ප්‍රාදේශීය සභා උණුසුම් කළ මංගල අයවැය……

කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය අද (11) එහි මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

2026 වසර සඳහා පළාත් පාලන ආයතනවල අයවැය ඉදිරිපත් කිරීම් මේ දිනවල සිදුවෙයි.

ජාතික ජන බලවේගයට බලය හිමි  කන්දකැටිය ප්‍රාදේශිය සභාවේ අයවැය අද සභාවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙද්දී විපක්ෂය නියෝජනය කරන සියලු සභිකයින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද හතරකින් අයවැය පරාජයට පත්වුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 10ක් සහ විපක්ෂයට සභික ධුර 12ක් හිමි පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද  අද පැවැත්වුණි.

එහිදී විපක්ෂයේ සභිකයින් 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරද්දී ජාතික ජන බලවේගය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්  ඡන්ද ප්‍රමාණය සම තත්ත්වයට පත්වුණි.

ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිවූ අතර එහිදී අයවැය සම්මත කරගැනුණි.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ අයවැය ද සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සම්මත කරගැනුණි.

ජාතික ජන බලවේගයට සභික ධුර නවයක්  සහ විපක්ෂයට සභික ධුර දහයක් හිමිව තිබුණද එක්සත් ජාතික පක්ෂයේ සභිකයා සභා රැස්වීමට සහභාගී වී සිටියේ නැත.

ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය සමාන වීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් අයවැය සම්මත කරගැනුණි.

මේ අතර පාලක ජාතික ජන බලවේගයට සභික ධුර 9ක් සහ විපක්ෂයට සභික ධුර 11ක් හිමි හලාවත නගර සභාවේ අයවැය වැඩි ඡන්දයකින් සම්මත වුණේ ස්වාධීන කණ්ඩායමක සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන්ය.

ජාතික ජන බලවේගයේ සභිකයින් 9 දෙනාට අමතරව ස්වාධීන කණ්ඩායම් සභිකවරියක්ද අයවැයට පක්ෂය ඡන්දය ලබාදීමත් සමඟ එක් වැඩි ඡන්දයකින් අයවැය සම්මත කරගැනීමට ජාතික ජන බලවේගයට හැකිවුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයා මෙහිදී  ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.

මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද වැඩි ඡන්ද 14කින් සම්මත කරගැනීමට එහි බලය හිමි ජාතික ජන බලවේගයට හැකිවුණි.

ඒ අයවැයට පක්ෂව පොදුජන එක්සත් පෙරමුණේ සභිකයින් තිදෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන සභිකයෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්ය.

මේ අතර මතුගම ප්‍රාදේශිය සභාවේ ලේකම්වරියගේ ක්‍රියා කලාපයට සහ වැලිගම ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් එහි බලය හිමි සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක සභිකයින් අද විරෝධතාවක නිරත වුණි.

ඔවුන් චෝදනා කළේ ප්‍රදේශිය සභාවේ රාජකාරි කටයුතු සිදු කරගෙන යාම සඳහා එහි ලේකම්වරිය සභාපතිවරයාට නිසි සහයෝගයක් ලබා නොදෙන බවටය.

කෙසේවෙතත් මෙම සභිකයින් ප්‍රාදේශීය සභාව තුළට පිවිසීමට පෙර පොලීසියේ පරීක්ෂාවට ලක්කිරීමේදී විරෝධතා පුවරු අතර තිබී ප්ලාස්ටික් පිස්තෝලයක් හමුවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පුත්තලම – නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී අද එහි මාසික සභා රැස්වීමට පැමිණ සිටියේය.

වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි…..

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළේය.

ඒ අද රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.

ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ.

මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති….

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල් 200 දක්වා සහ අල කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවය.

අල – ලූනු ගොවි ගැටලු සඳහා විසඳුම් යෝජනා කරමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

සිරදඬුවම් නියමව සිටින මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරු දෙදෙනා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28) කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසටය.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්….

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් පාසල් ළමුන් 230,000කට අධික පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදී පැවැත්වු මත් උවදුර වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

“බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් ළමුන් 230,982ක් මත්ලෝලීන්. දකුණු පළාත ගැන කිව්වොත් මීට වඩා දැවැන්ත තැනකට තල්ලු කරනවා කියලා මට විශ්වාසයි. දකුණ තමයි පාතාල ක්‍රියාකාරකම් වලින් අංක 1ට යන්නේ. ලංකාවේ බන්ධනාගාරගතව වැඩි හරියක් ඉන්නේ තාරුණ්‍යය. ඒ වගේම වැඩියෙන්ම ඉන්නේ සාක්ෂරතාව අඩු මට්ටමක ඉන්න අය. “

