ඉදිරි පැය 36 තුළ ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් දියත් කරන බවට පාකිස්ථානයෙන් ‍චෝදනාවක්

ඉදිරි පැය 24-36 තුළ ඉන්දියාව විසින් පකිස්ථානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු පකිස්ථානයට ලැබී ඇති බව පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් පවසනවා.

ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවට පාකිස්තානය අවධාරණය කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා සිටියේ.

එමෙන්ම පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සිය ජාතියේ ඇති අධිෂ්ඨානය නැවත අවධාරණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර ජම්මු-කාශ්මීරයේ පර්ගවාල් කොටසේ ජාත්‍යන්තර දේශසීමාව හරහා පකිස්ථාන හමුදාව ඊයේ (29) රාත්‍රියේ වෙඩි තැබූ බවත්, ඉන්දීය හමුදාව ද එයට ප්‍රතිචාර දැක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා ඉන්දීය ජම්මු-කාෂ්මීරයේ පෙහෙල්ගාම් හි සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර, 26 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයත් සමඟ ඉන්දියාව හා පාකිස්ථානය අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබෙනවා.

news images

වර්ෂාව සමඟ ජලාශ 35ක් වාන් දමයි

වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක් ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

හොරු අල්ලන්න ප්‍රමාදයි ද? නෑ, ප්‍රමාද නෑ – සුනිල් වටගල

ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු ඇල්ලීමට බවත්, ඒ අනුව රජය ඒ සඳහා ක්‍රියා කරමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මාස 06 ක් යන විට හොරු ඉපැයූ ධනය භාණ්ඩාගාරයට ගැනීමට පනතක් ගෙන ආ බවත්, එම පනත හරහා නඩු අසන්නේ දේපළ තහනම් කරමින් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

හොරු ඇල්ලීමට ප්‍රමාද බවට චෝදනා කළත්, එලෙස ප්‍රමාදයක් නොමැති බවද, රජය මාස 06 ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සැලසුම් කළ බවද, ඒ අනුව, මේ වනවිට හොරු කෑ ගැසීමට පටන්ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මේ විට හොරුන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ තිදෙනෙක් සහ බිරින්දෑවරු කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවත්, නීතිය හා විධානය තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

පසුගියදා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, ඉන් අනතුරුව විවාදයක් පැවැත්වීමටද කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිට ඇප

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්.ඒ. විමලරත්න ඇප මත මුදා හැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉන්පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම

2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (28) මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එසේම, එම ඝාතන චෝදනාව ඇතුළු චෝදනා 03කට වරදකරුවන් කරනු ලැබූ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර, එකී වරද සිදුකරන ලද අවස්ථාවේදී එම නඩුවේ දෙවැනි සහ නවවැනි විත්තිකරුවන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වන බැවින්, මහාධිකරණ විනිසුරුවරයා එලෙස ඔවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා පමණක් සිර දඬුවම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එකී විත්තිකරුවන් සත්දෙනා ඇතුළු නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම්කර තිබූ විත්තිකරුවන් 09 දෙනාම එකී වරදට වැරදිකරුවන් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

මෙම නඩු විභාගය අතරතුරදී නඩුවේ 04 වැනි විත්තිකරු සහ 06 වැනි විත්තිකරු මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවයි අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට මුදල් යෙදවිය හැක්කේ විසර්ජන පනත නීතිය ප්‍රකාරව පමණක් බවත්, තැන්පත් ගිණුමකට මුදල් යෙදවිය හැක්කේ ඉඩ ලබාදුනහොත් පමණක් බවට එම පනතේ කොතැනකවත් සඳහන් කර නොමැති බවත්, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ ලබා නොදෙන්නේ නම්, මුදල් තැන්පත් ගිණුම්වල යෙදවිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, අල්ලස් කොමිසමේ ඇති ලිපිගොනු වෙනත් පාර්ශවලට පෙන්වීම සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට විරෝධතාව ප්‍රකාශ කළ බවත්, ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා අරගන්නා බවට පෙනී යන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද (28) දිනයේ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව යන පළාත් සහ හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

පුත්තලමේදී මත්කුඩු තොගයක් විනාශ කෙරේ

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් අද (28) විනාශ කිරිම සිදු වුණා.

ඒ අනුව පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනකදී එම මත්කුඩු තොගය විනාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ අවස්ථාවේ ඡායාරූප පහතින්.

news images

news images

news images