තීරුබදු ගැන අමෙරිකානු නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ වොෂින්ටන් DC හි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය අප්‍රේල් 22 වන දින, එම කාර්යාලයේ තානාපති Jamieson Greer හමුවූ බවත්, එහිදී මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපතිවරයා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් ශ්‍රී ලංකා දූත පිරිස විසින් භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති Jamieson Greer දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට ද අපේක්ෂාව පළකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාව 27 වැනිදා අවසන් කරනවා – දියවඩන නිලමේ

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වැනිදා දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව එහි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ගිගුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සවස් භාගයේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ අනුව ඉහත ප්‍රදේශවල සිටින ජනතාවට සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

news images

කාශ්මීර ගැටලුව හමුවේ උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, උපරිම සංයමයෙන් ක්‍රියාකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.

මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක් නොවීමට වග බලාගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා සිටියේ.

පකිස්ථානය සහ ඉන්දියාව අතර ඕනෑම ගැටලුවක්, අන්‍යෝන්‍ය මැදිහත්වීමකින් සාමකාමීව විසඳා ගැනීමට හැකි බවට විශ්වාස කරන බවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ලබන 30 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අවසර ලබාදී තිබෙනවා.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාව අඩු කෙරේ

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන සහ මාසික ඉන්ධන කෝටාව අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදෙන වාහන ගණන දෙකකට සීමා කර ඇති අතර, අමතර සියලු වාහන යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට මාසිකව ලබාදුන් ලීටර් 2250ක ඉන්ධන කෝටාව ලීටර් 900 කට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහ නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා.

ඒ අනුව අද (24) උදෑසන පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.

එසේම, මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී තීන්දු තීරණ කිහිපයක් ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම්දෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සඳහා වන කමිටුව පත්කෙරේ

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල හා පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අය නම් කර තිබෙනවා.