන්තවල මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර අත්අඩංගුවට පත් වූවන් අතර අතර මන්ත්‍රීවරයෙකු, මාධ්‍යවේදියෙකු, සිසුන්, නීතිඥයෙකු සහ විශ්‍රාමික ගුරුවරුන් ඇතුළත් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසකට තුවාල සිදුව තිබූ අතර මෙම ප්‍රහාරය ඉන්දියාව සහ පාකිස්ථානය අතර අර්බුදකාරී වාතාවරණයක් ඇති කිරීමට හේතුවී තිබුණා.

අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු පිරිසකට මාලිගාකන්ද අධිකරණයෙන් තහනම් නියෝගයක්

බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල කාන්තා කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද (27) පෙරවරුවේ පෙලපාලියක් ගමන් කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම, මාර්ගවලට ඇතුල් වී මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විශේෂිත ගිලන් රථ වලට හා වෙනත් තැනැත්තන්ට මාර්ගයන් භාවිතා කරන තැනැත්තන්ට පීඩාවක් ඇතිවන අන්දම වලක්වාලමින් පිරිසකට අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු එම්. එන්. එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් නදුන් දර්ශිත හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් හට මෙම ආඥාව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දින විරෝධතා කරුවන් පිරිසක් බොරැල්ල පොලිස් වසමේදී, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට විරෝධතාවක් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුර්ව මෙම තහනම් ආඥාව නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සරසවි ප්‍රවේශයට 64.43%ක් සුදුසුකම් ලබයි

2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා එළැඹෙන 28 වැනි දින සිට පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය

ජම්මු-කාශ්මීරයේ පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් පවසනවා.

ජාත්‍යන්තරය විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති බව ජ‍‍ාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කිසිදු සාක්ෂියක් නොමැතිව, කිසිදු විමර්ශනයක් නොමැතිව ඉන්දියාව විසින් පාකිස්තානයට දඬුවම් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු පවසා සිටින්නේ.

මෙය යුද්ධයක් ලෙස ඇවිලෙනවාට තමන් කැමති නොවන බවත්, එසේ වීමෙන් මෙම කලාපයටම ව්‍යසනකාරී තත්ත්වයක් උදාවනු ඇති බවයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ.

බංග්ලාදේශයේදී කප්පම් ඉල්ලා පැහැරගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරාගැනේ

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී, එරට කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩ නගාගෙන ඇති බවද, ඔවුන්ගේ ආරධනයක් මත මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදු කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන ඇති බවත්, පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරි දළදා වන්දනාව අද 09 වන දිනටත් පැවැත්වෙයි

‘සිරි දළදා වන්දනාව’ අද (26) 09 වැනි දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව අදත් පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින්, නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලීමක් කර තිබුණා.

එසේම, පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ හෙට දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බවයි ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසා සිටියේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්  කර තිබෙනවා.

ඒ අනුව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, සෑම අයෙකුටම ආයතනය විසින් නිවාඩු ලබා දිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් බාහිර විය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, ඡන්දය ලබාදීමට යැම සඳහා පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩු ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා අදාළ නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුයි.

ඒ අනුව,

* කිලෝමිටර් 40 හෝ ඊට අඩු – දින භාගයක් * කිලෝමීටර් 40 -100 අතර – එක් දිනයක්* කිලෝමීටර් 100 – 150ත් අතර – දින 1 1/2ක් * කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්

ලෙස නිවාඩු ලබා දිය යුතු බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ‍.

GSP+ වෙනුවෙන් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සඳුදා මෙරටට

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම නියෝජිත පිරිස පැමිණෙන බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 28 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.