“අවුරුදු 5ට අඩු ළමුන් 42ක් ඉන්වා ඔවුන්ගේ අම්මා කළ වැරදි නිසා. අපි හිතමු නඩු අහලා අවුරුදු 10ක් අච්චු කළ කියලා. අවුරුදු 5ක් එයාටයි ළමයටයි අපි එකට ඉන්න දෙනවා. අවුරුදු 05ක් පිරෙන දවසට ළමයයි අම්මයි අපි වෙන්කරනවා. ඒක තමයි මගේ ජීවිතේ දැක්ක ඛේදනීයම අවස්ථාවල්. ළමයා අම්මා ඉල්ලලා කෑ ගහනවා. අම්මා ළමයා ඉල්ලලා කෑ ගහනවා. ඒ දෙන්නට ඒ දෙන්නා විතරයි අවුරුදු 5ක් පුරා හිටියේ. නීතිය හරස් වෙනවා. ඒ නිසා කවදාවත් කාන්තාවක් විදියට වැරදි කරන්න එපා.  මේ රජයට මහ දැවැන්ත විදියට උවමනාවක් තියෙවා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන්න.” 

මේ අතර, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින් කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් ආශ්‍රිතව සිදුවන මත් ජාවාරම් මැඩලීමට පියවර ගෙන ඇති බවය.

“අපි මේ වනවිට සිවිල් ඇඳුමින් නිලධාරීන් බොහෝමයක් පිරිස යොදවලා තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ඇරිලා එනකොට කොහොමද යන්නේ ඔබ ඇසුරු කරන්නේ කවුද ඔබ රංචු ගැහිලා ඉන්නේ කොහෙද කියන එක බලන්න. ඔබට කිසියම් තොරතුරක් තියෙනවා නම් ඉස්කෝලේ ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩවල, කඩවල්වල, එහෙම දේවල් තියෙනවා නම් ඔබ අපට කියන්න. මගේ ටෙලිෆෝන් නම්බර් ඒක 071 859 2683.”

නව ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නියංගොඩ රාජකාරි අරඹයි…..

නව ජාතික බුද්ධි ප්‍රධානී වශයෙන් පත් කරන ලද මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

මේජර් ජෙනරල් නියංගොඩ මහතා ඊයේ (27) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වශයෙන් වසර 35කට අධික සුවිශේෂී සේවාවක් සිදු කළ මේජර් ජෙනරල් නියංගොඩ, පරිපුර්ණ හා සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ඔහුගේ විශිෂ්ඨ හමුදා සේවය තුළදී, සිය කැපී පෙනෙන නායකත්වය සහ රාජකාරියට ඇති කැපවීම මනාව පිළිබිබු කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් අභියෝගාත්මක හා මූලික තනතුරු රාශියක රාජකාරි සිදු කොට ඇත.

අයහපත් කාලගුණයෙන් බෝග වගාවන්ට සිදුවූ හානි ගණන කිරීම ඇරඹේ…..

පැවති අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට සිදු වූ හානිය පිළිබඳ ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වී වගා කටයුතු මේ වන විට ආරම්භක අවධියේ පැවතීම හේතුවෙන් පැවති වර්ෂාපතන තත්ත්වයෙන් වී වගා හානි වාර්තා වී නොමැති බව එම මණ්ඩලය පැවසීය.

එමෙන්ම නොමිලේ රක්ෂණ ආවරණය ලබන අනිකුත් බෝග සඳහා සිදුවු හානිය පිළිබඳව මේ වන විටත් නිශ්චිතව වාර්තා වී නොමැති බව සඳහන්ය.

කෙසේවෙතත් මණ්ඩලයේ නිලධාරීන් තවදුරටත් ගොවි ජනතාව හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් සිටින බව කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

බරවා පරීක්ෂාවන්ට රාත්‍රියේ නිවෙස්වලට එන නිලධාරීන්ට සහායවන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්….

බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා,

“බරවාවලදී අපි ගාවට රෝගීයෙක් රෝග ලක්ෂණ එක්ක පැමිණෙන්නේ අදාළ පුද්ගලයා අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා. පාර තොටේ දකින කකුල් ඉදිමුණ, විශේෂ අවයවවල ඉදිමුම් සහිත බොහෝ අපසුතාවලින් සිටින රෝගීයෙක් හඳුනාගන්නේ ගොඩක් කල් ගිහිල්ලා. මේ රෝගීන් ඇත්තටම අපි හඳුනාගැනීමක් කරන්නේ රාත්‍රී කාලයේදී අදාළ ප්‍රජාව තුළ සිදුකරන විශේෂ රුධිර පඨල පරික්ෂාවන් මගින්. මේ අවුරුද්දේ රෝගීන් 27ක් හඳුනාගන්නවා අපේ පරිසරය ඇතුළේ සැකසහිත දිස්ත්‍රික්කවල ඉන්න නිරෝගී හැටියට පෙනීසිටින පුද්ගලයින්ගේ රුධිර පඨල හරහා. අපි මේ හරියටම ඉලක්ක කරලා යන්නේ ලංකාවෙ ඇතුළේ මේ රෝගය කලින් ඉදන් පැතිරුණ සහ අපේ පරණ විස්තරත් එක්ක වැඩි අවදානමක් තියෙන ස්ථානවල. නමුත් මේ වනවිට අපට ගැටලුවක් තියෙනවා කිසියම් ආකාරයක වැරදි විදිහට නිර්මාණය කළ හඬපටයක් තැන් තැන්වල ප්‍රචාරය වෙනවා “රාත්‍රී කාලයේ ලේ ගන්න කණ්ඩායම් එනවා ඒ අයට ලේ දෙන්න එපා අල්ලලා ගහලා බැදලා පොලීසියට භාරදෙන්න” කියලා මේ වගේ වැරදි ප්‍රචාරයක් යන එකත් එක්ක අපි රාත්‍රීකාලයේදී කරන රුධිර පඨල පරික්ෂාවන් එක්ක ලොකු බාදාවක් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම අපි හරි විදිහේ දැනුම්වත් කිරීම් සහිතව අදාළ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව ඒ සඳහා අනුමත නිලධාරීන් එයාලගේ නිල ඇඳුමෙන් සැරසිලා, රාජකාරි හැදුනුම්පත සහිතව හරි විදියේ දැනුම්වත් කිරීමක් සහිතව යන ගමනක්.  මේ අවස්ථාවේදී ඔයාලගේ උදව් ඕනේ.”

මේ අතර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද දැනුවත් කෙරුණි.

එහිදී මැලේරියා රෝගය සම්බන්ධයෙන්ද අදහස් දැන්වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න,

“සැප්තැම්බර් වන විදේශ ගතවෙලා ලංකාවට ආපු රෝගීන් 35ක් වාර්තා වෙනවා  එයින් එක් අයෙකු මරණයට ලක් වුණා මෙයින් 83%ක්ම පිරිමි පුද්ගලයින් සහ 80%ක්ම ශ්‍රී ලාංකියන් තමයි මේ මැරේලියාව හදාගෙන ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ රෝගීන් අතුරින් 77%ක්  Plasmodium falciparum කියන මැලේරියා පරපෝෂිතයා ආසාදනය වුණ අය. මොලේ මැලේරියාව සහ සියලුම අවයවල සංකූලතා ඇතිකරන මාරාන්තික රෝගයක් ඇති කරන්නේ Plasmodium falciparum මැලේරියාවෙන්. ඒ වගේම මෙයින් 86%ක්ම කිසිම සංකූලතා නොමැතිව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. මේ අතර අවදාම් කණ්ඩ විදිහට තියෙන්නේ වන්දනාවේ යන පුද්ගලයින්. විශේෂයෙන් දඹදිව, මියන්මාරය, තායිලන්තය වැනි රටවලට වන්දනාවේ යන පුද්ගලයින්, ඒ වගේම අප්‍රිකානු රටවලට ලංකාවේ මිනිස්සු විවිධ රැකියා සඳහා පිටත්ව යනවා පුහුණු වැඩසටහන් සඳහා එතකොට මේ වගේ රටවලට ජනතාවට දෙන්න තියෙන පණිවුඩය තමයි මේ මැලේරියාව වළක්වාගැනීමේ ඖෂධ, මැලේරියා මර්ද ව්‍යාපාරය සහ ප්‍රාදේශ මැලේරියා මර්දන ඒකකවලදී ඔබට නොමිලේ ලබාගන්න පුළුවන්.”

ව්‍යාජ පිස්තෝලයක් රැගෙන අධිකරණයට ඇතුළුවීමට උත්සාහකළ කතක් රිමාන්ඩ්….

ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා විසින් මෙම නියෝග කළ බව  වාර්තාකරු පැවසීය.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ භූමියට ඊයේ (27) පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගයේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන තිබුණි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට හෙළිවී ඇත්තේ ඇය නැගෙනහිර, නොටෙල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත් නොහොත් ලක්ෂ්මි නැමති අයෙකු බවය.

ඇයගේ හැඳුනුම්පතේ ලිපිනය තංගල්ල ලෙස සඳහන්ව තිබුණද, ඇය පොලීසියට පවසා ඇත්තේ තමන් මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

එමෙන්ම ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවටද පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත්, පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත භාවිත කර නඩු පොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය අසත්‍යක් පවසන බවට සැක මතුව ඇති බව සඳහන්ය.

පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසියට භාර දීමෙන් පසු, ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

නඩුවක් නොමැතිව නඩුවක් ඇති බව පවසා අධිකරණ භූමියට ඇතුළු වීම හේතුවෙන් ඇති වූ සැකය මත, එම කාන්තාව අද (28) දින අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබු කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධ ජයසේකර මහතා සැකකාර කාන්තාව නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රනිල්ට එරෙහි නඩුව නැවත කැඳවීම හෙට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, හෙට (29) නැවත කැඳවීමට නියමිතය.

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අගෝස්තු 26 වනදා නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශ්ව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි.